access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ව්‍යාපාරික ඩිජිටල්කරණයේ අනාගත අභියෝග හා ඊට සූදානම් වීම

 

තාක්ෂණයේ මහිමයෙන් කර්මාන්ත ක්ෂේත‍්‍ර පෙරළියකට ලක් කරන IIOT තාක්ෂණය (P1)

මේ ලිපිය GE Reports වෙබ් අඩවියේ පළ වූ ලිපියක් ඇසුරෙන් සකස් කර ඇත.

IIoT එහෙම නැත්නම් Industrial Internet of Things කියන විෂයේ තියෙන වැදගත්කම ගැන ඕනෑම කර්මාන්ත ක්ෂේත්‍රයක විශේෂඥයෙකුගෙන් ඇහුවොත් ඔවුන් හැමදෙනාම ඒ ගැන කියනු ඇත්තේ එය තම ව්‍යාපාරයන් පෙරළිකාර වෙනසකට ලක් කරන බවයි. එහෙත් මේ පෙරළියට මුහුණ දීමට තමන්ගේ ආයතනය සූදානම් වෙන්නේ කොහොමද? කියා ඔවුන්ගෙන් විමසුවහොත් ඒකට ප්‍රමාණවත් පිළිතුරක් ලබා දෙන්න ඔවුන් බොහෝ දෙනෙක් අසමත් බවත් දකින්න පුළුවන්.

GE Digital සමාගම නිෂ්පාදන විසින් උපයෝජ්‍යතා, බලශක්ති, ප‍්‍රවාහන, ගුවන් ප‍්‍රවාහනය සහ අභ්‍යවකාශ යන ක්ෂේත‍්‍ර 5 ක තොරතුරු තාක්ෂණ සහ මෙහෙයුම් විධායක නිලධාරීන් 250 ක් යොදා ගෙන කරපු සමීක්ෂණයක ප‍්‍රතිඵලය වූයේ එයයි. සාමාන්‍යයෙන්  Internet of Things හරහා ගෙදර රූපවාහිනී යන්ත‍්‍රයේ සිට දොරේ සීනුව, මෝටර් රථය දක්වා අපි පාවිච්චි කරන දේවල් එකිනෙක සමඟ සම්බන්ධ වෙන අතරම IIoT මගින් සිදුවන්නේ කර්මාන්ත ශාලා සහ යන්ත්‍රෝපකරණවල දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීම වැනි දේවල්. GE Digital සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී Bill Ruh සදහන් කරන පරිදි ‘‘IIoT යනු ඉතා සුවිශේෂී ඒ වගේම ඉතා සංකීර්ණ විෂයයක්".

GE Digital සමාගම මේ සමීක්ෂණය සිදුකළේ Minds + Machines නමින් ඔවුන් සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයේ සංවිධානය කළ සමුළුවට පෙරාතුවයි. IIoT ගැන සුභවාදීව කල්පනා කිරීම සහ ඇත්තටම එහි ප්‍රතිලාභ ලබා ගැනීමට සූදානම් වීම අතර ලොකු හිදැසක් තිබෙන බව මේ සමීක්ෂණයෙන් පෙනී ගියා.

මේ සමීක්ෂණයට සහභාගී වුණු අයගෙන් 80% ක්ම IIoT නිසා තමන්ගේ ව්‍යාපාරයත් සමස්තයක් වශයෙන් තමන්ගේ කර්මාන්ත ක්ෂේත‍්‍රයත් වෙනස් වෙන බව විශ්වාස කළා. තරගකාරීත්වය පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් පෙරළියක් අවශ්‍ය බව 86% ක් විශ්වාස කළා. මේ සුභවාදී බව තේරුම් ගැනීම අපහසු නැහැ. මන්ද, ඉදිරි වසරවලදී IIoT නිසා ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයට ඇමෙරිකන් ඩොලර් ටි‍්‍රලියන 10 - 15 ත් අතර වටිනාකමක් එක්වීමට නියමිත බවට විශේෂඥයින් පුරෝකථනය කර තිබෙනවා.

මේ වනවිට තමන්ගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වී ඇති බව පැවසුවේ සමීක්ෂණයට සහභාගී වූ අය අතරින් 8% ක් පමණයි. වර්තමානයේදී ඒ වෙනුවෙන් වැඩ කරමින් සිටින බව 41% ක් පමණ දෙනා පැවසුවා. බොහෝ දෙනෙකු මේ ගැන මන්දගාමී ප්‍රතිචාර දැක්වීමට පෙළඹුණු අතර ඊට හේතුව වුණේ තමන්ගේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය IIoT වලට අනුගත වීමට තවත් වසර 8 ක් වත් යනු ඇතැයි ඔවුන් උපකල්පනය කිරීමයි. ඒ වගේම මේ ඩිජිටල් පෙරළිය සියලු ක්ෂේත‍්‍ර අරබයා අඛණ්ඩවම සිදුවන ක‍්‍රියාවලියක් වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළා.     

