access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

දේශීය බලශක්ති වෙළෙඳපොල පෙරළියට නංවන බ්ලොක්චේන් තාක්ෂණය

 

පාරිභෝගිකයකුගේ අතිරේක බලශක්තිය එක වෙළඳපොලකින් මිලදී ගෙන වෙනත් තැනක වැඩි මුදලකට විකුණන්නත් එමගින් පාරිභෝගිකයාට ලාභයක් උපයා දෙන්නත් පුළුවන් (P1)

මෙය, GEReports වෙතින් උපුටා ගන්නා ලද ලිපියකි.

හැඳින්වීම

අපි මඳගට මෙහෙම චිත්‍රයක් හිතෙන් මවා ගනිමු: හොඳට අව්ව වැටෙන රස්නෙ දවසක ළඟම තියෙන coffee shop එකේ සෙනග පිරිලා, ඒකට හරියන්න වායුසමීකරණ යන්ත්‍රය හැටට හැටේ දුවනවා. අල්ලපු ගෙදර අයිතිකාරයෝ සති දෙකකට මූදු වෙරළේ නිවාඩුවකට ගිහින් නිසා පාවිච්චි කරන්න කිසි කෙනෙක් නැතුව වුණත් ගෙදර වහලේ තියෙන සූර්ය පැනල හිරුගෙන් බලශක්තිය අදිනවා.

අද දවසේ බලශක්ති යටිතල ව්‍යුහය ගොඩනැගිලි එකිනෙකින් හුදෙකලා කරනවා. ඒත් අනාගතයේදී ඒවාට, බ්ලොක්චේන් නමින් හැඳින්වෙන තාක්ෂණයකට පින් සිදු වෙන්න මිනිත්තුවෙන් මිනිත්තුව ස්වයංක්‍රීයව එකිනෙක සමග ගනුදෙනු කළ හැකි බව තාක්ෂණ විශේෂඥයන් පිළිගන්නවා.

බ්ලොක්චේන් කියන්නේ ඒකපාරටම පැහැදිලි කරන්නත් තේරුම්ගන්නත් අමාරු ටිකක් සංකීර්ණ තාක්ෂණික පදයක්. බ්ලොක්චේන් නමින් හැඳින්වෙන්නේ ස්වාධීනව හා විනිවිද බවින් යුතුව, ගනුදෙනුවල කාලානුගත වාර්තාවක් තබාගන්නා බෙදාහරින ලද ලෙජරයක් (distributed ledger) ඔස්සේ දත්ත හුවමාරු කරගැනීමේ නව ක්‍රමයක්. එය මෙතෙක් වඩාත් කැපී පෙනෙන ආකාරයෙන් යොදාගෙන ඇත්තේ බිට්කොයින් හා ඊතර් වැනි ඩිජිටල් මුදල් සඳහායි.

සැතපුම් ගණනාවක් සිසාරා බලශක්ති මූලාශ්‍ර විසිරී තිබීමේ ඉඩ ඇති පුනර්ජනනීය බලශක්ති (renewable energy) ක්ෂේත්‍රය තුළ, බ්ලොක්චේන්වල ඇති ගනුදෙනු අති විශාල සංඛ්‍යාවක් ලුහුබැඳීමේ නැතිනම් ආපස්සට සොයා යාමේ හැකියාව සැලකියයුතු අන්දමේ වාසි ලබා දෙනවා. මේ වගේ පද්ධතියකට බෙහෙවින් ඉහළ කාර්යක්ෂමතාවක්, සූර්ය හා සුළං බලශක්ති ජනක සඳහා වැඩි ලාභයක් (සෙනග පිරුණු coffee houseඑකක් වැනි තැනක උපරිම මට්ටමේ භාවිතයක් තියෙන වේලාවල පවා). මේ නිසා පාරිභෝගිකයාගේ වියදම අඩු වෙනවා.

