access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

Agile ක‍්‍රමයට ජීවිතය දිනන්න

 

Agility එහෙම නැත්නම් ජවය කියලා කියන්නේ ශාරීරික ක‍්‍රියාකාරකම් සම්බන්ධ වෙන වචනයක්. හැබැයි මෙතනදී Agility කියන එකෙන් අදහස් කරන්නේ අපේ ඉලක්ක ජයගැනීමට ක‍්‍රියාකාරී වෙන ක්‍රමවේදයක් (P1)

ඔබේ ජීවිතය 'Agile' කරගන්නේ කොහොමද ?

මෘදුකාංග සංවර්ධනය එහෙම නැතිනම් කවුරුත් දන්න විදියට  software development  ගැන දැනුම්වත් හැම කෙනෙක්ම  Agile frameworks සහ tools ගැන දන්නවා. Agile Manifesto පාදක කරගත් මේ Agile frameworks and tools නිර්මාණය කරලා තියෙන්නේ විශිෂ්ට මටට්මේ මෘදුකාංග සංවර්ධනය කිරීමේ අරමුණෙන්. මේ  Agile tools  හරහා මෘදුකාංග සංවර්ධන කණ්ඩායම්වලට සංකීර්ණ ඉලක්ක සරල කරගැනීමටත්" අදාළ කාර්යයන් සැලසුම් කරගැනීමටත්" අභියෝගයන් කල්තියා හදුනාගැනීමට සහ ඊළඟ පියවර ගැන තීරණය කිරීමටත් හැකියාව ලැබනවා. මේ tools භාවිත කිරීම නිසා මෘදුකාංග සංවර්ධනය ක්ෂේත‍්‍රය දැවැන්ත සාර්ථකත්වයක් අත් කරගෙන තිබෙන බව කිව හැකියි.

කොහොම නමුත් අවබෝධ කරගත යුතු වැදගත් කාරණයක් තමා මේ  Agile tools  පාවිච්චි කළ පමණින් තමන්  Agile  වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම ව්‍යාපාරයක කණ්ඩායමක් ඇතුළේ මේ ක‍්‍රමවේද භාවිතා කිරීම නිසා ඇත්තටම ඵලදායීතාව අඩු වෙන්න පුළුවන්. මේකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන් වුණත් මූලිකම හේතුව තමයි බොහෝ අයට Agile tools භාවිතා කිරීම ගැන ප‍්‍රමාණවත් පළපුරුද්දක් නොමැති වීම. කොහොම නමුත් ඔබත් Agile ක‍්‍රමය භාවිතා කරලා සාර්ථක වෙන්න කැමති නම් පහත දැක්වෙන  Agile tools 3  අත්හදා බලන්න පුළුවන්. එමගින් නිවසේදී මෙන්ම කාර්යාලයේදීත් ඔබේ ඉලක්ක සාර්ථකව සම්පූර්ණ කරගන්න ඔබට හැකි වෙව්.

 
 

Matrix සටහනක් භාවිතා කරලා තමන්ගේ ඉලක්ක සම්පූර්ණ කරන විදිය ගැන සැලසුම් කිරීමට උදාහරණයක්. මෙය තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට හදාගන්න පුළුවන් (P2)

Matrix කාර්ය සටහනක් ඇසුරෙන් ඔබේ ඉලක්ක හඳුනාගන්න

මේ ක‍්‍රියාවලියේ පළමු කාර්යය වන්නේ ඔබේ ඉලක්ක ව්‍යාපෘති විදියට සැලසුම් කර ගැනීම සහ එම ව්‍යාපෘති සම්පූර්ණ කරගැනීමට කළ යුතු දේ ලැයිස්තුවක් සකසා ගැනීම. මෙහිදී සාමාන්‍යයෙන් මුහුණ දෙන්න වෙන අභියෝගයක් වන්නේ ඉලක්ක විශාල ප්‍රමාණයක් තිබීම සහ ඒවා ඉටුකර ගන්නේ කොහොමද යන්න හිතාගන්නවත් බැරි වීම. ඒත් ඒක වැඩිදුර වද විය යුතු නැති සාමාන්‍ය තත්ත්වයක්.

