access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය නවෝත්පාදනයෙන් 21 සියවසට

 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) දිනකට කන්ටේනර 100 කට වඩා හිස් කරනවා (P1)

 

පසුබිම

දිනකට කන්ටේනර 100කට වඩා හිස් (de-stuff) කරමින් නැව් බඩු ඒකක (cargo units) 600කට වඩා මුදා හරින ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) කොළඹ වරාය තුළ ගබඩා 7ක් ක්‍රියාත්මක කරනවා. දකුණු ආසියා පිවිසුම් පර්යන්තය (South Asia Gateway Terminal - SAGT) හා කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (Colombo International Container Terminal - CICT) යන දෙකම සිය බඩු තොග හැසිරවීම සඳහා යවන්නේ SLPA වෙතට. ඒ ශ්‍රී ලංකාව තුළ ලිහන ලද නැව් බඩු (loose cargo) හැසිරවීමේ බලය ලත් එකම ආයතනය එය නිසයි.

අතින් කළ යුතු අධික ප්‍රමාණයක ලේඛනගත කිරීම්, වැරදීම්, අකාර්යක්ෂමතාව හා නරක පාරිභෝගික සේවා තත්වයන් ඇතුළු ඊට පෙර ඔවුන්ගේ පද්ධතියට ආවේණික වුණු ගැටලු ගණනාවක් නිසා SLPA දැන් සිය නිෂ්කාශන ක්‍රියාවලිය (clearance processes) ඩිජිටල්කරණය කිරීම සඳහා බඩු තොග කළමනාකරණ පද්ධතියක් (Cargo Management System – CMS) ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අලුත් පද්ධතිය දිවයින පුරා නැව්ගත කිරීමේ හා කන්ටේනර් නියෝජිතයින්, බඩු තොග නිදහස් කරගැනීමේ සමාගම් හා පුද්ගලික බඩු තොග ලාභීන් ඇතුළු ඉලක්කගත පරිශීලකයින් 2000කට වැඩි පිරිසක් වෙනුවෙන් නිෂ්කාශන ක්‍රියාවලිය මුළුමනින්ම විධිමත් කරනු ඇති.

මේ නවීන පන්නයේ පරිගණක පද්ධතිය නිර්මාණය කර ක්‍රියාත්මක කෙරුණේ ක්ලවුඩ් පරිගණනය (cloud computing) හා සහක්‍රියාකාරීත්වය සඳහා වූ තාක්ෂණයන් යොදාගනිමින් අගය එකතු කළ සේවා ගණනාවක් සම්පාදනය කරන සබඳතා වෙළඳපොලේ ප්‍රමුඛයකු වන ඇක්සස් ඉන්ටර්නැෂනල් (නෙට්වර්කිං ඩිවිෂන්) විසිනුයි. මෙයින් මෙහෙයුම් සරල කරමින් කාර්යක්ෂමතාව ඉහළ නංවා විදුලි සන්නිවේදන අංශයේ සිට සැපයුම් සංවිධානය දක්වාත් බලශක්තිය දක්වාත් කර්මාන්ත ගණනාවක ම ආදායම වැඩි කිරීමට හැකියාව ලැබෙනවා.

 
 
cargo management system

නැව් බඩු කළමනාකරණ පද්ධති ලොව පුරා සැපයුම් සංවිධානය සරල කරමින් තිබෙනවා (P2)

ක්‍රියාත්මක කෙරුණු පද්ධතිය

වරාය ප්‍රජාවන් වෙනුවෙන්ම සැලසුම් කෙරුනු නැව් බඩු කළමනාකරණ පද්ධතිය (CMS) මගින් සේවා ඉල්ලුම්, අන්තර්ජාලය හරහා (ඔන්ලයින්) ගෙවීම් හා යාත්‍රා නැංගුරම් ලෑම් පිළිබඳ තත්ත්ව විස්තර, වැනි පරිපාලන කාර්යයන් ගණනාවක් ඉටු කිරීමට එහි පරිශීලකයින්ට ඉඩ සැලසෙනවා. මේ සියල්ල ඊ-මේල් හෝ SMS හරහා සිදු කෙරෙන්නේ එම ක්‍රියාවලිවල වේගය වැඩි කරමින් හා එය භාවිතය වඩාත් පහසු කරමිනුයි.