“එහි මූලික මට්ටමේදී එය විවෘත මූල තේතයක් (open source code): ඕනෑම කෙනෙකුට නිදහසේ හා නොමිලේ ලබාගෙන ධාවනය කරන්නත්, ඔන්ලයින් ගනුදෙනු කළමනාකරණය කිරීමේ අලුත් මෙවලම් සංවර්ධනය කිරීම සඳහා යොදාගන්නත් පුළුවන්” බව ඩොන් සහ ඇලෙක්ස් ටැප්ස්කොට් යන අයගේ "Blockchain Revolution" නමැති පොතේ සඳහන් වෙනවා. “මේ නිසා කෙළවරක් නැති අලුත් යෙදවුම් දියත් කිරීමට හැකියාවක් එයට තියෙනවා”.

එවැනි වාසිදායක පැති රැසක් තිබුණත්, මූල්‍ය ක්ෂේත්‍රයෙන් පිට බ්ලොක්චේන් තාක්ෂණය යොදාගෙන ඇත්තේ සමාගම් කිහිපයක් විතරයි. සැබෑ ලෝකය තුළ එය යොදාගැනීම සඳහා කටයුතු කරන එවැනි එක සමාගමක් තමයි GE සමාගමේ බලාගාර හා විදුලි ජාලය සඳහා උපකරණ හා මෘදුකාංග නිපදවන අංශය වන GE Power. එය, ඩේනා (Deutsche Energie-Agentur) නමින් හැඳින්වෙන ජර්මානු බලශක්ති ඒජන්සිය සමග එක්ව, බ්ලොක්චේන්වලින් බලශක්ති ක්ෂේත්‍රය වඩා කාර්යක්ෂම කළ හැක්කේ කෙසේදැයි සොයාබලන අධ්‍යයනයක දැනටත් නිරතව ඉන්නවා.

මේ පර්යේෂණය සිදු වෙන්නේ තම විදුලි අවශ්‍යතාවන්ගෙන් කාලකටත් වඩා පුනර්ජනනීය මූලාශ්‍රවලින් ලබාගන්නා ජර්මනිය තුළයි. මේ මුළු ප්‍රමාණයෙන් සියයට 6ක් පමණ සමන්විත වෙන්නේ නිවාසවල සවි කර ඇති සූර්ය පැනලවලිනුයි.

 
 
connecting the dots

මෙවැනි නූතන තාක්ෂණික ලෝකයක් තුළ ඇත්තෙන්ම මුදල් තිබෙන්නේ කොතැනද කියන කාරණයට වඩා වැදගත් වන්නේ විදුලි ඒ්කකයක් ස්ථානගත වන තැන අනුව ඒහි මිල වෙනස් විය හැකි බවයි. (P2)

Peer to Peer බලශක්ති හුවමාරුව

ජර්මානු ආණ්ඩුව පසුගිය දශක දෙක පුරා පුනර්ජනනීය බලශක්තිට දුන් ශක්තිමත් තල්ලුව නිසා අතිශයින්ම බෙදාහළ (distributed) විදුලි පද්ධතියක් ඇති වී තිබෙනවා. සුළං ගොවිපල රට පුරාත් වෙරළ තීරවලත් පැතිරී ඇති අතර, සූර්ය පැනල බොහෝ වහලවල් වසාගෙන තිබෙනවා. 2016 දී සිදු කළ සමීක්ෂණයකට අනුව ජර්මානු බලශක්ති විධායකයින්ගෙන් සියයට 80ක් බ්ලොක්චේන් බලශක්ති වෙළඳපොලේ පෙරළියක් සිදු කරන බව සිතීම පුදුමයක් නෙවෙයි.

බලශක්ති පද්ධතිය වෙනස් වෙද්දී මතු වී තිබෙන අලුත් අභියෝගවලින් සමහරක් විසඳන්න උදව් වෙන්නත් මේ තාක්ෂණයට පුළුවන්. පුනර්ජනනීය බලශක්තිය සඳහා, විශේෂයෙන්ම සූර්ය බලශක්තිය සඳහා රජයෙන් සැපයෙන සහනාධාර මෙන්ම තොග විදුලි මිල ගණනුත් අඩු වෙමින් තිබුණත් ගෘහස්ථ මට්ටමේ බලශක්ති පිරිවැය තවමත් ඉහළ නගිමිනුයි තියෙන්නේ. සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් මාර්ග සඳහාත්, නරක අන්දමින් අතරින් පතර ලැබෙන සුළං හා හිරු එළියෙන් නිපදවෙන විදුලි මට්ටම් ස්ථායිකරණය කරන වෙනත් තාක්ෂණයන් සඳහාත් ජාලක මෙහෙයුම්කරුවන් (grid operators) තවත් මුදල් යෙදවිය යුතුයි.

