access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ව්‍යාපාර ස්වයංක‍්‍රීයකරණය සඳහා NFC තාක්ෂණය

 

ඔබේ නිවසේ, කාර්යාලයේ කටයුතු ස්වයංක‍්‍රීය කරගැනීම මේ වගේ සරල NFC Tag එකකින් කරන්න පුළුවන් (P1)

පාරිභෝගිකයන්ගේ සහ ව්‍යාපාරවල දෛනික කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට මග පාදමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රැහැන් රහිත තාක්ෂණයන්, යොදා ගැනීම ඉහළ යමින් පවතිනවා. විශේෂයෙන්ම, වර්තමායේදී ඉහළ ජනප‍්‍රියත්වයක් හිමි කරගෙන ඇති සමීප ක්ෂේත්‍ර සන්නිවේදනය වැනි තාක්ෂණයන් (Near Field Communication – NFC), ලෝකය පුරා ව්‍යාපාර ස්වයංක‍්‍රීයකරණය කරමින්, ව්‍යාපාර පාරිභෝගිකයින් සහ හවුල්කරුවන් අතර ගනුදෙනු සිදු වෙන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් තිබෙනවා.

NFC තාක්ෂණය කියන්නේ සෙන්ටිමීටර් කිහිපයක දුරින් ඇති ඩිජිටල් උපාංග දෙකක් අතර සන්නිවේදනයට උපකාරී වන රැහැන් රහිත තාක්ෂණයක්. අභිනව ජංගම දුරකතනවල මාදිලි පරම්පරා කිහිපයක්ම වෙත ඇතුළත් කර ඇති NFC තාක්ෂණය අද වනවිට පාරිභෝගික ගෙවීම් සහ පාරිභෝගික පාක්ෂිකත්ව පද්ධති (customer loyalty systems) වැනි විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා බහුල වශයෙන් යොදා ගන්නවා. අපේ රටෙත් ව්‍යාපාර බොහොමයක් ඔවුන්ගේ සේවාවන් සහ ක්‍රියාවලීන් වඩාත් සාර්ථක කරගැනීමට මෙ තාක්ෂණය යොදා ගන්නවා.

සාමාන්‍යයෙන් ව්‍යාපාර ගනුදෙනුවලදී විනිවිදභාවය සහ පිළිවෙළ පවත්වාගෙන යාම සඳහා විවිධ අවස්ථාවලදී approvals එහෙම නැතිනම් අනුමත කිරීම් ඇතුළු ක්‍රියාවලීන් අනුගමනය කරන්නට වෙනවා. වර්තමානයේදී බොහෝ ව්‍යාපාර මෙම තොරතුරු කළමනාකරණය කරගැනීම සඳහා ERP වැනි ඩිජිටල් පද්ධති භාවිතා කරනු දැකිය හැකියි. නමුත් බොහොමයක් ව්‍යාපාරවල තොරතුරු එකතු කිරීම සිදු වෙන්නේ කඩදාසි රිසිට්පත් දැන්වීම් වැනි සාම්ප‍්‍රදායික ක‍්‍රමවලට අනුවයි. මේ නිසා සේවකයින්ට සිදුවෙනවා කඩදාසි මත ලබාගත් තොරතුරු නැවත පරිගණක පද්ධතියට ඇතුළත් කරන්නත්. මෙම ක‍්‍රමය නිසා අනවශ්‍ය ශ‍්‍රම නාස්තියක් සිදු වෙනවා වගේම බොහෝ අත්වැරදි සිදු වෙන්නත් ඉඩ තියෙනවා.

විවිධ කර්මාන්ත නියෝජනය කරන ව්‍යාපාරික සමාගම්වලට, බාහිර අවකාශයේ සේවයේ යෙදෙන තම අලෙවි විධායකවරුන් සහ බෙදාහැරීම් නියෝජිතයන් වැනි කාර්ය මණ්ඩලවල භාවිතය වෙනුවෙන් දත්ත එක්රැස්කර ගැනීමේ ඩිජිටල් ක්‍රම යොදා ගැනීමට සහාය වන, මෙරට ප්‍රමුඛ NFC තාක්ෂණ විසඳුම් සමාගමක් වන Axionent Pvt Ltd විසින් බෙදාහරිනු ලැබෙන තාක්ෂණික විසඳුම් තුනක් ගැන සාකච්ඡා කිරීමට මෙම ලිපිය මගින් අප බලාපොරොත්තු වෙනවා.

