access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

'ස්මාර්ට්' ප්‍රවාහන අත්දැකීමක්

 

දිවයිනේ බොහෝ ප්‍රදේශ කරා ගමන් කළ හැකි එකම මහජන ප්‍රවාහන මාධ්‍යය බස් රථයි (P1)

සමීප ක්ෂේත්‍ර සන්නිවේදනය (Near Field Communication - NFC) කියන්නේ එකිනෙකට ආසන්නයෙන් තිබෙන උපකරණ අතර රැහැන් රහිත දත්ත හුවමාරු ක්‍රමවේදයක් . එය, රේඩියෝ සංඛ්‍යාත හඳුනාගැනීම (radio frequency identification – RFID) කියන ක්‍රමයෙන් බිඳිල ආව, සම්බන්ධ කෙරෙන උපකරණ එකිනෙක යා කිරීම සඳහා යුගලන කේතයක් (pairing code) අවශ්‍ය නොවන ක්‍රමවේදයක්. මේ තාක්ෂණය ගැන වැඩිදුර තොරතුරු NFC තාක්ෂණය (NFC Tech) නමැති අපේ ලිපියේ තියෙනවා. NFC උපකරණ, සේවාවන් සඳහා ගෙවීම් සිදු කරන්න, අතිරේක තොරතුරු ලබාගන්න, අවසර හෝ විශේෂ වරප්‍රසාද ලබාගන්න පරිශීලකයින්ට ඉඩ සලසනවා. මේ සියලු දේවල්, එම තාක්ෂණය දැනටමත් දේශීය පාරිභෝගිකයින්ගේ සාක්කුවේ තියෙන බොහෝ ජංගම දුරකථනවල ගැබ් වී තිබීම සමග එකතු වූ විට, පාරිභෝගික විසඳුම් ගණනාවක්ම ලබා දීමට යොදාගත හැකි ආකර්ෂණීය තාක්ෂණයක් බවට පත් වෙනවා.

විශේෂයෙන්ම අවශ්‍ය වී තියෙන විසඳුමක් තමයි අපේ වර්තමාන ප්‍රවාහන ක්ෂේත්‍රයේ සමහර ගැටලුවලට විසඳුම් දීම හෝ ඒවා අඩු කිරීම. ශ්‍රීලංගම හා පෞද්ගලික බස් ඩිජිටල්කරණය සඳහා පියවර කීපයක්ම ගෙන තිබුණත්, මේ තාක්ෂණයේ තියෙන විභවය තාම ප්‍රයෝජනයට අරගෙන නැහැ. මේ ලිපියෙන් මෙම තාක්ෂණය නගාසිටුවීම ඔස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ සියලු පාර්ශ්වකරුවන් ලබන ප්‍රතිලාභ විමසා බලනවා.

 
 
bus stop

බොහෝ බස් නැවතුම්වල එතනින් යන බස්වලට අදාළ වේලාවන් හෝ ගමන් මාර්ගවල විස්තරවත් දකින්න නැහැ (P2)

මගීන්ට ලැබෙන ප්‍රතිලාභ

මගීන් මුහුණ දෙන බොහෝ ගැටලු අතර අපේ බස් රථ ක්‍රියාත්මක වන, කලින් අනුමාන කළ නොහැකි ස්වභාවය ප්‍රධානයි. මේ අනුව, බසයක් එනකන් කොච්චර වෙලාවක් බලාගෙන ඉන්න ඕනෙද, ඉඳගන්න ආසන තියේවිද, කියන කාරණා නොදැන මගීන්ට රැඳී ඉන්න සිදු වෙනවා. GPS (ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධති / Global Positioning System) වැනි වෙනත් ප්‍රමිතිගත තාක්ෂණයන් සමග NFC ඒකාබද්ධ කිරීමෙන්, මගීන්ට තමන්ගේ බස් මාර්ග හඳුනාගැනීමට මෙන්ම සෑම බසයකම සිටින මගීන් සංඛ්‍යාව දැනගැනීමටත් ඉඩ සැලසෙනු ඇති. ජාතික ගමනාගමන මධ්‍යස්ථානය දැනටමත් මාර්ගවල ඇති බස් රථ තිබෙන ස්ථාන එම මොහොතේදීම (real time) දැකගත හැකි සේවාවක් දියත් කිරීමට මුල පුරා තිබෙනවා. ඒත් මේ සේවාව තවම හඳුන්වා දෙමින් තිබෙන දෙයක් නිසා එහි ප්‍රතිලාභ අත්පත් වෙලා නෑ.

මධ්‍යම පළාතේ නියමු ව්‍යාපෘතියක් හැටියට දියත් වුණු "සහසර" බස් ව්‍යාපෘතිය, මගීන්ට NFC ගෙවීම් පහසුකම ලබා දුන්නත් මෙය වෙනත් බස් මාර්ගවලට විශ්වසනීය අන්දමින් ව්‍යාප්ත වෙලා නැහැ. ඒ වගේම මේක මාර්ගවල සේවාවේ යෙදෙන බස් රථවල GPS ඛණ්ඩාංක ලුහුබැඳීම සඳහා මෑතදී හඳුන්වා දුන් වැඩපිළිවෙළ සමග සම්බන්ධත් නැහැ. ඒත් එවැනි සම්බන්ධ කිරීමකින් මගීන්ට ඔවුන්ගේ ගමනාගමනය වඩා හොඳින් සම්බන්ධීකරණය කරන්නත්, නිශ්චිත මාර්ගයක ධාවනය වන බස් රථ අතර සෙනග සමබර කරන්නත් ඉඩ සැලසේවි. මේ වාසි සැලසෙන්නෙ, මිනිස්සුන්ට මාරු කාසි අරගෙන යාමේත් ඉතුරු සල්ලි ලබා ගැනීමේත් කරදරයෙන් නිදහස් වීමට අමතරව.