 
 
intelligent mines

GE Digital සමාගම ක්ෂේත‍්‍ර 5 ක තොරතුරු තාක්ෂණ සහ මෙහෙයුම් විධායක නිලධාරීන් 250 ක් සමග කළ සමීක්ෂණයකට අනුව හෙළි වුණේ බහුතරයක් ව්‍යාපාරික පුරෝගාමීන් තරගකාරීව අතර ඉදිරියෙන් සිටීමට ඩිජිටල් තාක්ෂණය ඉතා වැදගත් යැයි විශ්වාස කරනවා. (P2)

පරිවර්තනයට ලක් වීමේ අභියෝගය

GE Digital සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී Bill Ruh හිතන විදියට මේ සම්න්ධයෙන් ඉක්මනින් ක‍්‍රියාකාරී වීම ඉතාම වැදගත්. ‘‘අපි මේ සම්බන්ධයෙන් ඉක්මන් වීම සමස්ත ලෝකයේම ඉදිරිගමන වෙනුවෙන් ඉතා වැදගත්. අපි මේ කථා කරන්නේ ලෝකයට බලශක්තිය සපයන්න හැකි කාර්යක්ෂම ක‍්‍රමවේදයන්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විප්ලවීකරණය කළ හැකි ක‍්‍රමවේදයන්, ප‍්‍රවාහනය දියුණු කළ හැකි ක‍්‍රමවේදයන් සහ අපේ ආර්ථිකය දියුණු කළ හැකි ක‍්‍රමවේදයන් වැනි වැදගත් කාරණා ගැන’’.

මෙම සමීක්ෂණයට අනුව ව්‍යාපාරික සමාගම් මෙහි ඵල නෙළා ගැනීමට මන්දගාමී වීමට එක් ප‍්‍රධාන කාරණයක් නම් ඩිජිටල්කරණයට යන වියදම. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට සම්බන්ධ විධායක නිලධාරීන් (54%) මෙය තමන්ට ඇති ලොකුම අභියෝගය බවත්, නිෂ්පාදන ක්ෂේත‍්‍රයට සම්බන්ධ විධායක නිලධාරීන් 34% ක් එය තමන් මුහුණ දෙන කුඩාම ගැටළුව බවත් ප්‍රකාශ කළා. සමීක්ෂණයට සහභාගී වූ අනිත් අය වැඩි අවධාරණයක් ලබා දුන්නේ ආයෝජන මත ප‍්‍රතිලාභ (Return On Investment) ලැබෙන ආකාරය කෙරෙහියි.

IIoT ව්‍යාපාරික අවශ්‍යතාවයන් සහ සේවකයින් තුළ ඊට ඇති සූදානම අතර ඇති පරතර වෙතද මම සමීක්ෂණයෙන් අවධානය යොමු කෙරුණා. සමීක්ෂණයට සහභාගී වූ අයගෙන් 59% ක් මතු කර තිබුණේ තම සේවකයින්ට ඩිජිටල් ක‍්‍රමවේදයන් භාවිතා කිරීමට ප‍්‍රමාණවත් හුරුවක් නොමැති බවයි. 48% ක් සේවකයින්ට AI අවබෝධ කරගැනීමට සහ යන්ත‍්‍රානුසාරයෙන් ඉගෙනීම අසීරු බව හිතුවා. 48 % ක් ඉස්මතු කර තිබුණේ තම සේවකයින්ට තාක්ෂණික දත්ත කියවීමට නොහැකි බව සිතුවා.

 
 
connecting dots

ඩිජිටල් සබැඳියාව (P3)

දත්තවලින් සවිබලගැන්වුණු අනාගතයක්

මේ ආකාරයේ අභියෝගයන් ජයගෙන IIoT යොදා ගෙන ව්‍යාපාර සංවර්ධනය කරන ආකාරය පෙන්වා දීම තුළින් මෙවැනි ගැටළු විසදීමට GE Digital සමාගම සහාය වනවා. උදාහරණයක් වශයෙන් ඕස්ටේ‍්‍රලියානු ගුවන් සමාගමක් වන Qantas සමාගමට උපදේශනය සැපයීමේදී එම සමාගමේ කාර්මික අන්තර්ජාල ප්ලැට්ෆෝර්මය වූ Predix ආශ්‍රිතව බිලියන 10 කට අධික දත්ත ප‍්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට GE Digital සමාගම කටයුතු කළා. ගුවන් යානාවල සාමාන්‍ය එන්ජින් වේගයේ සිට තනි ගුවන් යානාවලට අදාළ නඩත්තු වාර්තා දක්වා වන සියලුම දත්ත නිසි ආකාරයවට විෂ්ලේෂණය කරමින් ගුවන් සේවය වඩා කාර්යක්ෂම කරන්න මේ හරහා හැකි වුණා.