 
 
portable NFC enabled POS device in action

ගෙවීම්වලට අදාළ විස්තර ලබාගෙන ඒ මොහොතේම රිසිට්පත් නිකුත් කිරීමේ හැකියාව NFC තාක්ෂණය සහිත Point-of-Sale උපකරණ සතුයි. (P2)

කාර්යාලයෙන් බැහැරව වැඩ කරන සේවකයන්ට පහසුවක්

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හෙවත් මයික්‍රෝ ෆිනෑන්ස් සමාගම්වලවල ක්ෂේත‍්‍ර නිලධාරීන්ට ඈත දුරබැහැර ගම්මානවල පාරිභෝගිකයින් හමු වෙමින් සමාගමේ සේවාවන් සැපයීමට සහ ගෙවීම් එකතු කිරීමට සිදු වෙනවා. මින් පෙර සිදු වුණේ මෙම සේවකයන් සියලු ගනුදෙනු පොතක සටහන් කරගෙන නැවත කාර්යාලයට ගොස් නැවත ඒ දත්තම පරිගණකගත කිරීමයි. මේ නිසා දවසක් ඇතුළත එක් සේවකයෙකු හට මුණගැසීමට හැකි පාරිභෝගිකයින් ගණන සීමිත වුණා වගේම පාරිභෝගිකයෙකු විසින් කිසියම් ගෙවීමක් කළ පසු එය තහවුරු කරගැනීමටත් විශාල කාලයක් බලාසිටින්නට සිදු වුණා. ඊටත් අමතරව එමගින් එකම දත්ත දෙවරක් ඇතුළත් කිරීමේදී සිදු විය හැකි අත්වැරදීම් ආදිය සහ පෙරද සඳහන් කළ ගැටළු හේතුවෙන් පාරිභෝගික විශ්වාසය දිනාගැනීමද ව්‍යාපාරික සමාගම්වලට අසීරු කටයුත්තක් බවට පත් කෙරුණා.

ක්ෂේත‍්‍ර කාර්ය මණ්ඩල වෙත NFC තාක්ෂණයෙන් ක‍්‍රියාත්මක Point of Sale යන්ත‍්‍ර ලබා දීමෙන් පසුව ඔවුන්ට ගනුදෙනු සටහන් කිරීමටත් එම අවසථාවේදීම පාරිභෝගිකයින් අතට රිසිට්පත් ලබා දීමටත් මෙන්ම අදාළ ගනුදෙනු සමාගමේ පරිගණක වාර්තාවලට ඒ මොහොතේම ඇතුළත් කිරීමටත් හැකි වීම ඇරඹුණා. මෙහිදී පාරිභෝගිකයාට කිරීමට සිදු වන එකම දෙය වන්නේ තමන්ට ලබා දී තිබෙන NFC කාඩ්පත් POS යන්ත‍්‍රයට සමීප කර ගෙවීම් තොරතුරු නිවැරදිව සටහන්ව තිබේද යන්න පරීක්ෂා කිරීම පමණයි.

මෙ තාක්ෂණය නිසා මූල්‍ය සමාගම්වලට වගේම පාරිභෝගිකයින්ටත් විශාල ප‍්‍රතිලාභ හිමි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ක්ෂේත‍්‍ර නිලධාරීන්ට දත්ත ඇතුළත් කිරීම සඳහා නිතර නිතර කාර්යාලයට යනවා වෙනුවට වැඩි වැඩියෙන් පාරිභෝගිකයින් මුණ ගැහෙන්නත්, ඔවුන් අතර ගැවසෙන්නත් පුළුවන්. කළමනාකරුවන්ට මූල්‍ය තත්ත්වය පිළිබඳව හරි අවබෝධයක් ලබාගන්නත් වඩා හොඳ කාර්යක්ෂම සේවයක් ලබාදීම නිසා තවත් වැඩියෙන් පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීමටත් දැන් හැකියාව තිබෙනවා. ඒ වගේම පාරිභෝගිකයින්ටත් සමාගමෙ පරිගණක පද්ධතිය යාවත්කාලීන වෙන තුරු බලා ඉන්නේ නැතිව රිසිට්පත් ලබාගන්නටත් ගිණුම් ශේෂය බලාගැනීම වගේම තමන්ගේ ගෙවීම් තොරතුරු තහවුරු කරගැනීමටත් හැකියාව ලැබෙනවා. මෙය පාරිභෝගිකයින් තුළ සමාගම් කෙරෙහි වඩා විශ්වසනීය ආකල්පයක් ඇති කරන්න හේතු වී ඇති තාක්ෂණික පෙරළියක් වන්නේ ඒ නිසයි.

