access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

Agile චින්තනය

 

සංකීර්ණ හා දුරවබෝධ ගැටලු සහිත පරිසර තුළ සුචල්‍ය ව්‍යාපෘති කළමනාකරණය දියුණුවෙන් දියුණුවට යනවා (P1) මූලාශ්‍රය: එඩ්වින් ස්ටූප්

සුචල්‍ය ප්‍රකාශනය

සුචල්‍ය (agile) ව්‍යාපෘති කළමනාකරණය කියන්නේ සුචල්‍ය ප්‍රකාශනය (Agile Manifesto) (1)තුළ ප්‍රකාශයට පත් වුණු වටිනාකම් හා මූලධර්ම මත පදනම් වුණු සාමාන්‍ය විධික්‍රම සහ භාවිතයන් ගොනුවක්.

 

ක්‍රියාවලියට හා මෙවලම්වලට වඩා පුද්ගලයින් සහ අන්තර්ක්‍රියාකාරීත්වය,

සවිස්තර ලේඛනගත කිරීම්වලට වඩා වැඩ කරන මෘදුකාංග,

කොන්ත්‍රාත් ගිවිසගැනීම්වලට වඩා පාරිභෝගික සහයෝගීතාව,

සැලැස්මක් අනුගමනය කිරීමට වඩා වෙනසට ප්‍රතිචාර දැක්වීම

 

සුචල්‍ය ප්‍රකාශනයේ පදනම රඳා පවතින්නේ "ප්‍රයෝජනවත් මෘදුකාංග විසඳුම් නොකඩවා සැපයීම ඔස්සේ පාරිභෝගිකයා සෑහීමට පත් කිරීම" කෙරෙහි යොමු වූ යමකට "හැඩගැසීමේ" හැකියාව මතයි. මෙයට අනුකූලව, දැඩි සැලැස්මක් අනුගමනය කිරීම හා විස්තර සහිත ප්‍රලේඛන සම්පාදනය ප්‍රමුඛතාවක් නෙමෙයි. ඒ වෙනුවට වටිනාකම දෙන්නේ පාරිභෝගිකයා සහ ව්‍යාපාරය, අදාළ කණ්ඩායම් හා එම කණ්ඩායම්වල සිටින පුද්ගලයින් අතර සමීප සහයෝගීතාවටයි.

එහි ආරම්භයේ පටන් ගත වූ වසර 16 තුළ, සුචල්‍ය ව්‍යාපෘති කළමනාකරණය, මෘදුකාංග කර්මාන්තය ලෝකයේ විශාලතම හා වඩාත් ප්‍රතිචාරාත්මක කර්මාන්තවලින් එකක් හැටියට ස්ථාපිත කිරීමට උදව් වී තිබෙනවා. කෙසේ වෙතත් එහි යෝග්‍යතාව මෘදුකාංග සංවර්ධනයට සීමා නොවන අතර එය ඇත්තෙන්ම ඕනෑම ව්‍යාපෘතියකට යොදාගන්න පුළුවන්. සුචල්‍ය ප්‍රවේශයක් යොදාගැනීමේ ප්‍රතිලාභ තේරුම් ගැනීම සඳහා අපි මුලින්ම සාම්ප්‍රදායික ව්‍යාපෘති කළමනාකරණ ප්‍රවේශයේ තියෙන සීමාකම් දිහා බලමු.

 
 
Agile Steps

 

සාම්ප්‍රදායික ව්‍යාපෘති කළමනාකරණය අනුක්‍රමික ක්‍රියාවලියක්(P2) මූලාශ්‍රය: Paulsmith99

සාම්ප්‍රදායික ව්‍යාපෘති කළමනාකරණ ප්‍රවේශය

සාම්ප්‍රදායික ව්‍යාපෘති කළමනාකරණය තුළ ඕනෑම ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යොදාගැනෙන්නේ ප්‍රමිතිගත, අනුක්‍රමික (sequential) ප්‍රවේශයක්. මෙයින් අදහස් වෙන්නේ ව්‍යාපෘතියක සැලසුම් නිර්මාණ, ක්‍රියාත්මක කිරීම් හා ඇගයීම් යන අදියර සියල්ල එකක් පසුපස එකක් හැටියට, සෑම අදියරක්ම ඊට පෙර අදියර සම්පූර්ණ කිරීමෙන් පසු ක්‍රියාවට නැංවෙන අයුරින් සිදු වන බවයි.