GE Digital සමාගම එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කළ FlightPulse නමැති App එක හරහා ගුවන් නියමුවන්ට තම ගුවන් යානා දත්ත පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා නිමින්. හැකි සෑම අවස්ථාවකදීම ඉන්ධන ඉතිරි කිරීමටත් ඒ හරහා පරිසරයට කාබන් මුදාහැරීම අවම කිරීමටත් හැකියාව ලැබුණා. ඒ වගේම ගුවන් නියමුවන්ට මේ App එක හරහා තමන්ව අනෙකුත් නියමුවන් හා සන්සන්දනය කිරීමටත් හැකි වුණා. මේ නිසා තමන් වෙනස් කරගත යුතු දේවල් ගැන ඉක්මනින් අවබෝධ කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මේ ඇප් එක නිසා Qantas සමාගමට ඊට පෙර වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉන්ධන ඉතිරි කරගැනීමට හැකි වුණා.

බටහිර අර්ධගෝලයේ විශාලතම වරායක් වන ලොස් ඇන්ජලීස් වරාය ආශ්‍රිතව වඩා කාර්යක්ෂම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හා අභියෝගයන් ජයගැනීමට හැකි ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීම සදහාද GE Digital සමාගම සේවය ලබා දෙනවා. උදාහරණයක් වශයෙන් GE Digital සමාගම මේ වැඬේට සම්බන්ධ වෙන්න කලින් වරායට හැකියාව තිබුණේ ඉදිරි දින දෙක තුළ වරායට සේන්දු වෙන භාණ්ඩ ගැන පුරෝකථනයක් දෙන්න පමණයි. ඒ නිසා භාණ්ඩ එහාමෙහා ගෙන යාමට අවශ්‍ය පිරිස් බලය සහ යන්ත්‍රෝපකරණ සූදානම් කරගන්න එක විශාල අභියෝගයක් වුණා. නමුත් GE Digital සමාගම විසින් වෙනස් දත්ත ගබඩා ගණනාවකින් එන දත්ත එකවර විශ්ලේෂණය කරමින් භාණ්ඩ නෞකාවක් සේන්දු වීමට සති දෙකකට පෙරාතුව ඊට අදාළ විශ්ලේෂණ කිරීමේ හැකියාව ලබා දුන්නා. මේ නිසා වරායේ කාර්යක්ෂමතාවය ඉහළ යන ආකාරය ගැන වෙනම කියන්න අවශ්‍ය නැහැනේ.

මේ ආකාරයේ විප්ලවයන් නුදුරු අනාගතයේදී වැඩි වැඩියෙන් සෑම කර්මාන්ත ක්ෂේත‍්‍රයක් තුළම සිද්ධ වෙන එක අනිවාර්යයි. නොහිතන තැනක වැරැද්දක් හරි ගස්සලා කාර්යක්ෂතාවය දෙගුණ තෙගුණ කරමින් මුදල් ඉතිරි කරන, පරිසරයට සිදුවන බලපෑම අවම කරන ඩිජිටල් විසදුම් ඉදිරියේදී සෑම ක්ෂේත‍්‍රයක්ම පෙරළියකට ලක් කිරීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා ඇති. අනාගත කාර්මික සමාගම් විසින් මින් පෙර නොවූ විරූ පරිදි අවබෝධ කරගැනීමේ, පුරෝකථනය කිරීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් අනූන යන්ත්‍ර බිහි කරනු ඇති බව Ruh මහතා සදහන් කරයි. මීට වසර කිහිපයකට පෙර ඩිජිටල් කර්මාන්ත ශාලාවක් කියන දේ හුදෙක්ම අදහසක් පමණක් වුණත් දැන් එය යථාර්තයක් බවට පත්ව තිබෙන බවද ඒ මහතා පවසයි.

   

References

රූප:

P1. Jeferrb via Pixabay

P2. GE Reports

P3. Calvinius via Wikimedia

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.