ඒක ගැටළුවක් තමයි ජර්මානුවන් තම අතිරික්ත බලශක්තිය පෙරළා ජාලයට අලෙවි කරන විට ඔවුන්ට ස්ථාවර ආදායමක් ලැබීම. මෙයින් සමස්ත වියදම ඉහළ යනවා. මේ නිසා ඒ් වෙනුවට ඔවුන්ට ඉල්ලුම අනුව නිර්ණය වෙන, වෙළඳපොල මත පදනම් වුණු මිලක් නියම වුණොත් නරකද?

අලුත් ඩේනා අධ්‍යයනය මේ කාරණය සැලකිල්ලට ගන්නවා. අතිරික්ත සූර්ය හා සුළං බලශක්තිය අලෙවි කරන පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වීම නිසා Peer-to-Peer බලශක්ති හුවමාරුව, බ්ලොක්චේන්වලට මේ ක්ෂේත්‍රය තුළ ලැබෙන අතිශයින්ම සිත්ගන්නා අවස්ථාවන්ගෙන් එකක් බව GE Power ප්‍රධාන ඩිජිටල් නිලධාරී ස්ටීවන් මාටින් කියනවා.

"තිබෙන බලශක්තියෙන් සියයට 40ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සුළං හා සූර්ය බලශක්තිය අතරින් ලබාගත හැකි, වෙළෙඳපොල කීපයක් දවස පුරා දැන් ඔබට තියෙනවා.” මාටින් සඳහන් කරනවා.

සාම්ප්‍රදායිකව විදුලිය පාර්භෝගිකයින් වෙත සපයනු ලැබුවේ අදියර තුනක් ඔස්සේ එක දිශාවකටයි: බලාගාරවල සිට නගර දක්වා දිවෙන අධිබල රැහැන් මඟින් සම්ප්‍රේෂණය, අසල්වැසි ට්‍රාන්ස්ෆෝමර් උපපොළවල සිට නිවාස හා ව්‍යාපාර දක්වා බෙදාහැරීම හා අන්තිමේදී පරිභෝජනය යන ආකාර ඒමගින් අදහස් කෙරෙනවා.

"උපපොළක් (substation) සැලසුම් කෙරුණේ ඉතා අධිබල සම්ප්‍රේෂණය රැහැන්වලින් ලබාගනිමින් ගමනාන්ත ගණනාවක් කරා බෙදාහැරීම සඳහායි" මාටින් කියනවා. “ගමනාන්තවල සිට බලශක්තිය ලබාගෙන සමුච්චිත (aggregate) කර ආපසු අධිබල සම්ප්‍රේෂණයට ඇතුළු කිරීම සඳහා නෙවෙයි"

ඒත් ට්‍රාන්ස්ෆෝමර් වැනි දෘඪාංග (hardware) බ්ලොක්චේන් තාක්ෂණය සමග එකතු කර වැඩිදියුණු කරන්න පුළුවන්. Apple TV, එහෙමත් නැත්නස් Google Chromecast වැනි streaming devices, රූපවාහිනී යන්ත්‍රවල පසුපස අවුරුදු 15කට ආසන්න කාලයක් තිස්සේ තිබුණු පෝට් එකකට නිකම්ම සවිකිරීම මගින් - සාම්ප්‍රදායික රූපවාහිනී යන්ත්‍ර අතථ්‍ය පරිගණක බවට හරවා ඇති අන්දම සලකා බලන්න. බ්ලොක්චේන්-පාදක මෘදුකාංගවලට දේශීය සැපයුම් හා ඉල්ලුම් අවශ්‍යතා නිශ්චය කරන්නත් ඒවා දේශීය විදුලිබල නිෂ්පාදනය සමග සිතියම්ගත කරන්නත් පුළුවන් නම්, ඊට සමාන දෙයක් විදුලි උපපොළවල් සමගත් කරන්න පුළුවන් බව මාටින් තවදුරටත් කියනවා.

