access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

මොකක්ද මේ Blockchain කියන්නේ? - 1 කොටස

 

blockchain කියන්නේ දත්ත ව්‍යුහයක්, දත්ත ගබඩා කිරීමේ ආකෘතියක් (P1)

 

හැඳින්වීම

අපි blockchain පිළිබඳ විස්තරවලට සහ එය පෙරළිකාර වෙන්නේ ඇයි කියන කතාබහට යන්න කලින් ලෙජරයක් කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යයි.

ලෙජරයක්' කියන්නේ ගනුදෙනු වාර්තා කරගැනීම මගින් ඒවායේ එක් එක් පියවර ගැන තොරතුරු දැනගන්න අප උදව් වෙන මෙවලමක්. මේ සරල වාර්තාකරණ ක්‍රියාවලිය දැනට තිබෙන පද්ධති විසින් ඒවා තුළ තිබෙන කොටස්වලට, පුද්ගලයින්ට හා සංවිධානවලට එකිනෙකා සමග කරන ගනුදෙනු ගබඩා කර තැබීමට ඉඩ සැලසීම සඳහා යොදා ගැනෙනවා. එය මෙසේ කරන්නේ සෑම ගනුදෙනුවක් තුළම වගකිව යුතු පාර්ශ්වය සිය පොරොන්දුව - මූල්‍යමය, සේවා හෝ භාණ්ඩ අතින් - ඉටු කර ඇති බව හෝ ඉටු කිරීමට සමත් බව සහතික කිරීමෙනුයි.

සාම්ප්‍රදායිකව, මීට පෙර පැවති තාක්ෂණයේ සීමාකම් නිසා, එවැනි ලෙජර පද්ධතියක් වංචාවට හෝ අපවේශනයට භාජනය නොවන බව සහතික කරගැනීම සඳහා තෙවැනි පාර්ශ්වයක පාලන සංවිධාන විසින් මධ්‍යගත ලෙස ඒකරාශී කිරීම හා පරීක්ෂාවට ලක් කිරීම අවශ්‍ය වුණා.

blockchain තාක්ෂණයන් මේ තරම් උනන්දුවක් අවුළුවා තියෙන්නේ, ගනුදෙනු වාර්තාගත කිරීම - එනම් මේ දක්වා අප භාවිත කළ ලෙජර පද්ධති - ප්‍රශස්ත හා විප්ලවීකරණය කරන්න ඒවාට ඇති හැකියාව නිසයි.

සරලව කියනවා නම් blockchain කියන්නේ දත්ත ගබඩා කිරීම සඳහා වන දත්ත ව්‍යුහයක් (data structure). සුලභව භාවිත වෙන දත්ත ව්‍යුහයක් තමයි සරල වගු. Blockchain එකක් කියන්නේ, ඒ නමින් කියවෙන විදිහටම block (කොටස් හෝ කුට්ටි) මාලාවක්, ඒවා වලංගු කෙරෙන අනුපිළිවෙලට එකිනෙක සමග යා කරන දම්වැලක්.(1)

Blockchain එකක් තුළ තියෙන  ‘block'  එකක් ගනුදෙනු ගණනාවක් පිළිබඳ දත්ත වාර්තා තබාගන්නා බව තේරුම් ගැනීම පහසුවක්. මීට අමතරව, සෑම බ්ලොක් එකක් සතුවම දම්වැලේ ඊට පෙර තියෙන බ්ලොක් එකේ හඳුන්වනයක් (identifier) තිබෙනවා. මේ නිසා වඩාත් ආසන්නතම block එකේ (නැතහොත් ගනුදෙනු කාණ්ඩයේ) සිට ලෙජරයේ වාර්තාගත වුණු පළමු blockඑක දක්වා ගනුදෙනු අනුරේඛනය කරන්න පුළුවන්.

