access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

දැවැන්ත ගොඩනැගිලි සඳහා හොඳම ජල සැපයුම් පද්ධති

Manager - Business Development

Suresh Jayawardena

Manager - Business Development

Access Special Projects Pvt. Ltd

 

විශාල ගොඩනැගිලිවලට සෑම ජල පිටවුමකින්ම (outlet) නිසි පීඩනය සහිතව නොකඩවා ජල සැපයුම සහතික කිරීම සඳහා සංකීර්ණ පොම්ප පද්ධති අවශ්‍ය වෙනවා. (P1)

අහස උසට නැගෙන ගොඩනැගිලි කොළඹ අහස වසාගෙන පැතිරෙන්න පටන් අරන් බව අප සෑමදෙනාම දන්නවා. තිරසාර ගොඩනැගිලි නිර්මාණය කිරීම ගැන කතා කිරීමේදී කාර්යක්ෂම අන්දමින් විදුලිය, වායුසමනය හා ජලය ඇතුළු මූලික අවශ්‍යතා සම්පාදනය කිරීම, එම ගොඩනැගිලිවල සැලැස්මෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙනවා.

උස් ගොඩනැගිලි සඳහා ජලය සැපයීම විශේෂයෙන් අභියෝගාත්මක කාර්යයක් වෙන්නේ ඒ සඳහා සැලකිය යුතු බරක් දරන ජල පරිමාවක් සිරස් අතට ප්‍රවාහනය කිරීම අවශ්‍ය වන නිසයි! සාම්ප්‍රදායිකව මේ අභියෝගය ජය ගැනීම සඳහා භාවිත ක්‍රමවේදය තමයි ගොඩනැගිල්ල මුදුනේ විශාල වතුර ටැංකි ස්ථාපනය කිරීම. ඉහළ මහල් සඳහා ජලය සැපයීමේදී පීඩනය වැඩි කිරීමට බූස්ටර් පද්ධති යොදාගන්නා අතර, සෙසු මහල් සඳහා ප්‍රමාණවත් පීඩනය ගුරුත්වාකර්ෂණ බලය ඔස්සේ ලැබෙනවා. කෙසේ වෙතත් මේ ක්‍රමයට, මුදුන් මහලේ ඇති ටැංකියේ බර දරාගැනීමට අවශ්‍ය අතිරේක කොන්ක්‍රීට් වැරගැන්නුම් වැඩ නිසා ස්ථාපනයේදීත්, එක් එක් මහල කරා ආපසු පහළට ගැලීමට සැලැස්වීමට පෙර බිම සිට ඉහළ මහලට සියලු ජලය පොම්ප කිරීමේදී මෙහෙයුම අතරතුරත්, විශාල බලශක්තියක් අපතේ යනවා.

අලුත් තාක්ෂණික හා සැලසුම්කරණ නවෝත්පාදනයන් යොදාගැනීමෙන් මේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සැලකියයුතු අන්දමින් වැඩිදියුණු කරගන්න පුළුවන්. එය, අනාගත කුලී නිවැසියන්ගේ නඩත්තු වියදම් අඩු කිරීමටත් උදව් වේවි. මේ ලිපිය මගින් අප උස් ගොඩනැගිලිවල තිබෙන ඉහත විස්තර කෙරුණු විදිහේ ජලය බෙදාහැරීමේ පද්ධති, මෙවැනි නවෝත්පාදනයන් යොදාගෙන වැඩිදියුණු කරගත හැක්කේ කොහොමද කියා විමසා බලනවා.

 
 
Water pump Electronic Control Unit

සබුද්ධ විද්‍යුත් පාලක පද්ධතිවලට (intelligent electronic control systems), බලශක්ති නාස්තිය අඩු කරන්න පුළුවන් (P2)

සබුද්ධ පොම්ප (Intelligent Pumps) හා විචල්‍ය වේග ධාවක (Variable Speed Drives)

උස් ගොඩනැගිලිවල ජල පොම්ප පද්ධති, සමස්ත පද්ධතියේම ජල පීඩනය පාලනය කරන සම්පීඩිත ජල බෆරයකට හා සබුද්ධ විද්‍යුත් ඒකකයකට සම්බන්ධ කෙරුණු පොම්ප ගණනාවකින් සමන්විතයි. මෙමගින් බලශක්ති නාස්තිය අවම මට්ටමක පවත්වා ගනිමින්, කාර්යක්ෂම අන්දමින් ගොඩනැගිල්ල පුරා ජලය බෙදාහරින්න ඉඩ සැලසෙනවා. සුලභව භාවිත වන මේ ආකාරයේ පොම්ප දෙවර්ගය වන්නේ තිරස් හා සිරස් 'බහු-අදියර' පොම්පයි (horizontal and vertical multi-stage pumps). ඉහළම කාර්යක්ෂමතාව හා විශ්වසනීයත්වය ලබා දෙන නිසාත්, ස්ථාපනය සඳහා අවශ්‍ය වන්නේ සැලකියයුතු අන්දමින් අඩු ඉඩකඩක් නිසාත්, මේ අතරින් ගොඩනැගිලි සංවර්ධකයින්ගේ වැඩි කැමැත්ත, සිරස් බහු-අදියර පොම්පවලටයි.