ඉලක්ක සම්පූර්ණ කරගැනීම සඳහා ඔබ මුලින්ම කළ යුතු කාර්යයන් ටික ලැයිස්තුවකට ඇතුළත් කරගන්න. වැදගත්ම කාරණයක් තමයි මේ සෑම කාර්යයක්ම සම්පූර්ණ කළ යුතු ආකාරය ගැන පැහැදිලි අදහසක් තිබීම සහ ඒවා සති කිහිපයක් ඇතුළත ඉටු කරන්න හැකි වීම. එක් කාර්යයක් සම්පූර්ණ කරන්න සති දෙකක වගේ කාලයක් තියා ගන්න. අලුත් කුසලතාවක් පුරුදු පුහුණු වීම, විසිත්ත කාමරය අලුත් කර ගැනීමට හෝ අලුතින් මෝටර් රථයක් මිලදී ගැනීම වගේ දේවල් ඊට නිදසුන්.

ඔබ අලුත් දෙයක් ඉගෙන ගැනීමට හිතනවා ඊට අදාළ මූලික කාර්ය සැලැස්මට මෙවැනි දේ ඇතුළත් වෙන්න පුළුවනි: දැනට තිබෙන පාඨමාලා පිළිබඳව සොයා බැලීම" එම පාඨමාලා සන්සන්දනය කිරීම" පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග ඒ ගැන සාකච්ඡා කිරීම" අවශ්‍ය මුදල් ඔබේ ආදායමෙන් වෙන් කර ගැනීම" කාලය වෙන් කරගැනීම ආදිය.

මේ එක් එක් ඉලක්කවලට අයත් කාර්යයන් තවත් කුඩා ලැයිස්තුවලට වෙන්කර ගැනීමෙන් ඉලක්ක කරා ගමන් කළ යුතු ආකාරය පැහැදිලි වෙනවා වගේම ඒ වෙනුවෙන් කළ යුතු දේවල් ගැනත් අදහසක් ලැබේවි. එහෙත් ඒ ලැයිස්තු දුටු ගමන්ම කලබල වෙන්න අවශ්‍ය නෑ. මොකද, ඒ හැම ඉලක්කයක්ම මේ දැන්ම සම්පූර්ණ කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඒ නිසයි ඔබ ප‍්‍රමුඛතා අනුපිළිවෙළක් හදාගත යුතු වන්නේ.

මෙම ඉලක්කවල වැදගත්කම තීරණය කරගෙන ප්‍රමුඛතා අනුපිළිවෙළට ඒවා සංවිධානය කරගන්න කදිම ක්‍රමයක් තමයි ඉහත දක්වා තියෙන ආකාරයේ matrix graph එකක් පාවිච්චි කරන එක. එහි y අක්ෂයෙන් කාර්යයේ වැදගත්කම පෙන්වන අතර x අක්ෂයෙන් පෙන්නුම් කරන්නේ කාලය හෝ මුදල්වලින් සිදුවෙන වැය වීම. මේ විදියට ඔබට ඔබේ ඉලක්ක කාණ්ඩ 4 කට වෙන් කරගන්න පුළුවන්. එම කාණ්ඩ නම්: වැදගතක්මින් ඉහළම සහ වියදම අතින් අවම; වැදගත්කමින් මෙන්ම වියදම අතිනුත් ඉහළ; වැදගත්කමින් අඩු වියදමත් අඩු; සහ වැදගත්කමින් අඩු ඒත් වියදම වැඩි. (1)

 
 
Kanban Board

හැකි තරම් සරල වෙන්න (P3)

ඔබෙ ඉදිරි ගමන හිතෙන් මවා ගන්න Kanban Boards

මේ විදියට පැහැදිලිව ඉලක්ක තෝරා බේරා ගත්තාට පස්සේ ඔබ මේ ඉලක්කවලට ළඟා වෙන ආකාරයට හිතේ මවා ගැනීමට හොඳම ක‍්‍රමය නම්  Kanban Board  එකක් භාවිතා කිරීමයි. Kanban Board එකක ක‍්‍රියාකාරකම් වෙන වෙනම කොලම්වලට වර්ග කරන්න පුළුවන්. ඉහත දක්වා තිබෙන Kanban Board එකේ ‘කළ යුතු (To Do), ‘කරමින් සිටින’ (Doing) සහ ‘නිම කළ’ (Done) වශයෙන් කොලම් 3 කට ක‍්‍රියාකාරකම් වෙන් කර තිබෙනවා. තමන්ගේ කාර්යයන් ප‍්‍රමාණයට සහ ඒ ඒ කාර්ය වෙනුවෙන් ගතවෙන කාලය අනුව මේ කොලම් ගාන අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ක‍්‍රමයට අනුව ඉදිරියට කරන්න ඉතිරි වෙලා තියෙන වැඩ මොනවාද" කෙරී ගෙන යන වැඩවල ප්‍රගතිය" සම්පූර්ණ වෙලා තිබෙන වැඩ සහ වැඩ හිර වෙලා තියෙන්නේ කොතැනද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

