අපව නිර්මාණය කරන මයික්‍රෝබ බලා කියා ගැනීම (P1)
හැඳින්වීම
ජීවයේ ආශ්චර්යය වඩාත් හොඳින් පේන්න පටන්ගන්නේ ඔබ එහි කුඩාම කොටස් දිහා බැලුවමයි. අපේ පැවැත්ම සමගම වෙළී සිටින ට්‍රිලියන ගණනක් වූ ක්ෂුද්රජීවීන් අපේ ශරීරවල ජීවවිද්‍යාත්මක ක්‍රියාකාරීත්වය සමග ඒකාබද්ධ වෙලා ඉන්නවා. මේ සෛලමය ලෝකයට බැක්ටීරියා, දිලීර හා ගණන් කළ නොහැකි තරමක් වන ක්ෂුද්‍ර ජීවී ප්‍රජාවන් ඇතුළත් වෙනවා. සමස්තයක් හැටියට ගත් විට මේවායින් විද්‍යාඥයින් "ක්ෂුද්‍ර ජීවය" (මයික්රොබයෝම - microbiome) ලෙස හඳුන්වන සමූහය නිර්මාණය වෙනවා.
ක්ෂුද්‍ර ජීවය සමන්විත වෙන්නේ විවිධ වර්ගවල ක්ෂුද්රජීවී විශේෂයන්ගෙන් වුණත් ඒවා අතරින් වැඩියෙන්ම අධ්‍යයනය කෙරෙන්නේ බැක්ටීරියා තමයි.(1)මේ ක්ෂුද්‍රජීවීන්ගෙන් වැඩි කොටසක් බෝ වෙන්නේ බඩවැල් හෙවත් අන්ත්‍ර ඇතුළේ. මේ ක්ෂුද්‍රජීවීන්ගෙන් බහුතරයක් දැකගත හැකි, උණ්ඩුකය (cecum) නමින් හැඳින්වෙන "සාක්කුවක්" මහාන්ත්‍රය ඇතුළේ තියෙනවා.
ඔබේ සිරුර තුළ මිනිස් සෛලවලටත් වඩා වැඩි ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාවක් ඉන්නවා!(P2)
ආන්ත්රික ක්ෂුද්‍ර ජීවය (Gut Microbiome)
සාමාන්‍ය මනුෂ්‍යයකු තුළ මිනිස් සෛල ට්‍රිලියන 30ක් පමණ හා ක්ෂුද්‍ර ජීවීන් ට්‍රිලියන39ක් පමණ අන්තර්ගතයි.(1) (Abbott, 2016) මේ සංඛ්‍යාව විවිධ පුද්ගලයින් අතර සැලකිය යුතු අන්දමින් වෙනස් වෙන්න පුළුවන් අතරම, මේ සා විශාල ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් අපේ ශරීර තුළ සිටීමෙන් වන බලපෑම තවම අවබෝධ කරගන්න පටන්ගත්තා විතරයි. මේ ක්ෂුද්‍ර ජීවීන් අපේ සිරුරේ පෝෂකවල පලදාව නෙළාගනිමින් අපේ ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කිරීම බඳු වැදගත් කායික කෘත්‍යයන් ඉටු කිරීම වැනි සහජීවී (symbiotic) සබඳතා නිසා, එම ජීවීන් සමූහයක් ලෙස "ක්ෂුද්රජීව අවයවයක්" හැටියට සලකන්න පුළුවන් බවට විද්‍යාඥයින් මත පළ කරනවා.(2)
මේ ක්ෂුද්‍ර ජීවීන් අතිශයින්ම විවිධාකාර විය හැකි වගේම මෙවැනි විවිධ වර්ගවල ජීවීන් අප තුළ නොනැසී පැවතීම සඳහා එකිනෙකා සමග තරග කරනවා. සෞඛ්‍යසම්පන්න ක්ෂුද්‍ර ජීවයක් නම් එය තුළ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය ඉහළ මට්ටමක තිබිය යුතුයි. ඒ එම ජීවීන්ගේ ශක්තියෙන් වැඩි කොටසක් එකිනෙකා සමග තරග කිරීමට වැය වන නිසා. (3) සම්පත් වැඩියෙන් තිබෙන ප්රමුඛ ක්ෂුද්‍ර ජීව විශේෂ, සිය සත්කාරකයාට, එනම් අපට ප්රතිලාභ සැපයීමේ කාර්යයෙන් ස්වාධීනව වැඩෙන්න එම සම්පත් යොදාගැනීම වැනි ලක්ෂණ අඩු විවිධත්වයකින් යුතු ක්ෂුද්‍ර ජීවයක තිබෙනවා.(4)
