access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ශ්‍රී ලංකාවේ NFC

 

NFC තාක්ෂණයේ අනාගතයේ, ඉතාම කුඩා පරිමාණ වෙළෙන්දන්ට පවා මුදල් රහිත වෙළඳපොලවල් සහ පරිපූර්ණ ඩිජිටල් විසඳුම් අත්පත් කරගත හැකියි (P1)

හැඳින්වීම

අද වෙද්දී, ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදන (Near Field Communication - NFC) තාක්ෂණය වෙළඳපොලට ඇවිත් දශක දෙකකට වැඩියි. අප අතරින් බොහෝ දෙනා මෙම තාක්ෂණය පවතින බව නොදැන සිටියත්, පසුගිය අවුරුදු 5 තුළ නිපදවූ බොහෝ ජංගම දුරකථන මේ තාක්ෂණය සහිතව නිපදවා ඇති අතර, ඒ නිසා සෑම ස්මාට්ෆෝන් එකක්ම ආරක්ෂිත ගෙවීම් සිදු කළ හැකි උපකරණයක් බවටත් පත්ව තිබෙනවා. NFC තාක්ෂණය පිළිබඳ වැඩිදුර විස්තර සහ එය ආරක්ෂිත ගෙවීම් ප්‍රමිතියක් (secure payment standard) වන්නේ කෙසේද යන්න අපගේ Understanding NFC technology යන ලිපියේ ඇතුළත්.

NFC විසඳුම්, ව්‍යාපාර වෙත යොමු වූ සහ පාරිභෝගිකයා වෙත යොමු වූ යනුවෙන් ලිහිල්ව කොටස් 2කට ගොනු කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර, අදාළ අඩවියෙන් පිටත සිට දත්ත ඇතුළු කිරීම (off-site data entry) පහසුකම් සැපයීම සඳහා NFC තාක්ෂණය සිය ක්‍රියාවලිය සමග සංකලනය කිරීමට වැදගත් පියවර ගෙන තිබෙනවා. පාරිභෝගිකයා වෙත යොමු වූ යෙදවුම් මේ මට්ටමට පැමිණීම සිදු වී ඇත්තේ ඊට වඩා අඩු වේගයකින්. ඒත් මෑත වකවානුව තුළ කොළඹ යටිතල පහසුකම් වැඩිදියුණු වීමත් සමඟ බොහෝ පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවිතයට මේ තාක්ෂණයේ බලපෑම ලැබීමේ ඉඩ විවර වී තිබෙනවා.

 
Travel Pass

ශ්‍රී ලංකාව තුළ පළමු NFC ගෙවීම් පද්ධතිය වූයේ ටච් සංචාරක පෙර ගෙවුම් කාඩ් පතයි (touch travel pass) (P2)

මුදල් රහිත ප්‍රවාහනය

2014 තරම් කලින්, මගීන්ට සිය බස් ගමන් සඳහා ගෙවීම් සිදුකිරීමට, ශ්‍රී ලංකාවේ පමු NFC පහසුකම සහිත ගෙවීම් පද්ධතිය වානිජමය වශයෙන් දියත් කෙරුණා. එහෙත්, එතැන් සිට පොදු ගමනාගමනය සඳහා NFC භාවිතයේ වර්ධනය මන්දගාමීයි. ඒ වගේම, මේ වන විට රාජ්‍ය සහ පෞද්ගලික බස් රථ 11,000 ක පමණ NFC පහසුකම තිබුණත්, මෙම සේවාව විශ්වසනීය මට්ටමකින් සැපයෙන්නේ මහනුවර සහසර ව්‍යාපෘතිය යටතේ පමණයි.

කෙසේ වුවත්, මෑතකදී සිදු කෙරුණු කොළඹ මාර්ග ආශ්‍රිත වැඩිදියුණු කිරීම් සහ කොළඹ නගර සභාව විසින් සවිකරන ලද NFC පහසුකම සහිත ඩිජිටල් වාහන ගාල් කිරීමේ මීටර (parking meters) නිසා, මෙම කාඩ්පත් නුදුරු අනාගතයේදී වඩා ජනප්‍රිය වේවි.(1) මේ වාහන ගාල් කිරීමේ මීටර, ගාලු පාරේ ගලදාරි වටරවුමේ සිට දෙහිවල ගුවන් පාලම දක්වාත්, ආර්. ඒ. ද මැල් මාවතේ ලිබර්ටි මංසන්ධියේ සිට වැල්ලවත්තේ ධර්මාරාම පාර දක්වාත් දැකගන්න පුළුවන්.(2)

පෞද්ගලික රථ ගාල් කීපයකත් NFC පාදක විසඳුම් යොදාගෙන තිබෙනවා. පැමිණෙන සහ පිටවෙන වාහන සංඛ්‍යාව පිළිබඳ ගණන් තබා ගැනීමට භාවිත කරන වෙනත් RFID කාඩ්පත් වෙනුවට තරඟකාරී විකල්පයක් ලෙසත් මෙය භාවිතයට පැමිණෙමින් තිබෙනවා. එක් එක් වාහනගාල් කිරීමේ මුලු ගාස්තුව ගණනය කිරීමටත්, තව වාහන කීයක් නැවැත්වීම සඳහා ඉඩකඩ ඇත්දැයි ගණනය කිරීමටත් මේ පද්ධතිවලට පුළුවන්.