 
 
Delivery person with NFC reader

භාණ්ඩ බෙදාහැරීමේදී දැන් පාරිභෝගිකයාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමටත්, ගනුදෙනුවට අදාළ තොරතුරු පද්ධතියට ඇතුළත් කරගැනීමත් එකම මොහොතකදී කළ හැකියි.(P3)

කඩදාසි භාවිත නොවන රිසිට්පත් සහ බෙදාහැරීම් නිවේදන

ශ‍්‍රී ලංකාව විශාතම හා ප‍්‍රමුඛතම බෝතල් කළ පානීය ජලය සපයන සමාගමක් වන Aquafresh වසර16 ක් තිස්සේ ඉහළ සනීපාරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගනිමින්, ලොරි රථ සමූහයක් යොදා ගෙන සිය නිෂ්පාදන බෙදාහැරීම සිදු කරමින් ඉන්නවා.

මෙහිදී එම සමාගම විසින් සිය නිෂ්පාදන බෙදා හැරීමෙන් අනතුරුව මාසය අවසානයේදී පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු බිල්පත් නිකුත් කිරීම සිදු කරන නිසා අතර ජල බෝතල් සපයන විට පාරිභෝගිකයින් හට බෙදා හැරීමේ නිවේදනයක් අවශ්‍ය වෙනවා. එමෙන්ම, කිසියම් පාරිභෝගිකයෙකු හට තමන් ඉල්ලා සිටි ජල බෝතල් තොගය ලබා ගැනීමට හැකි නොවූයේ නම් ඊළඟ දිනයේදී එය ලැබීමට සැලැස්වීම සදහා බෙදාහැරීම් මාර්ග සැලසුම් කිරීමේ අරමුණ වෙනුවෙන් සාර්ථක වූ සහ අසාර්ථක වූ බෙදාහැරීම් ප්‍රයත්න ගැන තොරතුරු සිය පද්ධතිවලට ඇතුළත් කිරීමටද එම සමාගමට සිදු වෙනවා. මීට පෙර මෙම කාර්යය ඉටු කෙරුණේ සිය බෙදා හැරීමේ කටයුතු නිම කොට ලොරි රථ පෙරළා වාර්තා කිරීමෙන් අනතුරු දිනය අවසානයේදී එකවරයි.

කෙසේ වෙතත්, NFC තාක්ෂණය සහිත POS යන්ත‍්‍ර හඳුන්වාදීම නිසා Aquafresh සමාගමට ගැලුම් 5 ධාරිතාවයේ ජල බෝතල් බෙදාහැරීම් සේවය ඉතාම කාර්යක්ෂකම කරගැනීමට හැකි වුණා. පාරිභෝගිකයා සිදු කළ යුතු වුණේ තමන්ගේ NFC කාඩ්පත සමාගමේ නියෝජිතයාගේ POS යන්ත‍්‍රයට තබා රිසිට්පත ලබාගැනීම පමණයි. සමාගමේ පරිගණක දත්ත පද්ධතියත් මේ සමගම යාවත්කාලීන වෙනවා. මෙ ක‍්‍රමවෙදය GPS පද්ධතියක් වෙත ඒකාබද්ධ කළ පසු එක් එක් ලොරි රථ ගමන් ගන්නා මාර්ගය වගේම සිදු කළ බෙදාහැරීම් ප‍්‍රමාණය ගණනය කරගන්නත් හැකියාව ලැබෙනවා. මෙ නිසා ලොරි රථ නැවත කාර්යාලයට පැමිණීමටම පෙර ඊළඟ දිනය සඳහා බෙදාහැරීමේ ගමන් මාර්ග සැළසුම් කිරීමට හැකියාව දැන් ලැබී තිබෙනවා.