 
 
bus conductor

මගීන් ගණන් තබාගැනීමත් ගාණට ඉතුරු ලබාදීමත් කොන්දොස්තරවරුන්ට අභියෝගයක් (P3)

හිමිකරුවන්ට සහ කොන්දොස්තරවරුන්ට අත් වෙන වාසි

බස් හිමියන්ට ගාස්තු එකතු කරගන්නත් දිනපතා ඔවුන්ගේ බස් රථ භාවිත කරන මගීන් ගණන නිරීක්ෂණය කරන්නත් NFC යොදාගන්න පුළුවන්. එක් එක් මගියා දක්වාම ගෙවන ලද මිල, ගමන් කළ දුර දැක්වෙන විස්තරයක් තමන්ගේ බස් රථ ගැන හිමිකරුවන්ට ලබා දෙන්න NFC සමග සම්බන්ධ කෙරුණු GPS පද්ධතියකට පුළුවන්. එවැනි තොරතුරු, ප්‍රධාන බස් නැවතුම් හඳුනාගැනීමට හා සෑම බසයකම දෛනික ආදායම පිළිබඳ සම්පූර්ණ විනිවිදභාවයක් ඇති කරගැනීමටත්, එමගින් බස් ගණනාවක් කළමනාකරණය සරල කිරීමටත් ඉඩ සලසනවා. නිවැරදි ටිකට් පත් ගාස්තු ගෙවන බවට හා ඔවුන්ගේ දෛනික ගමනේ මිල ගණන්වල වෙනස් වීම් ගැන කල්තබා විශ්වසනීය අන්දමින් මගීන් දැනුවත් කෙරෙන බවට සහතික කරගනිමින් ටිකට්පත්වල මිල ගණන් වෙනස් කිරීමත් දුරස්ථ ක්‍රමයට සිදු කළ හැකියි.

ක්ෂණික වාසිවලට අමතරව, වඩාත් පිරිවැය ඵලදායීතාවකින් යුතු පිටත් වීමේ වේලාවන් නිශ්චය කරගැනීමට හා සෑම බස් මාර්ගයකම ඉල්ලුම නිරීක්ෂණය කිරීමෙන් සම්පත් වඩා හොඳින් කළමනාකරණය කිරීමට මෙවැනි පද්ධතියකින් ලැබෙන තොරතුරු යොදාගන්න හිමිකරුවන්ට පුළුවන්.

ඒතරම් විශාල මාරු කාසි තොගයක් රැගෙන යාමට සිදු නොවීමේ වාසිය, මෙම බස් රථවල කොන්දොස්තරවරුන්ට ලැබෙනවා. ඒ වගේම මගීන් NFC කාඩ්පතක් භාවිත කළත් ජංගම දුරකථනය භාවිත කළත් අවසන් ගෙවීම පරීක්ෂා කර ටිකට්පතට මුදල් ගෙවා ඇත්දැයි දැනගන්න කොන්දොස්තරට හැකියාව ලැබෙනවා. මුදල් නොගෙවා ගමන් කරන අය හොයාගැනීම මේ නිසා සරල වෙනවා. NFC කියවන උපකරණයේ අතුරු මුහුණත ටිකට් මුද්‍රණය පහසු කරමින් සෑම මගියකුගෙන්ම නිශ්චිත මුදල අය කරගැනීම කොන්දොස්තරවරුන්ට පහසු කරනවා.

 
 
empty bus

මේ වැඩිදියුණු කිරීම් අඩු යටිතල ආයෝජනයක් සහිතව සැලකිය යුතු අන්දමින් අපේ මාර්ග ගමනාගමන පද්ධතිය ඉහළ නංවනු ඇති (P4)

පාර දිගේ

දේශීය වෙළඳපොල තුළ NFC ගෙවීම් පුළුල් පරිමාණයෙන් යොදාගැනීම නිසා වෙනත් ව්‍යාපාරත් එම සේවාව තම පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා දිරිමත් වේවි. සමාගම් හා කුඩා ව්‍යාපාරවලට නිශ්චිත ගමන් මාර්ගවල බස් රථ සමග එකට ක්‍රියාත්මක වෙමින් වට්ටම් හා වෙනත් අගය එකතු කළ පැකේජ ලබා දීම සඳහා මේ පද්ධතිය මත අගය එකතු කළ සේවා (Value Added Services) ගොඩනගන්න පුළුවන්. ජංගම දුරකථන යෙදවුමක් සමග ඒකාබද්ධ කෙරුණු එවැනි පද්ධතියක් පාරිභෝගිකයින්ට මූල්‍ය කළමනාකරණ සේවා සපයමින් සිය වියදම් පිළිබඳ වාර්තාවක් තබාගැනීමට ඉඩ සලසනු ඇති. මේ පාරිභෝගික යෙදවුම් සමහරක් දෙස අපේ මේ ලිපියෙන් සොයා බලනවා.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.