ගනුදෙනුවල ආරක්ෂාව හා ගනුදෙනු කිරීමේ යෙදෙන පාර්ශ්වයන්ගේ නිර්නාමිකත්වය blockchain තාක්ෂණයන්ගේ වැදගත්ම අංගයක්. blockchain මේ අවශ්‍යතා දෙකම ඉටු කරන්නේ කොහොමද කියල අවබෝධ කරගැනීම, එය වැඩ කරන අන්දම මෙන්ම එය විප්ලවීය තාක්ෂණයක් හැටියට සැලකෙන්නේ ඇයි කියල අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය මූලිකම දෙයයි.

 
 
cryptography

ගුප්තලේඛනය (cryptography) කියන්නේ සාමාන්‍ය වචන පෙළක්, සුරක්ෂිතතා හේතු මත තේරුමක් ඇතිව කියවිය නොහැකි අකුරු පෙළක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියකටයි (P2)

ගුප්තලේඛනය හා blockchain හි උපත

ගුප්තලේඛනය (cryptography - ක්‍රිප්ටොග්‍රැෆි) කියන්නේ තොරතුරු, කියවිය නොහැකි අකුරු පෙළක් බවට පරිවර්තනය කිරීමේ ගණිතමය ක්‍රියාවලියකටයි. එසේ කළ විට එය කරා ප්‍රවේශ වීමේ අවසරය නොමැති පිරිස් විසින් කියවනු ලැබීමේ ඉඩක් නැතිව, තොරතුරු ගබඩා කර තැබීමට හෝ සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබෙනවා. 'හෑෂිං' (hashing) යනුවෙන් හැඳින්වෙන එක් ගුප්තලේඛන ක්‍රමයක් අවබෝධ කරගැනීම මේ ලිපියේ අරමුණ සඳහා වැදගත්.

හෑෂිං කියන්නේ ඔබට වාර්තා කිරීමට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක දත්ත කෙරෙන් විශේෂිත ස්ථිර දිගකින් යුතු ‘හෑෂ් අගයක්’ පරිගණනය කරන ගුප්තලේඛන විධික්‍රමයක්. හෑෂිං නිසා දත්තවල අන්තර්ගතය නැවත ප්‍රකෘති ස්වභාවයට පත් කළ නොහැකි ස්වභාවයට පත් වෙනවා.(2)ඒ වගේම, සෑම හෑෂ් එකක්ම සුවිශේෂ නිසා මේ දත්තවල සිදු කෙරෙන මොනම හෝ වෙනස්කමක් වෙනස් 'හෑෂ් අගයක්' ජනනය කෙරෙනු ඇති අතර, මේ අනුව දත්ත සංස්කරණය කෙරී ඇති බව නිර්ව්‍යාජ පරිශීලකයෙකුට පෙන්නුම් කෙරෙනවා.

හෑෂ් ක්‍රියාකාරීත්වයක් තිබීමේ සිට ක්‍රියාත්මක කළ හැකි blockchain රාමුවක් (framework) දක්වා ඔබට යන්න පුලුවන් කොහොමද කියල තේරුම් ගන්න, අපි 1992 කරා ආපසු යා යුතුයි. ඒ අවුරුද්දේ අග භාගයේ තමයි බර්ක්ලිහි, කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ ගණිතඥයකු වන එරික් හියුස් (Eric Hughes), ඉන්ටෙල් සමාගමේ හිටපු සේවකයකු වන ටිම් මේ (Tim May) සහ පරිගණක විද්‍යාඥ ජෝන් ගිල්මෝ(ර්) (John Gilmore), ඉතා දුෂ්කර ක්‍රමලේඛන (programming) හා ගුප්තලේඛන ගැටලු සමහරක් සාකච්ඡා කිරීම සඳහා, ඔවුන්ගේ සමීපතම මිතුරන් විසිදෙනෙකු සමග කණ්ඩායමක් ආරම්භ කළේ.