 
NFC Payments

සුපිරි වෙළඳසැල්වලින් මිලදී ගැනීම් පහසු කිරීමට ප්‍රමුඛපෙළේ දේශීය බැංකු මේ වනවිටත් NFC පහසුකම ඇති ක්‍රෙඩිට් කාඩ් සැපයීම අරඹා තිබෙනවා (P3)

මුදල් රහිත ගෙවීම්

බොහෝ ප්‍රමුඛ පෙළේ බැංකු මෑතකදී ඩිජිටල්කරණය වී ඇති අතර, ඔවුන් සිය ගනුදෙනුකරුවන්ට NFC හැකියාව සහිත ක්‍රෙඩිට් කාඩ් ලබාදෙනවා. මෙමගින් එම කාඩ්පත් හිමිකරුවන්ට, මුදල් ගෙවන ස්ථානවලදී ගෙවීමේ විධික්‍රමයක් ලෙස ඇතැම් විට අඩමාන වන චුම්බක තීරුවක් හරහා ඇදීමෙන් තොරව, සරලව සිය කාඩ්පත ස්පර්ශ කිරීමෙන් පමණක් ගෙවීම අනුමත කිරීමට හැකි වෙනවා. මේ වන විට NFC ගෙවීම් සිදුකළ හැකි ස්ථාන හා ආයතන ඉතා සීමිතයි. ඒත් සිය වාහන නැවතීමට තැන් සොයන පාරිභෝගිකයින් මේ තාක්ෂණය භාවිත කිරීම ඉහළ යාමත් සමග, ව්‍යාපාර වෙතින් ඔවුන්ට මේ පහසුවම ලබාදීම ඇරඹීම කාලය පිළිබඳ කාරණයක් විතරයි.

පැමිණීම ලකුණු කිරීමට සහ පාසලේ විවිධ සේවා සඳහා ගෙවීමට දෙමාපියන්ට ආරක්ෂිත අයුරින් සිය දරුවන්ට මුදල් ලබා දිය හැකි ක්‍රමයක් හැටියට NFC තාක්ෂණය ජාත්‍යන්තර සහ රජයේ පාසල්වලටත් ඇතුළු වෙලා. එම කාඩ්පත් මඟින් සිසුන්ට පාසල් පරිශ්‍රය ඇතුළතදී පමණක් - ආහාර පානවල සිට අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය ආදිය දක්වා - සියල්ල සඳහා මුදල් නෝට්ටු රැගෙන යාමේ කරදරයෙන් තොරව ඩිජිටල් ගෙවීම් කිරීමට ඉඩ සැලසෙනවා.

 
Thumbs Up

NFC භාවිතයෙන් යටිතල පහසුකම් සඳහා අමතරව වැයවන අධික වියදම්වලින් තොරව ඒකාබද්ධ පාරිභෝගික සේවාවක වාසි ලබා ගන්න පුළුවන් (P4)

NFC විභවය

පාරිභෝගිකයින් තමන්ට සේවාවන් සපයන ව්‍යාපාර සමග ගනුදෙනු කරන ආකාරය වෙනස් කිරීමෙහිලා NFC තාක්ෂණය සතු ඇති හැකියාව වඩාත් කැපී පෙනෙන අන්දමින් දැකගත හැක්කේ සිංගප්පූරුව හා හොංකොං වැනි අග්නිදිග ආසියාතික රටවලයි. ඒ රටවල NFC තාක්ෂණය ගනුදෙනු වෙළඳපොල සම්පූර්ණයෙන්ම වාගේ විනිවිද ගිහින්. එම තාක්ෂණයට ආවේණික ආරක්ෂිත බව නිසා බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාර සහ පොදු ප්‍රවාහන සේවා සියල්ලම එය භාවිතයට ගැනීම දිරිමත් කරනවා.

මෙම තාක්ෂණය සමාගම් තුළ සේවකයින්ගේ පැමිණීම සලකුණු කිරීමට, සීමා කරන ලද ප්‍රදේශවලට ඇතුල් වීමට, ෆොටෝකොපි යන්ත්‍ර වැනි සේවා භාවිතය වාර්තාගත කිරීමට, යනාදී කටයුතු සඳහා සේවක කාඩ්පත් හැටියටත් යොදාගන්න පුළුවන්. මේ තාක්ෂණය ශ්‍රී ලංකාවේ සමාගම් ක්ෂේත්‍රයේ ඉතා ශූර අන්දමට භාවිත කළ අවස්ථාවක් ලෙස සේවක ඉන්ධන දීමනාව ප්‍රතිපූරණය කිරීමේ (reimbursement) ක්‍රියාවලියේ සංකීර්ණත්වය නැති කරන ඩයලොග් ඉන්ධන කාඩ්පත දැක්විය හැකියි.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.