ශ්‍රී ලංකාව තුළ නැව් බඩු නිෂ්කාශන ක්‍රියාවලියේ ස්වභාවය නිසා CMS පද්ධතිය රාජ්‍ය ආයතන ගණනාවක් හරහා ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රියාවලීන් සඳහා විධිමත් කිරීම අවශ්‍ය වුණා. නිදසුනක් වශයෙන්, ගෙවීම් සිදුකිරීමට හා ප්‍රකාශිත ගොනු (Manifest files) අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා උඩුගත කිරීමේ (uploading) ඉඩ සැලසීම සඳහා එයට ශ්‍රී ලංකා රේගුවේ (Sri Lanka Customs – SLC) නිෂ්කාශන පද්ධති සමග ඒකාබද්ධ වෙන්න සිදු වුණා.

අලුතින් ක්‍රියාත්මක කෙරුණු CMS පද්ධතියේ ප්‍රතිඵල එයට පෙර තිබුණු තත්වයට වඩා බෙහෙවින් උසස්. නැව් බඩු ලාභීන්ට දැන් මිනිත්තු 5ක් ඇතුළත තමන්ගේම ඉන්වොයිස් නිර්මාණය කරගෙන SLPA අනුමැතිය ලබාගන්න පුළුවන්. එම කාර්යයටම මීට වඩා කිහිප ගුණයක වේලාවක් ගත වුණ පැරණි ක්‍රමයට සාපේක්ෂව මේක කැපී පෙනෙන දියුණුවක්.

CMS පද්ධතිය වර්ධනය කෙරුණේ විවෘත කේත (open source) ප්ලැට්ෆෝමයක් මත PHP ක්‍රමලේඛන භාෂාව (programming language) භාවිත කරමින්. එහි බැක් එන්ඩ් එක (back end) සඳහා ORACLE 10G RDBMS යොදා ගැනුණා. මේ නිසා එය බ්‍රවුසර හා ජංගම මෙහෙයුම් පද්ධති ගණනාවක් තුළ යෙදවීමේ හැකියාව ලැබුණා .

මේ අති නවීන සැපයුම් පේළි කළමනාකරණයට පහසුකම් සැලසීම සඳහා ටැබ්, SMS දැනුම්දීම්, wi-fi, විද්‍යුත් ගෙවීම් ද්වාර (e-payment gateways), විද්‍යුත් නැව්බඩු ලේඛන හුවමාරුව (e-manifest transfers), -ගේට්වේ අවසරපත් හා කෙලින් ම SLPA වෙතින් විමසීම් කිරීම සඳහා යොදාගත හැකි ස්මාට් දුරකථන මෘදුකාංග ඇතුළු ඇතැම් ප්‍රධාන පෙළේ තාක්ෂණයන් පද්ධතියට ඒකාබද්ධ කෙරුණා.

 
 
warehouse management

SLPA ගබඩාවල ත්‍රිමාන දර්ශන මෙහෙයුම්කරුවන්ට කල්තබා අවශ්‍ය ඉඩකඩ වෙන් කිරීමට මෙන්ම ගබඩා කෙරෙන දේවල් පිළිබඳ නවතම තත්ත්වයන් වඩා හොඳින් දැනගැනීමටත් ඉඩ සලසනවා (P3)

ප්‍රධාන අංග

ආරක්ෂිත අතථ්‍ය පුද්ගලික ජාලයක් (Virtual Private Network – VPN) ඔස්සේ ශ්‍රී ලංකා රේගුව (Sri Lanka Customs - SLC), නැව්බඩු කළමනාකරණ පද්ධතිය (Cargo Management System - CMS) සමග සම්බන්ධ කෙරෙන්නේ , SLC වෙතට සැණෙකින් අනුමැතිය ලබා දීමේ හැකියාව පිරිනමමිනුයි. මෙයින් සැකසුම් කාලය හා රාජ්‍ය ආයතන දෙක අතර ගමන් කරද්දී දත්ත අවභාවිතයට ඇති ඉඩ යන දෙකම අඩු වෙනවා.

SLPA සේවාවන් සඳහා ගෙවීම් එකතු කරගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා CMS පද්ධතිය රාජ්‍ය බැංකු දෙකකටත් පුද්ගලික බැංකු තුනකටත් අන්තර්ජාල බැංකුකරණ පහසුකම් ඔස්සේ සම්බන්ධ වෙනවා. මේ බැංකුත් ඒ හා සමානව ආරක්ෂිත පෞද්ගලික VPN ජාල ඔස්සේ, දෙකෙළවරින්ම ෆයර්වෝල් මගින් ආරක්ෂා කෙරුණු සම්බන්ධතාවක් CMS පද්ධතිය සමඟ ස්ථාපිත කරගන්නවා.