විවිධ ක්ෂුද්‍ර ජීවීන් විවිධ ආහාර වේල් මත රඳා පවතිනවා (P3)
විශේෂඥ ක්ෂුද්‍ර ජීවියෝ
විවිධ ක්ෂුද්‍ර ජීවීන්ට සිය පෝෂක ලබාගැනීම සම්බන්ධ විවිධ වූ "තේරීම්" තියෙනවා. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් පිෂ්ඨය සහිත ආහාර වේලකින් වඩාත් හොඳින් වැඩෙන අතර තවත් ක්ෂුද්‍ර ජීවීන් මේද හා කෙඳි සහිත ආහාර මගින් වඩා හොඳට වැඩෙනවා. (5) එක හා සමාන ආහාර වේල් ගත්තත්, “චොකලට්වලට කැමති" පුද්ගලයින් හැටියට තමන් හඳුන්වාගන්නා අයට සිය මුත්රාවල තියෙන ක්ෂුද්‍ර ජීවමය පරිවෘත්තික (metabolites), “චොකලට් ගැන උදාසීන" හැටියට හඳුන්වාගන්නා පුද්ගලයින්ට වඩා වෙනස්.
ක්ෂුද්‍ර ජීවීන් අතර වෙනස් ගතිලක්ෂණ පරිණාමය විය හැක්කේ කෙසේදැයි විදහා පාමින්, ජපන් ජනතාව තුළ මුහුදු පාසි ජීර්ණය කරන විශේෂඥ ක්ෂුද්‍ර ජීවීන් තවත් අධ්‍යයනයකින් සොයාගැනුණා.(6)බහුපාරිසරික (generalist) ප්‍රවර්තන මූලෝපායක් සහිත ක්ෂුද්‍ර ජීවීන් පවා නිශ්චිත පෝෂක සංකලනයක් සමග, වෙනත් සංකලනවලට වඩා හොඳින් ක්‍රියාත්මක වීමේ නැඹුරුවක් තියෙනවා.(7)
නොනැසී පැවැත්ම සඳහා ඔවුන් යෙදෙන තරඟය තුළදී, ක්ෂුද්‍ර ජීවීන් ඇත්තෙන්ම අපේ ශරීරයේ විවිධ පද්ධති ඔස්සේ අපේ ආහාරයට බලපෑම් කරන බව පර්යේෂණවලින් පෙනී ගොස් තියෙනවා.
ක්ෂුද්‍ර ජීවීන් අපේ මොළයේ කේන්ද්‍රස්ථාන තුළ වේදනාව හා සතුට උත්තේජනය කරමින් අපේ චර්යාවන්ට බලපෑම් කරනවා(P4)
'ක්ෂුද්‍ර ජීවී කැරට් අලය සහ කෙවිට'
වර්ධනය සීමා කරන පෝෂක සංකේන්ද්‍රණයේ අඩු වීමක් නිසා ප්‍රේරණය වන උග්‍ර විෂ නිපදවීම මගින් අප තුළ වේදනාව දැනවීමේ හැකියාව තමන්ට තිබෙන බව මේ ක්ෂුද්‍ර ජීවීන් පෙන්නුම් කර තිබෙනවා. නිශ්චිත පෝෂක වර්ග නොමැති වූ විට සමහර ක්ෂුද්‍ර ජීවියෝ කෙලින්ම බඩවැලේ මතුපිට තිබෙන පේශි වැස්ම වන ආන්ත්රික අපිච්ඡදයට (intestinal epithelium) බලපෑම් කරනවා. උග්‍ර විෂ නිපදවීම හා අපේ ආන්ත්රික පේශීන්ට කෙලින්ම බලපෑම් කිරීම මගින් ක්ෂුද්‍ර ජීවීන්ට අපේ සිරුර තුළ වේදනා ප්‍රතිග්‍රාහක ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වාදී තිබෙනවා.(8)මෙසේ සිදු කළ හැක්කේ අපේ මොළය සහ බඩවැල් අතර පවතින අන්ත්‍ර-මස්තිෂ්ක අක්ෂය (gut-brain axis) ලෙස හැඳින්වෙන සංකීර්ණ සම්බන්ධතාව මගිනුයි.
වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය කිරීමට අතිරේකව ක්ෂුද්‍ර ජීවීන් ශරීරය එහි පරිදාන යාන්ත්‍රණය (reward mechanisms) ඔස්සේ පාලනය කරන බවත් නිරීක්ෂණය කළ හැකියි. ශරීරයේ ඇති ඩොපමින් (dopamine) හා සෙරටොනින් (serotonin) වලින් 50% කටත් වඩා එන්නේ ආන්ත්රික මූලයන්ගෙන් බව දැකගන්න පුළුවන්. ඩොපමින් කියන්නේ මොළයේ පරිදාන (rewards) හා සතුට දනවන කේන්ද්‍රයන් පාලනය කරන ස්නායු සම්ප්‍රේෂකය වන අතර, සෙරටොනින්, මනෝභාව (mood), ආහාර රුචිය හා නින්ද පාලනය කරන ස්නායු සම්ප්‍රේෂකය හැටියට ප්‍රසිද්ධයි. (9) මෙයින් ඇඟවුම් කෙරෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාවන් හා චර්යාවන් කෙරෙහි කලින් හිතුවාට වඩා විශාල බලපෑමක් ක්ෂුද්‍ර ජීවයට තිබෙන බවයි.
පර්යේෂණවලින් පෙන්නුම් කෙරෙන්නේ සමහර ක්ෂුද්‍ර ජීවීන් තරබාරුකම කෙරෙහිත් බලපාන බවයි (P5)
ක්ෂුද්‍ර ජීවීන් නිසා ඇති වන තරබාරුකම
පුද්ගලයකුගේ ආහාර වේල කෙරෙහි බලපෑමට අමතරව ඇතැම් වර්ගවල ක්ෂුද්‍ර ජීවීන් තරබාරුකම කෙරෙහිත් බලපෑමක් සිදු කරන බව පෙනීගොස් තිබෙනවා. ආන්ත්රික ක්ෂුද්‍ර ජීවය හා සත්කාරකයා, නැතිනම් අප, සමග එහි පරිණාමීය ගැටුම, තරබාරුකම ඇති කිරීමෙහිලා බලපාන වැදගත් සාධකයක් වෙන්න පුළුවන්. මෙය මීයන් යොදාගෙන කෙරුණු අධ්‍යයනයකදී ඉස්මතු වුණු දෙයක්. තරබාරු වන ලෙස ජානමය වශයෙන් හැඩගස්වන ලද මීයන් [තරබාරුකම වැඩි කරන බවට] සැක සහිත ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොරව ඇති කළ විට ඔවුන්ගේ සිරුරු සිහින්ව දිගටම පැවති බව නිරීක්ෂණය කරන්න ලැබුණා. විෂබීජවලින් තොර මීයන්, සාමාන්‍ය තරබාරු මීයකුගෙන් ලබාගත් අසූචි කැටිත්තක් (fecal pellet) කැවූ විට තරබාරු මීයන් බවට පත් වුණා.(10) තරබාරු මනුෂ්‍යයින්ගෙන් ලබාගත් ක්ෂුද්‍ර ජීවීන්, විෂබීජවලින් තොර මීයන්ට ලබා දුන් විටත් එම ප්‍රතිඵලයම ලැබුණා.(11)
අධ්‍යයනවලින් ඇඟවෙන්නේ මේ ක්ෂුද්‍ර ජීවීන් බෝ වනසුලු බවයි! (P6)
ක්ෂුද්‍ර ජීවමය බෝ වීම
මේ සමහර අධ්‍යයනයන්ගෙන් ලැබෙන තවත් කුතුහලය උපදවන ඇඟවුමක් තමයි ක්ෂුද්‍ර ජීවීන් නිසා හටගන්නා කෑදරකම් (cravings) හා නිශ්චිත ආහාර වර්ගවලට ඇති අභිරුචිය බෝ විය හැකි බව. එකට ජීවත් වන පවුලේ සාමාජිකයින්ගේ අශුචිවල හා මුඛය ආශ්‍රිතව සිටින ක්ෂුද්‍ර ජීවීන්, එකට ජීවත් නොවන අයට වඩා සමාන වුණා.(12) ආහාර අභිරුචීන් සමහර වෙලාවට කුටුම්භයේ එක් සාමාජිකයකුගෙන් නිර්ණය වෙන්න පුළුවන්. එවැනි පරිසරයකට හැඩගැසුනු විශේෂඥ ආන්ත්රික ක්ෂුද්‍ර ජීවියෙක් නිවසේ සියලු සාමාජිකයන් කරා පැතිරිය හැකියි. වඩාත් තැතිගන්වනසුලු දෙය වන්නේ තරබාරු බව ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීමට තිබෙන ඉහළ සම්භාවිතාවයි.
ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන් වන ප්‍රෝබයොටික්ස්, යෝගට්වල තියෙනවා (P7)
ප්‍රෝබයොටික් ගණකය
ප්‍රෝබයොටික්ස් පාලනය කිරීමෙන් ක්ෂුද්‍ර ජීව ක්‍රියාකාරකම් කළමනාකරණය කරන්න පුළුවන්. ප්‍රෝබයොටික්ස් කියන්නේ සිරුරට ප්‍රයෝජනවත් වන හා ආහාර ගැනීම අඩු කිරීමට උදව් වෙන ක්ෂුද්‍ර ජීවීණ්. ආන්ත්රික ක්ෂුද්‍ර ජීවයේ ඉහළ විවිධත්වයක් තබාගැනීමෙන් ඕනෑවාට වඩා ආහාර ගැනීම සීමා කළ හැකි බව ප්‍රෝබයෝටික්ස් සනාථ කරනවා. යෝගට්වල දක්නට ලැබෙන බැක්ටීරියාවක් වන ලැක්ටොබැසිලස් ඇසිඩොෆිලස් (lactobacillus acidophilus) වැනි ප්‍රෝබයොටික්ස් වර්ග ලබාගැනීම, මේද ස්කන්ධය අඩු කර, ඉන්සියුලින් කෙරෙහි සංවේදීතාව වැඩි කර ග්ලූකෝස්වලට ඔරොත්තු දීමේ හැකියාව දියුණු කරන බව පෙනීගොස් තිබෙනවා; ඒත් එවැනි ප්‍රතිඵල සියලු ලැක්ටොබැසිලස් විශේෂ සම්බන්ධයෙන් පොදුවේ වාර්තා වී නැහැ.
අත්හදාබැලීම් ගණනාවකදීම ප්‍රෝබයොටික්ස් බර අඩු කිරීමෙහිලාත් භූමිකාවක් ඉටු කරන බව පෙන්නුම් කර තිබෙනවා. එක අධ්‍යයනයකදී, ශක්තිජනක ලබාගැනීම හා ව්‍යායාමවල බලපෑමෙන් තොරව, බර අඩු කිරීමට ප්‍රෝබයොටික් යෝගට් බලපාන බව පෙන්නුම් කෙරුණා.(13) යෝගට්, බර අඩු කිරීම හා සම්බන්ධ ආහාරය වන බව, වසර 12-20 අතර කාලයක් තිස්සේ හෙදියන් 120,000කගේ ආහාර වේල හා සෞඛ්‍යය නිරීක්ෂණය කළ තවත් අධ්‍යයනයකින් පෙන්නුම් කෙරුණා. (14)
මේ අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ අප සිරුරු ඇතුළත තියෙන සරුසාර ලෝකයයි(P8)
සාරාංශය
තරබාරුකම, සෞඛ්‍යසම්පන්න නොවන ආහාර රුචිය, ඇබ්බැහිය, පාරිසරික නොගැළපීම්, හා පෝෂණ ඌනතා යනාදී ගැටලු සම්බන්ධයෙන් උපන්‍යාස ගණනාවක් විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි අධ්‍යයන පෙන්නුම් කරන්නේ මෙබඳු තත්වයන් හා ක්ෂුද්‍ර ජීවමය හේතු අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරක (mutually exclusive) නොවන බවයි; එයින් අදහස් වන්නේ, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඉහත සඳහන් කෙරුණු තත්වයන්ගේ හේතුව නොවුණත්, ඒ හා සමග සම්බන්ධ කළ හැකි බවයි. එම නිසා දොස් පැවරීමට අලුතින් යමක් - මෙහිදී නම් ඔබ ඇති කරගෙන සිටිනා පුරුදු නිසා, ඔබේ බඩවැල් - හොයාගැනීම වෙනුවට, මනුෂ්‍යයින් වීම යන්නෙහි අරුත පිළිබඳ වඩා සරුසාර චිත්‍රයක් අඳින්න මේ අධ්‍යයන උදව් වෙනවා