 
 
NFC Fuel Card

ඉන්ධන වියදම් සමාගමෙන් අයකරවා ගැනීමේ සේවාව බොහෝ සමාගම් දැන් භාවිතා කරන්නේ Touch Corporate Fuel කාඩ්පත් **Touch යනු Dialog PLC සතු සන්නාමයක්** (P4)

පෙර ගෙවුම් ඉන්ධන කාඩ්පත්

සාමාන්‍යයෙන් ඉන්ධන සහ වෙනත් රාජකාරී වියදම් සමාගමෙන් අයකරවා ගැනීමට සේවකයන්ට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ලියකියවිලි බොහොමයක් නඩත්තු වෙනවා. සේවකයින්ට මෙම ගෙවීම් ලබා දෙන ක‍්‍රමවේදයක් සෑම සමාගමක්ම තුළ දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙම ක‍්‍රමවේදය නිලධාරීන් බොහෝ දෙනෙකුගේ අත්සන් සහ අනුමැතිය අවශ්‍ය කෙරෙන, දීර්ඝ ලෙස කාලය වගේම ශ‍්‍රමයත් වැය වන්නක්.

මීට විසඳුමක් වශයෙන් විශේෂයෙන්ම ඉන්ධන වියදම් නැවත ලබා ගැනීම වැනි අරමුණු වෙනුවෙන් බොහෝ මහා පරිමාණ දේශීය සමාගම්ද දැන් NFC කාඩ්පත් නිකුත් කරනවා. ඉන්ධන දීමනාවක් හිමි සෑම සේවකයෙකු හටම NFC කාඩ්පතක් ලබාදෙන අතර අවශ්‍ය වූ විට අදාළ වටිනාකම කෙළින්ම කාඩ්පතට බැර කිරීමට හැකි වීමේ පහසුවක් මෙමගින් ලැබෙනවා. සමාගම එක් වී සිටින ඉන්ධන පිරවුමහල්වලින් තමන්ගේ සීමාව දක්වා ඉන්ධන ලබාගන්නට මේ නිසා සේවකයන්ට මෙම කාඩ්පත යොදාගන්න පුළුවන්. මේ නිසා කාඩ්පත භාවිතා කළ ඉන්ධන පිරවුම්හල් භාවිතා කළ වෙලාවන් ආදී සියළු තොරතුරු සමාගමට පහසුවෙන් ලබාගත හැකි නිසා ඉන්ධන සඳහා කළ වියදම් සොයා ගැනීම සඳහා මධ්‍යගත පද්ධතියක ප්‍රයෝජනය ලබා ගැනීමට සමාගම්වලට හැකියාව ලැබෙනවා.

 
 
NFC enabled portable POS unit

NFC තාක්ෂණයෙන් ව්‍යාපාරවලට ලැබෙන ප‍්‍රතිලාභ ගැන දැන්දැන් අවධානයක් යොමු වෙමින් තිබෙනවා (P5)

සාරාංශය

ව්‍යාපාරික ක්‍රියාවලීන් රැසක්ම සඳහා වැඩි කාර්යක්ෂමතාවක් ඒකතු කිරීම සඳහා NFC වැනි නව තාක්ෂණයන් ඉතා පහසුවෙන් ERP පද්ධති සමග ඒකාබද්ධ කරන්න පුළුවන්. ඉන්වෙන්ටරි සැලසුම් කිරීමෙ සිට සේවකයින්ට දීමනා ගෙවීම දක්වාත් ප‍්‍රවාහන කටයුතු දක්වාත් බොහෝ කටයුතු NFC තාක්ෂණය හරහා කාර්යක්ෂම කරගැනීමටත් කාලය සහ ශ‍්‍රමය සැලකිය යුතු මට්ටමකට ඉතිරි කරගැනීමටත් සමාගම්වලට හැකියාව ලැබෙනවා. NFC තාක්ෂණයේ ඇති නම්‍යශීලී බව නිසා ඉතා පහසුවෙන් සමාගම භාවිතා කරන ඔනෑම ඩිජිටල් පද්ධතියක් සමග ඒකාබද්ධ කර අදාළ කාර්යයේ කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න පුළුවන්. තාක්ෂණය ව්‍යාපාර වෙනස් කරන කාලයක තරගකාරීත්වයෙන් ඉදිරියෙන් සිටීමට නම් නව තාක්ෂණයේ ප‍්‍රතිලාභ උපරිමයෙන් ලබාගැනීම අත්‍යවශ්‍යයි.

 

   

References

Images:

P1. Axionent Pvt Ltd

P2. Axionent Pvt Ltd

P3. Axionent Pvt Ltd

P4. Axionent Pvt Ltd

P5. Axionent Pvt Ltd

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.