access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

මතකයෙන් ගිලිහුණු පාසල් වෙත ගමනක්

 

හංගිලි ඇල්ල විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ පන්ති කාමරය - පුහුල්පොල, වැලිමඩ (P1)

 

**මෙම ලිපිය ලබාගන්නා ලද්දේ Access Engineering Newsletter - 2018 පළමු කාර්තුව වෙතිනි.**

හැඳින්වීම

නව හැවිදිරි පුංචි මධූෂා දියණිය වැලිමඩ, පුහුල්පොල, හංගිලි ඇල්ල විද්‍යාලයේ හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. එය, වැලිමඩ නාගරික පරිසරයෙන් සෑහෙන ඈතක, අබලන් හා දැඩි බෑවුම් සහිත මඟක් ඔස්සේ කි.මී. 15ක් තරම් දුර වෙහෙසකර ගමනකට පස්සේ හමු වන මැටි ගැසූ පාසලක්. පාසලේ ඉන්න ළමුන් 70 දෙනාට ඇති තරම් පුටු නැති නිසා, ඇය කැඩුණු පුංචි පුටුවක් සහ මේසයක් තවත් මිතුරියක් සමග හවුලේ පාවිච්චි කරනවා. එහි ඇති බොහෝ පුටුවල හේත්තු වෙන කොටස නැහැ. ඒ වගේම මේසවල මතුපිට ලිවීමට නුසුදුසු තරමට පළුදු වෙලා.

“අපට ඇති තරම් පුටු නැති නිසා, අපි දෙන්නෙක් එක පුටුවක ඉඳගන්නවා. ඉතින් එතකොට ලියන්න අමාරුයි" මධූෂා කියන්නෙ එහෙමයි.

මධූෂා වාසනාව තියෙන අයගෙන් කෙනෙක්. එයාගේ පන්තියේ සමහර යාළුවෝ පන්තියෙ තියෙන සිමෙන්ති බංකු උඩ හිටගෙන හරි ඉඳගෙන හරි තමයි පන්තියෙ වැඩවල යෙදෙන්නෙ. වෙනස් ශ්‍රේණිවල ළමයි සමහර වෙලාවට පාඩම්වලට සම්බන්ධ වෙන්නේ එක ගොඩේ හිරවෙලා. එහෙම නැත්නම් පන්ති කාමරෙන් කාමරේට ඩෙස්ක්-පුටු අරගෙන යනවා. ඉහළ පන්තිවල හුඟක් ළමයි පාවිච්චි කරන්නේ ප්‍රාථමික පන්තිවලට හදපු ඩෙස්ක්. එතකොට දිගටම ඩෙස්ක් එකට නැමිලා ඉඳීමේ වැරදි ඉරියව්වෙන් ඉඳීමත්, තමන්ගෙ කකුල් පුංචි ඩෙස්ක් අස්සෙ රිංගවලා තියාගන්න සිදු වීමත් නිසා අත්අකුරු ලිවීමේ හැකියාවටත් ඒක බලපානවා. ඒ වගේම මානසික ඒකාග්‍රතාව අඩු වීමත් වෙනත් බොහෝ සෞඛ්‍ය ගැටලු හටගැනීමත් සිදු වෙනවා..

මේ තත්ත්වය හංගිලි ඇල්ල මහ විද්‍යාලයට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකාවේ බොහෝ ග්‍රාමීය පාසල්වල තියෙන තත්වයක්. ප්‍රමාණවත් පහසුකම් සහිත ඉගෙනීමට හිතකර පරිසරයක් කියන්නේ තවමත් බොහෝ දෙනෙකුට හීනයක් විතරයි. පිළිගත් ව්‍යාපාර සමූහයක් හැටියට Access Engineering PLC ඉදිරිපත් වුණේ, අඩු පහසුකම් සහිත පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නංවමින් අනාගත පරම්පරාවට වඩා හොඳ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා, පුළුල් ආයතනික සමාජ මෙහෙවර (CSR) වැඩසටහනක් දියත් කරන්නයි.

 
 
Happy children in classroom

සතුටින් පිරුණු තවත් පන්තියක්(P2)

ව්‍යාපෘතියේ විස්තර

Access Engineering PLC හි ව්‍යාපෘති කළමනාකරණ අංශය II , 2016 ඔක්තෝබර් මසදී මෙම ව්‍යාපෘතිය හඳුනාගෙන දියත් කළේ, සමාජ සත්කාර (CSR) කමිටුවේ සෘජු අධීක්ෂණය යටතේයි. මෙම ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මක වෙනවා:

  • ඉදිකිරීම් ස්ථාන වලින් ඉවතලන සුන්බුන් / අපද්‍රව්‍ය වඩා හොඳින් ප්‍රයෝජනයට ගැනීම.

  • හෝමාගම කාර්මික විද්‍යාලයේ පුහුණුව ලබන්නන්ට මූල්‍යමය සහ වෙනත් ආධාර සපයමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීම.

  • පන්ති කාමර යටිතල පහසුකම් සම්පාදනය මගින් ග්‍රාමීය අධ්‍යාපනය ඉහළ නැංවීමට දායක වීම.