තිරස් හා සිරස් බහු අදියර පොම්ප දෙවර්ගයටම විචල්‍ය සංඛ්‍යාත ධාවක (Variable Frequency Drives – VFDs) සම්බන්ධ කළ හැකියි. මෙමගින් පොම්පවලට ගොඩනැගිල්ලේ අවශ්‍යතාව අනුව තීරණය වන අඩු වේගවලට ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබෙනවා. VFD සහිත පොම්ප පාලක ඒකකයකට සම්බන්ධ කිරීම මඟින්, පද්ධතිය සබුද්ධික අන්දමින් ගොඩනැගිල්ලේ ජල පරිභෝජන රටා මත පදනම් වෙමින් මේ පොම්ප සක්‍රීය හා අක්‍රීය වීම සැලසුම් කරනවා. එහි ප්‍රතිඵලය උපරිම බලශක්ති ඉතිරියක් සිදු වීමයි. VFD පොම්ප, VFD නොවන පොම්ප සමගද සම්බන්ධ කළ හැකි අතර, එමගින් සමස්ත ස්ථාපන වියදම අඩු කරගන්නා ගමන් VFD පොම්ප පමණක් භාවිත කෙරෙන පද්ධතියකට සමාන අන්දමින් බලශක්තිය ඉතිරි කිරීමේ ප්‍රතිලාභ අත්පත් කරගන්න පුළුවන්. වායුසමීකරණ පද්ධති ඇතුළු විවිධ වර්ගවල යාන්ත්‍රික පද්ධති තුළ VFD භාවිත වෙනවා. VFD පොම්ප මධ්‍යම වායුසමීකරණ පද්ධති ක්‍රියාකාරීත්වය ඉහළ දැමීම සඳහා භාවිත වන අයුරු ගැන වැඩිදුර තොරතුරු මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්.

 
 
vertical submersible water pumps

සුදුසු ප්‍රමාණයේ ජල බෆරයක්, පද්ධතියේ සමස්ත කාර්යක්ෂමතාව වැඩි කිරීමට උදව් වෙනවා(P3)

සම්පීඩිත ජල අවරෝධක (Pressurized Water Buffer)

සම්පීඩිත ජල අවරෝධක නොහොත් බෆර් තිබීම නිසා, කරාමයක්, කොමෝඩයක් හෝ වතුර මලක් ක්‍රියාත්මක කර ජලය භාවිත වන සෑම අවස්ථාවකම පොම්ප සක්‍රීය වීම වළක්වාගැනීම මගින් බලශක්තිය ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙනවා. ප්‍රසාරණ වාහකයක් (expansion vessel) හෝ සමුච්චක ටැංකියක් (accumulator tank) ලෙසද හැඳින්වෙන සම්පීඩිත ජල බෆරයක්, පොම්පය හා ජලය පිට කරන ස්ථාන අතර පද්ධතිය තුළ ඕනෑම තැනක ස්ථාපනය කළ හැකියි.

වතුර මලක් හෝ කොමෝඩයක් වැනි ජලය පිට කෙරෙන ස්ථානයක පරිභෝජනය කෙරෙන ජල පරිමාව මෙන් කිහිප ගුණයක ධාරිතාවක් සහිත බෆරයක් සවි කරගැනීමෙන්, යමෙකු ස්නානය කරන හෝ කොමෝඩයට වතුර පහකරන සෑම අවස්ථාවකම පොම්ප පද්ධතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බව සහතික කෙරෙනවා. 'දිය හැපීම' (water hammer) ලෙස හැඳින්වෙන සංසිද්ධිය තුළ, හදිසියේ පීඩනය නැතිව යාම නිසා ජලය නල දිගේ පහළට ඇද වැටීමෙන් හටගන්නා හානිද මෙයින් වැළකෙනවා. කෙසේ වෙතත්, මේ සම්පීඩිත ජල බෆර අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩා කිරීමේ ප්‍රවණතාවක් තිබෙන නිසා, නිසි ප්‍රමාණයේ බෆරයක් සවිකර ගැනීමේ ප්‍රයෝජන ගැන මිලදී ගන්නන් දැනුම්වත්ව සිටීම වැදගත්.