කණ්ඩායම සියගණනින් වැඩෙද්දී, සාමාජිකයින් අදහස් හා න්‍යායන් දිනපතා හුවමාරු කරගන්නා තත්වයක් තුළ ඔවුන් සිය සාමාජිකයින්ගේ ලිපින ලැයිස්තුවක් පිළියෙළ කරමින්, දැන් සියගණනක සාමාජිකත්වයකින් ශක්තිමත්ව සිටින තමන්ව ‘සයිෆර්පන්ක්ස්’ (Cypherpunks) නමින් හඳුන්වාගත්තා. 1993 දී හියුස් (Hughes) ලියූ සයිෆර්පන්ක්ස් ප්‍රකාශනය (Cypherpunks’ manifesto) මේ ව්‍යාපාරය පසුපස තිබුණු ප්‍රධාන මූලධර්ම ගෙන හැර පෑවා. එය සයිබර් අවකාශය තුළ පුද්ගලවාදයේ පරමාදර්ශ, නිර්නාමිකත්වය ආරක්ෂා කිරීම සඳහා දැඩි ආකේතනය (encryption) හා සංකීර්ණ ගුප්තලේඛනය යොදාගැනීම සමඟ ඒකාබද්ධ කළා.(3) තෙවැනි පාර්ශ්වයක සුපරීක්ෂාවෙන් හා පාලනයෙන් තොරව පුද්ගලයින්ට ආරක්ෂාකාරී හා පෞද්ගලික ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ලබා දෙන පද්ධති එම ක්‍රමය භාවිතයට ගත් අවස්ථාවක්.(4)

 
 
distributed computer network

“බ්ලොක්චේන් කියන්නේ පදනම් තාක්ෂණයක්. අපේ ආර්ථික හා සමාජීය පද්ධති සඳහා නව පදනම් නිර්මාණය කිරීමේ හැකියාව එයට තියෙනවා" (P3)

බෙදාහරින ලද ලෙජර හා Blockchain

පෞද්ගලික ගනුදෙනු ආරක්ෂාකාරීව සිදු කිරීමේ එක ක්‍රමයක් තමයි ඒවා ‘බෙදාහරින ලද ලෙජර පද්ධතියක්’ (distributed ledger) ඔස්සේ සිදු කිරීම. බෙදාහරින ලද ලෙජරයක් කියන්නේ සහභාගී වන සියලු පාර්ශ්වයන් අතර බෙදා හැර තිබෙන ලෙජරයක්. මේ ලෙජරය එයට සම්බන්ධව පවතින වත්කම්වල සියලු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යනවා. මේ වත්කම්වලට හෝ ඒවා සමඟ සිදුවන සියලු වෙනස්කම් හෝ ගනුදෙනු පිළිබිඹු වන පරිදි මේ ලෙජරයේ සියලු පිටපත්, ඒවා විසින්ම ක්ෂණිකවම වාගේ යාවත්කාලීන වෙනවා.(5) මේ විදිහට, එහි ස්වභාවයෙන්ම, පද්ධතියේ සියලු පාර්ශ්ව සතුව එහි පිටපතක් තියෙන නිසා, බෙදාහරින ලද ලෙජරයක් විනාශ කිරීම හෝ එහි අයථා වෙනස්කම් සිදුකිරීම ඉතාම අමාරු දෙයක්.

Blockchain එකක් කියන්නේ 'ආරක්ෂිත හා වලංගු බෙදාහරින ලද ලෙජරයක් සම්පාදනය කිරීම සඳහා ඛණ්ඩ දාම (chains of blocks)’ යොදාගන්නා බෙදාහරින ලද ලෙජර විශේෂයක්; එය බෙදාහරින ලද ලෙජරයක් හැටියට සැලකිය හැකි දත්ත ව්‍යුහයන් ගණනාවකින් එකක් විතරයි.

Blockchain එකකට සහභාගී වන සෑම සාමාජිකයෙකු සතුවම පද්ධතිය තුළ සිටින සියලු පාර්ශ්වයන් අතර හටගෙන ඇති ගනුදෙනු සියල්ල සටහන් වුණු බෙදාහරින ලද ලෙජරයක් තියෙනවා.

