access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

සමාජ සත්කාර ව්‍යාපෘතියක තිබිය යුතුම දේවල් 3 ක්

 

අද ව්‍යාපාර ලෝකයේ ආයතනික සමාජ සත්කාර ඉතා වැදගත් මාතෘකාවක් (P1)

අපේ රටේ ආයතනික සමාජ සත්කාර (Corporate Social Responsibility - CSR) පිළිබඳව සැළකිය යුතු තරම් ප‍්‍රතිපත්තිමය රාමුවක් නොමැති වුණත්, ඇත්තටම අපි වසරකට රුපියල් බිලියන 4 ක් තරම් විශාල මුදල් ප‍්‍රමාණයක් ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් වැය කරනවා. අපේ රටේ සමාගම්වල පරිත්‍යාගශීලී බව සහ යුතුකම් ඉටු කිරීමට ඇති කැමැත්ත, පසුගිය කාලයේදී රටේ ඇති වුණු ආපදා අවස්ථාවලදී හොඳීන් දකින්න පුළුවන් වුණා.

ගොඩක් වේලාවට ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙන්නේ පුළුල් ප‍්‍රජාව මුහුණ දෙන අභියෝගයකට දක්වන ප‍්‍රතිචාරයක් විදියට. නමුත් හරි විදියට නම්, ආයතනික ප‍්‍රජා සත්කාරවල කාර්යභාරය වෙන්නේ, ඒ ඒ සමාගම් ක‍්‍රියාත්මක වෙන ප‍්‍රජාවන් වෙනුවෙන් යම් වටිනාකමක් නිර්මාණය කිරීම, රැකියා උත්පාදනය, ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම වගේ දේවල්. ඉක්මනින් වර්ධනය වෙන ආර්ථිකයත් එක්ක දැන් දැන් ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශය, තමන්ගේ සන්නාම වටිනාකම ගොඩනගා ගැනීම සඳහා ආයතනික සමාජ සත්කාරවල ඇති වැදගත්කම අවබෝධ කරගනිමින් සිටිනවා.

තමන්ගේ ආයතනික ප‍්‍රජා සත්කාර වැඩසටහන් බුද්ධිමත් විදියට ක‍්‍රියාත්මක කිරීම, අද අන් කවරදාටත් වඩා වැදගත් වෙලා තියෙනවා. මේ ලිපියේදී අපි සාකච්ඡා කරන්නේ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමේදී අනිවාර්යෙන්ම වැදගත් වෙන කාරණා තුනක්.

 
 
Black board depicting the text Corporate Social Responsibility

මුල ඉඳන් ඉගෙන ගනිමු (P2)

ක්ෂේත‍්‍ර ඇගයීම

CSR Lanka ආයතනය පෙන්වා දෙන විදියට, ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වෙන ආයතනික ප‍්‍රජා සත්කාර වැඩසටහන් බහුතරයක් තිරසාරත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ අනුව බලන කොට, කොතරම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක වුණත් ඊට අවශ්‍ය කරන ක්ෂේත‍්‍ර සමීක්ෂණ සිදු කෙරෙන්නේ නැති නිසා, මේ ව්‍යාපෘතිවල අරමුණ ඉටු කරගන්න බැරිව යනවා

ඒ නිසා, මුලින්ම තමන් උපකාර කරන්න බලාපොරොත්තු වෙන ප‍්‍රජාවත් එක්ක සම්බන්ධ වෙන එක ඉතා වැදගත්. ඔවුන් මුහුණ දෙන ගැටළුවේ අක්මුල් සොයා ගෙන ඊට කල් පවතින විසඳුමක් නිර්මාණය කරන්න. ආපදාවක් අවස්ථාවකදී නම්, අදාල තැන ඉඳන් ක‍්‍රියාත්මක වෙන සංවිධානත් එක්ක මුලින්ම සන්නිවේදනය කරන්න. මේ සංවිධාන විපතට පත් අයගේ ළගින්ම ඉන්න නිසා ඒ අය ඔවුන්ගේ අවශ්‍යතාවයන් හොඳීන්ම හඳුනනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තමා හදිසි අවස්ථාවකදී සහන සේවාවන් කළමනාකරණය කිරීම බාරව ඉන්න ප‍්‍රධානතම ආයතනය. හදිසි අවස්ථාවලදී උපකාර කරන්න බලාපොරොත්තු වෙන සමාගම්, මුලින්ම සහන සේවා සම්බන්ධීකරණය කරන ආයතන එක්ක සන්නිවේදනය පවත්වා ගැනීම ඉතාම වැදගත්.