අනවශ්‍ය ලෙස කාලය වැය වීමට අමතරව මේ ප්‍රවේශයේ සැලකිය යුතු අවාසි ගණනක් තියෙනවා. අනුක්‍රමිකව වැඩ කිරීම නිසා විසඳුමේ ගුණාත්මක බව සහ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ගත වන කාලය සම්බන්ධයෙන් නොපැහැදිලි බවක් නිර්මාණය වෙනවා. බොහෝ විට අවසන් අදියර කඩිමුඩියේ සිදු කෙරෙන අතර, සමහර ගැටලු හඳුනාගත හැක්කේ අවසන් අත්හදාබැලීම් හා ඇගයුම් අදියරවලදී පමණක් නිසා, ප්‍රතිඵලය අසතුටුදායක වෙන්න පුලුවන්. පියවරෙන් පියවර සිදු වන සාම්ප්‍රදායික ප්‍රවේශයේ දැඩි බව, ක්‍රමානුකූල වීමට උත්සාහ දරන අතර, ඇත්තටම ගුණාත්මක අතින් පහළ තත්වයක වැඩ සිදු වීමේ අවදානම වැඩි කරනවා.(2)

 
 
Kanban Board

සුචල්‍ය ව්‍යාපෘති කළමනාකරණය මගින්, සියලු සංවර්ධන ක්‍රියාවලීන් එකිනෙකට සමාන්තරව සිදු වීමට ඉඩ සලසනවා (P3)මූලාශ්‍රය: Agile in a Nutshell

සුචල්‍ය ප්‍රවේශය යොදා ගැනීම

ව්‍යාපෘති අරමුණු කුඩා කොටස්වලට බෙදා වෙන් කොට එකිනෙකින් ස්වාධීනව සැලසුම් නිර්මාණය කොට ක්‍රියාත්මක කර අත්හදා බැලිය හැකි අයුරින්, සුචල්‍ය ක්‍රමවේද අනුක්‍රමික වීම වෙනුවට අන්තර්ක්‍රියාකාරී ප්‍රවේශයක් අනුගමනය කරනවා.

මේ අනුව, ව්‍යාපෘතිය ආරම්භ වූ පසු ප්‍රධාන උපකල්පනයන් අත්හදා බලා වෙළඳපොලට එයින් ලැබෙන ප්‍රතිලාභ තහවුරු කරගැනීමට ව්‍යාපෘතියට තියෙන්නේ බෙහෙවින් කෙටි පූරක කාලයක් (lead time). මේ ආකාරයෙන් කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා, සමාගම සහ එහි පාරිභෝගිකයින් අතර විතරක් නෙවෙයි, සමාගම ඇතුළත විවිධ කණ්ඩායම් අතර වගේම සෑම කණ්ඩායමකම සිටින විවිධ පුද්ගයින් අතරත් වඩා ඉහළ සහයෝගීතාවක් අවශ්‍ය කෙරෙනවා.(2)

මේ අරමුණ ඉටු කරගැනීම සඳහා, සුචල්‍ය භාවිතයන් සැලසුම් කර ඇත්තේ විනිවිදභාවය හා අන්තර්ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන අන්දමිනුයි.  Scrum  වැනි පැකේජ තුළ එකට ගොනු කර ඇති මේ භාවිතයන්, වේගයෙන් වෙනස් වන ව්‍යාපාරික පරිසරයකට අත්‍යවශ්‍ය අන්දමට, පැනනැඟිය හැකි බාධක වඩා හොඳින් පෙන්නුම් කරමින්, ව්‍යාපෘතියට සම්බන්ධ වන සියලු පාර්ශ්ව අතර වඩා හොඳ සහක්‍රියාකාරීත්වයකට ඉඩ සලසනවා.