සිය ව්‍යාපෘති සහ ව්‍යාපාරික ක්‍රියාකාරිත්වය තුළ, ආර්ථික, පාරිසරික සහ සමාජ යන ත්‍රිවිධ මූලික අවශ්‍යතා (Triple Bottom Line) සපුරමින් කටයුතු කරන තිරසාරභාවය පිළිබඳ උනන්දුවක් දක්වන සමාගමක් හැටියට, ඇක්සස් ඉංජිනියරින් වගකීමෙන් යුතු සහ අගය එකතු කරමින් (value added) අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංස්කෘතියක් පෝෂණය කරනවා. මේ අනුව, වැඩබිම්වල එකතු වන සුන්බුන් ද්‍රව්‍ය වෙන් කොට, සුන්බුන් ලෝහ වැනි නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය ටොන් 28ක්, විකල්ප ආර්ථික කටයුතු සඳහා පාවිච්චියට ගැනීමට බාහිර පාර්ශ්වයකට විකුණා, ඉන් ලැබුණු රු.  1,000,000  ක පමණ මුදලක් CSR අරමුදලකට කෙලින්ම ලබාදුන්නා.

 
 
Metal work at technical college

පාසලේ ලී බඩු හැදුවෙ හෝමාගම කාර්මික විද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා (P3)

කාර්මික පුහුණුව එකාබද්ධ කිරීම

මේ අතර, ග්‍රාමීය තරුණ තරුණියන් පුහුණු කර සංවර්ධනය කිරීම තුළින් කාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධියක් ඇති කිරීම සඳහා, හෝමාගම කාර්මික විද්‍යාලය සමඟ එකතු වී අර්ථවත් වෘත්තීය පුහුණු වැඩසටහනක් දියත් කෙරුණා. මෙම වැඩසටහන් දෙකම එකිනෙකට සම්බන්ධ කෙරුණු අතර, එමගින් දෙපාර්ශ්වයටම යහපතක් සැලසුණේ (2017 මාර්තු 31 දක්වා) රු. මිලියන 7.5ක් වටිනා අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර, මෙම පුහුණු වැඩසටහන සඳහා ලබා දෙමිනුයි. හෝමාගම කාර්මික විද්‍යාලයේ පුහුණුවට සහභාගි වූ අය දිරිමත් වී සවිබල ගැනුවුණු අතර, වැඩසටහන තුළදී ඔවුන්ට පැහැදිලි දිශානතියක්, ළඟාවිය හැකි මාසික ඉලක්ක හා මඟපෙන්වීම ලබා දුන්නා. වඩු වැඩ සහ වෙල්ඩින් කර්මාන්තවල නිරතවීම සහ ඒවා තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා විශේෂ දිරිගැන්වීමේ වැඩසටහනක් යොදා ගැනුනා. මේ අනුව, පුහුණු ලාභීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිශ්චිත නිර්දේශයන්ට අනුකූලව මෙතෙක් රු. මිලියන 12ක වාණිජ වටිනාකමකින් යුතු ඩෙස්ක් සහ පුටු නිර්මාණය කර තිබෙනවා.

 
 
rural classroom smiling children

ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක වන අතර, වැඩි දියුණු කිරීම් සිදුවෙන්න නියමිත තවත් පන්ති කාමර ගණනාවක් තියෙනවා (P4)

ඉදිරි ගමන

ප්‍රාදේශීය අධිකාරීන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් වහා උදව් අවශ්‍ය පාසල් දිගින් දිගටම හඳුනා ගැනෙමින් පවතිනවා. කට වචනයෙන් පමණක් මේ වන විට Access Engineering PLC හි සමාගමික කාර්යාලයට අඩු පහසුකම් සහිත පාසල් වලින් මේ සම්බන්ධ ඉල්ලීම් 50කට වඩා ලැබී තියෙනවා. රට පුරා පාසල් 36ක් මෙතෙක් මෙම ව්‍යාපෘතියෙන් උදව් ලබා ඇති අතර, ඩෙස්ක් සහ පුටු යුගල 1260ක් බෙදා දී තියෙනවා. (2017 සැප්තැම්බර් 30 දක්වා). මෙම ව්‍යාපෘතිය, සෑම දිස්ත්‍රික්කයකින්ම හෝ පළාතකින්ම අඩු ගණනේ එක් පාසලක්වත් අයිති වන අන්දමට, තවත් අඩු පහසුකම් සහිත පාසල් 36කට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.

ව්‍යාපෘතිය තවම අවසන් වී නැතත්, ග්‍රාමීය අධ්‍යාපනය හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉහළ නැංවීමට සඳහා විශේෂයෙනුත්, අනාගත පරපුරේ සුබසෙත සඳහා පොදුවේත් වෘත්තීය පුහුණු වැඩසටහන් සමග එක්ව දියත් කරන ලද මෙම විශිෂ්ට මුලපිරීමට හා ප්‍රශංසනීය ප්‍රයත්නයට අපේ සුබ පැතුම් පළ කරමු.

   

References

පින්තූර:

P1. Access Engineering PLC

P2. Access Engineering PLC

P3. Access Engineering PLC

P4. Access Engineering PLC

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.