 
 
Single and Dual Pump Schematic

දකුණේ දැක්වෙන ආකාරයේ ද්විත්ව පොම්ප පද්ධතියක බලශක්ති කාර්යක්ෂමතාව, වමේ දැක්වෙන තනි පොම්ප පද්ධතියකට වඩා 25% කින් පමණ වැඩි විය හැකියි (P4)

කලාපීය ජල පද්ධති සැලැස්මක්

සාම්ප්‍රදායිකව, මුළු ගොඩනැගිල්ලටම ජලය සැපයීම සඳහා යොදාගැනෙන්නේ පේළියක් ලෙස එකිනෙකට සම්බන්ධ කෙරුණු පොම්ප ගණනාවකින් සමන්විත තනි පොම්ප පද්ධතියක්. මේ ක්‍රමයේදී, සියලු මහල් සිසාරා පීඩනය කළමනාකරණය කිරීමට තනි පොම්ප පද්ධතියක් අවශ්‍ය වෙනවා. මේ එක් එක් මහල දක්වා පොම්ප කිරීමට අවශ්‍ය බලශක්ති ප්‍රමාණය එකිනෙකට වෙනස්. සියලු මහල් හරහා සමාන ජල පීඩනයක් පවත්වාගැනීම සඳහා මේ පොම්ප පද්ධතියේ විශාලත්වය සාමාන්‍යයෙන් තීරණය කෙරෙන්නේ ඉහළම මහලේ අවශ්‍යතාවලට අනුව. ඒ වගේම පහළ මහල් සඳහා ලැබෙන ජලයේ පීඩනය අඩු කිරීම සඳහා පීඩනය අඩු කිරීමේ වෑල්වයක් (pressure reducing valve - PRV) සවි කෙරෙනවා. ඒ නිසා මේ පද්ධතිය බලශක්ති භාවිතය අතින් අකාර්යක්ෂමයි. මෙසේ අපතේ යන බලශක්තිය ඉතිරි කරගනිමින් පද්ධතියේ සමස්ත කාර්යක්ෂමතාව දියුණු කිරීම සඳහා විකල්ප කලාපීය ප්‍රවේශයක් යොදාගන්න පුළුවන්.

මහල් කිහිපයක් කරා ජලය සැපයීම සඳහා, සමාන්තරව සම්බන්ධ කෙරුණු ද්විත්ව හෝ බහු පොම්ප පද්ධති යොදාගන්න පුළුවන්. පහළින් පිහිටි මහල් සඳහා අඩු අනුපාතිකයක පොම්ප හා ඉහළින් පිහිටි මහල් සඳහා ඉහළ අනුපාතිකයක පොම්ප යොදාගැනීම මගින්, අඩු බලශක්ති පිරිවැයකින් සමස්ත ගොඩනැගිල්ල පුරාම නොවෙනස් ජල පීඩනයක් පවත්වාගත හැකියි. බොහෝ හෝටල්, විශේෂයෙන්ම අඩු පිරිසක් රැඳී සිටින කාලවල, හෝටලයේ විවිධ කොටස් සඳහා ඒවායේ අවශ්‍යතාවට අනුව ජල පීඩනය පාලනය කරන සබුද්ධ කලාපීය පද්ධති (intelligent zonal system) ක්‍රමයේ වාසි ලබාගෙන මේ පද්ධතියේ ප්‍රතිඵල නෙළාගෙන තියෙනවා.

 
 
zonal pump system at hotel

හෝටලයක සවි කර ඇති කලාපීය ජල පද්ධතියක් (P5)

නිගමනය

ඉහත තොරතුරු තිරසාර, අහස උසට නැගෙන, විවිධ වර්ගයන්ගේ සංකලනයක් වූ සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමට අදහස් කරන ගොඩනැගිලි සංවර්ධකයින් බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතු ඒවා බව කීමේ වරදක් නැහැ. මේ තාක්ෂණයන් ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ට දීර්ඝ කාලීන බලශක්ති ඉතිරියක් සපයනවා විතරක් නෙවෙයි, සංවර්ධකයාට ඉහළ බලශක්ති ඉතිරියක් සම්බන්ධයෙන් සහතික ලබාගැනීමටත් මඟ පාදනවා. පෙර-ගැනුම් පදනමකින් මිලදී ගන්නා අවස්ථාවල, මිලදී ගන්නන් මහල් නිවාස සඳහා යොදාගැනීමට අදහස් කරන ජල පොම්ප පද්ධතිය ගැන සංවර්ධකයින්ගෙන් විමසා බැලීම වැදගත්. ඔබට වඩාත් ඔබින මහල් නිවාසයක් තෝරාගැනීම සඳහා වැඩිදුර තොරතුරු මෙම ලිපියෙන් කියවන්න පුළුවන්.

   

References

පින්තූර:

P1. Access Special Projects Pvt. Ltd

P2. Access Special Projects Pvt. Ltd

P3. Access Special Projects Pvt. Ltd

P4. Access Special Projects Pvt. Ltd

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.