 
 
Agile Project management

වඩා විනිවිද පෙනෙන ව්‍යාපෘති කළමනාකරණ වැඩරාමුවක් (P4) මූලාශ්‍රය: පැට්‍රික් ප(ර්)කින්ස්

මෘදුකාංගවලට එහා ගිය සුචල්‍යතාව

මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රයෙන් පිටතදීත් සුචල්‍ය ව්‍යාපෘති කළමනාකරණය යොදාගන්න පුළුවන් වුණත්, එය හැම ව්‍යාපාර අංශයකටම අදාළ කරගත නොහැකි බව මතක තබා ගැනීම වැදගත්.

නිදසුනක් වශයෙන්, සුචල්‍ය ප්‍රවේශය වැළඳගත් ඕපන්වීව් වෙන්චර් පාට්නර්ස් (OpenView Venture Partners) නමැති වෙන්චර් කැපිටල් ආයතනය තේරුම්ගත් දෙයක් තමයි, ඔවුන්ට සමහර ක්ෂේත්‍රවලට වඩා පහසුවෙන් වෙනත් ක්ෂේත්‍රවලට, සුචල්‍ය කළමනාකරණය යොදාගත හැකි බව. මූලෝපායික සැලසුම් හා වෙළඳ වැනි ක්ෂේත්‍ර සුචල්‍ය ක්‍රමවේදවලින් කෙලින්ම ප්‍රතිලාභ ලැබුවා. එම ක්ෂේත්‍රවල, සංකීර්ණ ගැටලු කුඩා කොටස්වලට වෙන් කිරීම මගින් ඔවුන්ගේ නිර්මාණශීලී බහුශික්ෂණාත්මක කණ්ඩායම්වලට එම ගැටලු කුඩා කොටස් ලෙස සමතයකට පත් කිරීමට අවස්ථාව ලැබුණා. අනිත් අතට, නිදසුනක් වශයෙන් අලෙවි අංශයට එම ප්‍රවේශය භාවිත කරන්න හැකි වුණේ නෑ. අලෙවිකරණ ඇමතුමක්, නියෝජිතයකුගේ කාලසටහන සැණෙකින් වෙනස් කරන්න පුළුවන් නිසා, අලෙවි කණ්ඩායමක් යළි ඒකරාශී කරගැනීම, පෝට්ෆෝලියෝවේ අතපසු වූ වැඩ වෙනස් කිරීම හා සෑම අවස්ථාවකම ගිණුම් යළි එකලස් කිරීම ප්‍රායෝගික නැහැ.(3) කෙසේ වෙතත් සුචල්‍ය ප්‍රවේශයේ යම් පැතිකඩ අනුවර්තනය කරගන්නා අලෙවි කළමනාකරණ මෙවලම් තියෙනවා. ඒවා මේ කටයුතුවලට වඩාත් සුදුසුයි.

කෙසේ වුවත්, යොදාගත හැකි තැන්වලදී, සුචල්‍ය ප්‍රවේශය අතිශයින් කාර්යක්ෂමයි. සුචල්‍ය ක්‍රමවේද සාම්ප්‍රදායික ව්‍යාපෘති කළමනාකරණයේ තියෙන ප්‍රධාන දුර්වලතාවලට, විශේෂයෙන්ම වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීමට එය දක්වන පොදු අසමත්කමට විසඳුම් දෙනවා. කෙසේ වෙතත්, සුචල්‍ය ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී සමාගම් මුහුණ දෙන දුෂ්කරතා රැසකුත් තියෙනවා.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.