 
 
A group of people in a discussion

රූපය යකාවැව ව්‍යාපෘතියෙන්, ඇක්සෙස් එන්ජිනියරින් අනුග්‍රහයෙනි.(P3)

එකමුතුබව සහ සහයෝගීතාවය 

සමාජ සත්කාර ව්‍යාපෘති කිරීමේදී අදාළ ආයතන එක්ක සහයෝගීතාවයෙන් ක‍්‍රියා කිරීමත්, ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප‍්‍රතිලාභීන් ව්‍යාපෘතිය එක්ක හොඳීන් සම්බන්ධ කරගැනීමත් අවශ්‍යයි. උදාහරණයක් වශයෙන් ගත්තොත්, යකාවැව ව්‍යාපෘතියේදී ජලය සඳහා කැණීම් කළ යුතු තැන් හොයා ගන්න ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ වාර්තාව ඉතාම වැදගත් වුණා. ඊට අමතරව ව්‍යාපෘතිය සම්පූර්ණ කළාට පස්සේ, ඒක පවත්වා ගෙන යාම බාර දෙන්නේත් ඒ අදාළ ගමේ කමිටුවකට. මේ නිසා ව්‍යාපෘතියේ වියදම අවම කරගැනීමටත්, දීර්ඝ කාලීන බව තහවුරු කරගන්න පුළුවන් වුණා.

 ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් හරහා යම් ගැටළුවකට විසඳුමක් වශයෙන් ක‍්‍රමවේදයක් හරි පද්ධතියක් හරි ස්ථාපනය කරනවා නම්, ඒක දීර්ඝ කාලීනව පවත්වා ගෙන යන ක‍්‍රමයක් නිර්මාණය කරන එකත් ඉතාම වැදගත්. ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභීන් නඩත්තුව හා අලූත්වැඩියාව පිළිබඳව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන අමතර කොටස් අඛණ්ඩවම සම්පාදනය කිරීම, මේ වෙනුවෙන් ගන්න පුළුවන් වැදගත් පියවර දෙකක්.

ආපදාවක් අවස්ථාකදී සහනාධාර හා සම්පත් සාර්ථකව බෙදා හැරීමට, සහන සේවා සංවිධාන සමඟ එකට වැඩ කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් පෞද්ගලික මානුෂීය සංවිධාන දිවයිනේ එක් එක් පළාත්වලට විශේෂත්වයක් දක්වන නිසා, වැඩේට හරියන සංවිධාන තෝරා ගෙන කටයුතු කරන එක අවශ්‍යයි. ආපදා කළමනාකරණය සඳහා ආසියා පැසිෆික් සහයෝගීතාවය (Asia Pacific Alliance for Disaster Management) ශ‍්‍රී ලංකා රතුකුරුස සංවිධානය (Sri Lanka Red Cross) වර්ල්ඩ් විෂන් ශ‍්‍රී ලංකා (World Vision Sri Lanka) සංවිධානය වඩාත් පිළිගත් සංවිධාන කිහිපයක්. 

 
 
A group of illustrated people

විවිධ හැකියාවන් සහ පසුබිම් සහිත, උද්‍යෝගිමත් සේවක පිරිසක් එක තැනකට එකතු කර ගැනීමට සමාගම් වලට හැකියාව ඇත. (P4)

බලඇණි එක්රැස් කරගමු

සාමාන්‍යයෙන් සමාගම් තමන්ගේ සේවකයින් වෙනුවෙන් විවිධ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. මේ සේවක සංවර්ධන වැඩසටහන්,  සමාජ සත්කාර වැඩසටහන් සමඟ සම්බන්ධ කිරීම තුළින් විශාල ස්වේච්ඡා බලඇණියක දායකත්වය සමාගමේ සමාජ සත්කාර ව්‍යාපෘතිවලට ලබාගන්න පුළුවන්. කණ්ඩායමක් විදියට තමන්ගේ හදවතට දැනෙන සමාජ සත්කාර්යයක් කරන විට, සමාගම සහ සේවකයින් අතර බැඳීම ශක්තිමත් වෙනවා. ඒ වගේම සේවකයින් ඔවුනොවන් අතර පවතින බැඳීමත් ශක්තිමත් වෙනවා.  

ඒ වගේම සමාගමට පුළුවන් ව්‍යාපෘතිය සාර්ථක කරගන්න, සේවකයින්ගේ සම්පත්දායකත්වය උපරිම ආකාරයට ප‍්‍රයෝජනයට ගන්න. උදාහරණයක් විදියට විවිධ සේවක දක්ෂතාවයන් වගේම සේවක ශ‍්‍රමයත්, ව්‍යාපෘතිවලට සාර්ථකව යොදා ගන්න පුළුවන්. මේ විදියට සේවකයිනුත් සමඟ ප‍්‍රජාවක සංවර්ධනයට දායක වෙනවිට, ඒ ප‍්‍ර‍්‍රජාව සහ සමාගම අතර නිතැතින්ම විශාල බැඳීමක් ම ඇති වෙනවා. හැබැයි මේ දේ කරන්න නම්, මුලින්ම සමාගම  ආයතනික ප‍්‍රජා සත්කාර විෂයේ වටිනාකම අවබෝධ කරගෙන එය සමාගමේ මෙහෙයුම් කටයුතුවල වැදගත් කොටසක් කරගැනීම සිදු විය යුතුයි.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.