ඒකාබද්ධ ජංගම මෘදුකාංගය පරිශිලකයින්ට ඔවුන්ගේ නැව් බඩු පිළිබඳ තත්ත්ව විස්තර සපයනවා. ජංගම දුරකතන යෙදුම පාවිච්චි නොකරන අය වෙනුවෙන් SMS මගින් එම කාර්යය කෙරෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ CMS පද්ධතිය, දත්ත අවභාවිතය පිළිබඳ ගැටලු සහ නැව් බඩු නිදහස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් සැලකිය යුතු තරමින් තුරන් කර තිබෙනවා. පැරණි ක්‍රමය යටතේ නැව් බඩු පිළිබඳ විස්තර සහිත ලිපි ගොනුවල දෘඪ පිටපත් (hard copies) ඉදිරිපත් කරන්න පරිශීලකයින්ට සිදු වුණා. ඒවා පසුව නැව් සමාගම් හා යාත්‍රා නියෝජිතයින් විසින් (යන්ත්‍ර භාවිතයක් නැතිව) අතින් පද්ධතියට ඇතුළු කළ යුතු වුණා. අලුත් CMS එක කෙලින්ම පද්ධතියට පිවිසී කලින් ලබා දී ඇති පරිශීලක නාම (usernames) හා මුරපද (passwords) යොදාගෙන තමන්ගේම සේවා ඇණවුම නිර්මාණය කරන්න පරිශීලකයින්ට ඉඩ සලසනවා.

ඉන් පසු මේ සේවා ඇණවුම පරිපූර්ණව සත්‍යාපනය (verify) කර ස්වංක්‍රීයව CMS පද්ධතිය මඟින් SLPA මුල්‍ය අංශය වෙත යැවෙනවා. ඉන් පසු එක්කෝ ඔන්ලයින් ගෙවීම් ද්වාරයෙන් නැතහොත් කවුන්ටරයෙන් ගෙවිය හැකි අවසන් ඉන්වොයිසිය නැව් බඩු ලාභියාට ලැබෙනවා. මේ ස්වයංක්‍රීය ඉන්වොයිස් නිපදවීම SLPA සතු CMS පද්ධතියේ ප්‍රධාන නවීකරණයන්ගෙන් එකක්.

මෙහි තවත් නවීකරණයක් තමයි SLPA ගබඩාවල ත්‍රිමාන (3D) දර්ශන ලබාදීම මගින් විවෘත කිරීමේ ක්‍රියාවලියට පෙර කල් තබා ගබඩාවේ ඉඩකඩ නැව් බඩු සඳහා වෙන් කිරීමට මෙහෙයුම්කරුවන්ට අවස්ථාව සැලසීම. ඒ වගේම එයින් ඕනෑම ගබඩාවක් තුළ තිබෙන ඉඩකඩ පිළිබඳ වඩා නිවැරදි චිත්‍රයක් ලබාගන්නත් ඔවුන්ට හැකියාව ලැබෙනවා. මීට අමතරව, බාකෝඩ් (barcode) පරීක්ෂා කළ හැකි ජංගම උපකරණ ඔස්සේ, ස්වංක්‍රීයව නිෂ්පාදන හඳුනාගැනීමට ඉඩ සලසන බාකෝඩ් ලේබල් කිරීම හා ඒකාබද්ධ තොග පාලනයත් පද්ධතියට එකතු වෙලා.

වෙනත් ප්‍රතිලාභ:

රේගුවේ විද්‍යුත් නිකුත් කිරීම් (e-Release) - මේ පහසුකම මගින් පරිශීලකයින්ට තමන්ගේ නැව් බඩු කෙලින්ම ඔන්ලයින් ක්‍රමයට නිදහස් කරගැනීමේ හැකියාව ලබා දෙනවා. මේ ක්‍රියාවලිය SLC හා CMS අතර ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය සඳහා ආරක්ෂිත VPN එකක් යොදාගන්නවා. එයින් නැව් බඩු නිදහස් කිරීමට ගත වන කාලය අඩු කරන අතර අන්තරායකර හෝ නීති විරෝධී නැව් බඩු රට තුළ පැටවීම හෝ බෑම අවම කරනවා.