Blockchain වල පාචිච්චි වෙන ගුප්තලේඛන විධික්‍රමය වන හෑෂ් යතුරු (hash keys), 'හෑෂ්' වන තොරතුරු වලටම සුවිශේෂ නිසා, එයට සහභාගි වන එක් අයෙකු පමණක් ඒවායෙහි අතීත වාර්තා වෙනස් කළහොත් ලැබෙන හෑෂ් යතුර වෙනස් වීම වලක්වන්න බැහැ. ඒ කියන්නේ, අනෙක් සියල්ලන්ටම නොදැනෙන ආකාරයට එයට සහභාගිවන්නෙක්ට ලෙජරය රවටන්න බැහැ කියන එකයි. ඒකෙන් බොරු පොරොන්දු දීමත් වැළකෙනවා. උදාහරණයක් හැටියට පද්ධතිය තුළ සිදුකරන ක්‍රියාකාරකමක් මගින් එහි තියෙන එක වත්කමක් දෙපාරක් විකුණන්න පුලුවන්කමක් නෑ. ඒ වගේම, ලෙජරයෙන් නැහැ කියල කියවෙන දෙයක් සම්බන්ධයෙන් පොරොන්දු දෙන්නත් බැහැ.(6)

ප්‍රායෝගිකව ගත්තොත්, හෑෂ් යතුරු ගුප්තලේඛනය නොමැතිව, එවැනි පද්ධතියක නිර්නාමිකත්වය පවත්වාගෙන යන අතර, එය ජන සමූහයක් සමග පොදුවේ භාවිතා කරන්න පුලුවන්කම ඇති වන්නේ නැහැ.

එවැනි පද්ධතියක් සම්බන්ධයෙන් පළමු උත්සාහය සිදුවුනේ 1997 දී සයිෆර්පන්ක් සාමාජිකයෙක් වන ආචාර්ය ඇඩම් බැක් (Adam Back), හෑෂ්කෑෂ් (Hashcash) නිර්මාණය කිරීමත් සමඟ. ඒත්, ඇත්තම මාරුව සිදුවුනේ 2008දී, සටෝෂි නකමොටෝ’ (Satoshi Nakamoto) නමින් වූ අන්වර්ත නාමයෙන් පෙනී සිටි පුද්ගලයා හෝ කණ්ඩායම, ඔවුන් විසින් ලියන ලද Bitcoin: A Peer-to-Peer Electronic Cash System නම් වූ ලිපිය සයිෆර්පන්ක්ස් වෙත එවීමත් එක්ක. එමගින් blockchain තාක්ෂණයේ නැග්මක් ඇති වුණු අතර, බිට්කොයින් (Bitcoin) නම් වූ එහි පළමු දියත් කිරීම සිදුවුණා.(7)

‘බිට්කොයින්’ සහ ‘blockchain’ යන වචන දෙක සමහර වෙලාවට එකම අර්ථයෙන්, එනම් එකිනෙකට පර්යාය පද හැටියටත් භාවිත වෙනවා. ඒත් ඒ භාවිතය පැහැදිලිවම වැරදියි. බිට්කොයින් කියන්නේ, blockchain එකක් ක්‍රියාවට නැංවූ අවස්ථාවක් හෝ ගුප්තලේඛනගත කොට බෙදාහරින ලද ලෙජරයක්.

හාවර්ඩ් බිස්නස් රිවිව් (Harvard Business Review) සඟරාවේ කියවෙන පරිදි, මෙහි ශක්‍යතාවය දැඩි උද්වේගයක් ඇති කරයි: blockchain යනු සාම්ප්‍රදායික ව්‍යාපාර මොඩලයකට පහර දෙමින් අඩු-වියදම් විසඳුම් සමඟ තමන් යටතේ ඇති සමාගම් වහා අත්පත් කරගත හැකි ආකාරයේ ‘ආවේගශීලීතාක්ෂණයක් නොවේ. blockchain යනු පදනම සැකසීමේ තාක්ෂණයක්. එයට අපේ ආර්ථික සහ සමාජ පද්ධති වලට නව අඩිතාලම් සැකසීමේ හැකියාව ඇත.” (8)

   
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.