Kanban ක‍්‍රමය 1940 ගණන්වලදී ටොයෝටා සමාගමේ lean  manufacturing  පද්ධතිය අනුසාරයෙන් හඳුන්වා දෙන ලද්දක්. වර්තමානයේදී බොහෝ මෘදුකාංග නිර්මාණ කණ්ඩායම් මේ ක‍්‍රමය යොදා ගෙන ‘‘කෙරෙමින් තිබෙන වැඩ’’ එහෙම නැතිනම් “work-in-progress” (WIP) ලෙස වර්ග කෙරෙන වැඩ ගැන අදහසක් ගන්න භාවිතා කරනවා. මේ Kanban board කාන්දම් සහිත sticky notes භාවිතා කළ Kanban board වුණා. දැන්නම් Online Kanban board තිබුණත් තවමත් වැඩි දෙනෙක් කැමති පරණ තාලේ බිත්තියේ එල්ලන  Kanban board  වලටම තමා.(2)

Kanban board එකක් පවත්වාගෙන යාමටත් වෙනම කැපවීමක් කරන්න ඕන. පුරුදු වෙනකල් හැමදාම Kanban board එක Update කරන එක තවත් අමතර වැඩක් විදියට දැනෙන්න පුළුවන්. හැබැයි ඒ පුරුදු වෙනකන් විතරයි. ඒ වගේම එක් එක් කාර්යයන් අවසන් වෙන තැන ගැන පැහැදිලිව නිර්ණය කරගෙන නොමැතිනම් ‘‘අවසන් කළ වැඩ’’ කොලම් එකට කාර්යයන් ඇතුළත් කර ගැනීම තරමක් අසීරු වෙන්න පුළුවන්. Kanban board එක Update කරන්න අතපසු වුණොත් ඒකම ඔබේ ඉලක්ක සම්පූර්ණ කරගන්න අසීරු වෙන හේතුවක් වෙනවා. මේක නිසා අධෛර්යමත් නොවී හැම වැරදීමක්ම සාර්ථක වෙන්න ලැබුණු අවස්ථාවක් විදියට දකින්න උත්සාහ කරන්න.

 
 
Reflections

ඔබේ ක‍්‍රියාකාරීත්වය ආවර්ජනය කිරීමේදී සෘණාත්මක නොවී ස්වයං-විචාරාත්මක වන්න. (P4)

Plus/Delta Reflections

ඉලක්ක හඳුනාගැනීම වගේම ඒවා ඉටුකර ගන්නට කළ යුතු කාර්යයන් හඳුනාගැනීමත් අභියෝගාත්මකයි. අසාර්ථක වීම සාර්ථකත්වයට පළමු පියවර බව මතක තබාගන්න. කිසිම හේතුවක් නිසා උත්සාහ කරන එක නවත්වන්න එපා.

Plus/Delta Reflection Technique කියන්නේ ඔබේ ක‍්‍රියාකාරීත්වය ගැන විශ්ලේෂණය කරමින් ඒ ගැන මෙනෙහි කරමින් ඉගෙන ගන්න පුළුවන් හොඳ ක‍්‍රමයක්. හැම දවසකම අවසානයේ තමන් කරපු කාර්යයන් Plus සහ Delta වශයෙන් කොලම් දෙකක් යටතට වැටෙන විදියට ලියා ගන්න. Plus කොලම් එක යටතේ සාර්ථකව සම්පූර්ණ කළ වැඩ ගැන සටහන් කරන්න. Delta කොලම් එකේ එතරම් සාර්ථක නොවූ වැඩ ගැන සටහන් කරන්න. මේ ක‍්‍රමයට තමන් කළ වැඩ ගැන සෘණාත්මක ආකාරයට ආපහු හැරී බලනවාට වඩා ධනාත්මකව බලන්නත් අපි පුරුදු වෙනවා.

මෙතනදී අපි නැවතත් එක දෙයක් මතක් කරනවා. මේ සියල්ල ඔබේ ඉලක්ක අත්පත් කරගන්න උපකාරී වෙන  tools  විතරයි. ඉලක්ක අත්පත් කරගැනීමට කරන්න වෙන්නේ ඔබටමයි. විශේෂයෙන්ම ඔබේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ ඉලක්ක ගත්තොත් මේ කාරණය ඉතා වැදගත්.

මේ ගැන ඔබට හිතන දේ අන් අයත් සමග බෙදාහදා ගන්න.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.