විද්‍යුත් ගෙවීම් (E-Payment) - මේ විද්‍යුත් ගෙවීම් සේවාව පරිශීලකයන්ට ආරක්ෂිත ඔන්ලයින් ගිණුම් ආරම්භ කර පුනරාවර්තන (recurring) බිල්පත් බොත්තම් කිහිපයක් එබීමෙන් තත්පර ගණනක් තුළ බිල්පත් ගෙවීම් සිදු කිරීමටත්, ගෙවීමේ ක්‍රියාවලියේ වේගය වැඩිකර එය සරල කිරීමටත් ඉඩ සලසනවා.

විද්‍යුත් ඉන්වොයිස් නිකුත් කිරීම (Electronic Invoicing) - නැව් බඩු නිදහස් කිරීම සඳහා මේ ආකාරයේ විද්‍යුත් බිල්පත් නිකුත් කිරීම, ලිපිලේඛන අතින් භාර දිය යුතු වුණු හා ඒ නිසාම සම්පූර්ණ කිරීමට දින ගණනක් ගත වුණු කලින් ක්‍රමයට වඩා බෙහෙවින්ම නිවැරදි හා කාර්යක්ෂම ක්‍රමයක්. අලුත් CMS එක මගින් රටේ ඕනෑම තැනක සිට විද්‍යුත් ක්‍රමයට ලිපිලේඛන ඉදිරිපත් කිරීමේ හැකියාව පරිශිලකයින්ට ලබාදෙනවා. ඒ වගේම එය අවශ්‍ය අනුමැතිය ලබාගත් පසු, සමස්ත ක්‍රියාවලියම සැලකියයුතු අන්දමින් සරල කරමින් “විද්‍යුත් ඉන්වොයිසියක්” (E-Invoice) ඔවුන් වෙත යවනවා.

SMS පහසුකම - ගබඩාවේදී පැටවීම සඳහා නැව් බඩු සූදානම් වුනු විටCMS පද්ධතිය ස්වයංක්‍රීයව කෙටි පණිවිඩ මගින් දැනුම්දීම් කරනවා. මෙය වැඩ ගලනය විධිමත් කරමින්, නැව් බඩු ලාභින්ට හා නිෂ්කාශන නියෝජිතයින්ට නිෂ්කාසනය සිදු වන මොහොතේදී එකිනෙකා සමග සම්බන්ධ වී සිටීමට උදව් වෙනවා.

මේ CMS පද්ධතිය, එක වේදිකාවක් මත රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක් සම්බන්ධ කරමින් රාජ්‍ය ආයතනයක් සඳහා නිර්මාණය කෙරුණු පළමු ඔන්ලයින් නැව් බඩු නිෂ්කාශන පද්ධතියයි.

ශ්‍රී ලංකාව තුළ නැව් බඩු නිෂ්කාශන ක්‍රියාවලිය වැඩිදුරටත් විධිමත් කරමින් නැව් බඩු නිෂ්කාසනයේ දී ලේඛනගත කිරීම් මුළුමනින්ම ඉවත් කිරීම හා අදාළ සියලු රාජ්‍ය ආයතන තනි CMS වේදිකාවකට සම්බන්ධ කිරීම, CMS පද්ධතියේ වර්ධනයේ මීළඟ අදියර වනු ඇති.

 
 
containers at port

ගෝලීය වශයෙන් යටිතල පහසුකම් සපයන භූමියක් ලෙස සේවාවන් වඩාත් විධිමත් කිරීම අත්‍යවශ්‍යයි (P4)

සාරාංශය

පරිමාව හා වර්ධනය අතින් ශ්‍රී ලංකාව ගෝලීය මුහුදු වරායන් අතර ඉහළ තලයකට කෙමෙන් ගමන් කිරීමත් සමඟ, උසස් ජාත්‍යන්තර භාවිතයන් කොළඹ වරාය තුළ පවතින පද්ධති කරා ගෙන ඒම සඳහා රාජ්‍ය ආයතන හා පෞද්ගලික සමාගම් අත්වැල් බැඳගනු දැකීම ආස්වාදජනකයි.

කෙසේ වෙතත්, නැව් බඩු හැසිරවීමේ ගෝලීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත වෙන්න නම්, තවත් බොහෝ දේවල් විධිමත් කළ යුතුව තිබෙනවා. ඒත් ප්‍රතිපත්ති අංශයේ මෑතදී සිදු වුණු වෙනස්කම් සමඟ හා දැනට පවතින ගැටලු විසඳීමේදී පෞද්ගලික සහ රාජ්‍ය දෙඅංශයේම විශේෂඥයින්ගේ ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ වරායන්ට ලෝක මට්ටමේ ඉඩක් විවෘත කර ගැනීමට අවස්ථාව තියෙනවා.

   
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.