ඒ් වගේම, නිවෙස්වල තමන්ගේම සූර්ය පැනලවලින් නිපදවන විදුලිය ගබඩා කිරීම සඳහා නිවෙස් හිමියන් හෝ ව්‍යාපාර විසින්ම සවිකරන ලද බැටරි, අදාළ පරිශ්‍රය තුළදීම කුලියට ගන්න ජාතික සැපයුම් අංශයට පුළුවන්. ඉන් පසු එම විදුලිය, ඉල්ලුම අධික හා නිසි මිල තිබෙන අවස්ථාවල වෙළඳපොලට යැවිය හැකියි. මේ ක්‍රමය බැංකු තම ගනුදෙනුකරුවන්ගේ තැන්පතු, ණය හා වෙනත් ආයෝජන සඳහා යොදාගන්නා ආකාරයට සමානයි.

කිලෝවොට් එකක් තිබෙන ස්ථානය නිසා එහි මිල මූලික අන්දමින් වෙනස් වෙන්න පුළුවන් වුණත් “වෙනස තමයි විද්‍යුත් ලෝකයක් තුළ මුදල් තිබෙන ස්ථානය බොහෝ සෙයින් අදාළ නොවීම" මාටින් කියනවා. පාරිභෝගිකයකුගේ අතිරික්තය එක වෙළඳපොලකින් මිලදී ගන්නත්, වෙනත් තැනකදී වැඩි මුදලකට විකුණන්නත් එමගින් ඒ පාරිභෝගිකයාට ලාභයක් උපයාදෙන්නත් යුටිලිටි එකකට (උපයෝගීතා මෘදුකාංගයකට) පුළුවන්.

දැනටමත් ඒවා ක්ෂුද්‍ර තත්පර ගණනක් තුළ සිදු වන ගනුදෙනු මත රඳා පවතින මූල්‍ය වෙළඳපොලවල් බලගන්වන සාම්ප්‍රදායික මෘදුකාංගවලට මේ සියල්ල දැන් කරන්න බැරි ඇයි? බලශක්ති වෙළඳපොල ඊට වඩා සංකීර්ණයි. ඒවා කාලගුණය හා භෞතික යටිතල ව්‍යුහ මත රඳා පවතිනවා. ඒ වගේම මූල්‍ය වෙළඳපොලවල බොහෝ පැති, ආයෝජකයින්ට ලැබීම් තහවුරු වන වේලාව කෙරෙහි බලපාන අන්දමේ කල් පමා වීම් තාමත් අත්විඳින බව මාටින් කියනවා.

වත්කම් කළමනාකරණය හෝ peer-to-peer විකිණීම සඳහා නව වෙළඳපොලවල් තැනීමට නම් ගනුදෙනු කිරීම හා සත්‍යාපනය තථ්‍ය කාලයේම (real time) සිදු කරන්න වෙනවා.

"බ්ලොක්චේන් ආසන්න වශයෙන් තථ්‍ය කාලයේ ක්‍රියාත්මක වෙන" බව මාටින්ගේ අදහසයි. “අපි ක්ෂණිකව හා ස්ථිරව ගමන් කරන බව එය උපකල්පනය කරනවා."

ජර්මනියේ ඩේනා සමග කෙරෙන අලුත් බ්ලොක්චේන් අධ්‍යයනයට, විවිධාකාර භාවිත අවස්ථා පරීක්ෂා කිරීම සඳහා විශ්ව විද්‍යාල, තාක්ෂණ සමාගම්, ජාලක මෙහෙයුම්කරුවන් හා උපයෝගීතා සමාගම් සම්බන්ධ කරගැනේවි. බ්ලොක්චේන් යෙදවුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී ඉවත් කළ යුතු නියාමන බාධක වගේම එහි තාක්ෂණික හා ආර්ථික ශක්‍යතාව ඔවුන් සැලකිල්ලට ගනීවි. මීළඟ වසන්තයේදී ඩේනා මෙහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ඇති.

   
Tags

References

Images

P1. GeReports

P2. GeReports

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.