access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ඩ්‍රෝනවලින් ශ්‍රී ලංකාවේ කරන වැඩ

 

ගත වූ දශකය තුළ ඩ්‍රෝන තාක්ෂණය සැලකිය යුතු තරමින් වර්ධනය වෙලා තිබෙනවා. (P1)

 

හැඳින්වීම

ඡායාරූප හා වීඩියෝ ගැනීම, විවිධ භාණ්ඩ බෙදා හැරීම, භූමි ප්‍රදේශ තක්සේරු කිරීම හා සහන සේවා හා ආධාර බෙදා දීම ආදී විවිධ අවශ්‍යතා ඉටු කරමින් ඩ්‍රෝන තාක්ෂණය අපගේ පෞද්ගලික ජීවිත මෙන්ම ව්‍යාපාරික අරමුණුවලටත් ඔබින පරිදි මනාව බද්ධ වන දවස වැඩි ඈතක නෙමෙයි.

වාණිජමය මට්ටමින් අද භාවිත වන නවීන ස්වයංක්‍රීය ඩ්‍රෝන නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනෙන විවිධ තාක්ෂණයන් කිහිපයක් ගැන කලින් ලිපියේදී අප කතා කළා. මෙම ලිපියේදී අප අදහස් කරන්නේ ශ්‍රී ලංකාව තුළ විවිධ වෙළෙඳපොල අවශ්‍යතා වෙනුවෙන් ඩෝන තාක්ෂණය යොදා ගන්නා ආකාර සහ තනි ව්‍යවසායකයන් මෙන්ම මහා පරිමාණ සමාගම් පවා මෙම තාක්ෂණය යොදා ගැනීමට උත්සාහ ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමයි. එහිදී, ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට අදාළව පවතින සීමාවන් හා නියාමන පැතිකඩ දැනගැනීම උදෙසා අපේ රටේ බලාත්මක නීති හා රෙගුලාසි ගැනත් අවධානය යොමු කෙරෙනවා.

 
 
drone close up

යාන්ත්‍රික හා විද්‍යුත් ඡායාරූප ස්ථායීකරණ (stabilization) තාක්ෂණයේ ඉදිරි පිම්ම නිසා ඩ්‍රෝන ඡායාරූප හා වීඩියෝකරණය දියුණු වෙලා (P2)

ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යොදා ගන්නා අයුරු

වාණිජමය ඡායාරූප හා වීඩියෝකරණය: ලෝකය පුරාම වෙළෙඳපොල අවශ්‍යතා සඳහා ඩ්‍රෝන තාක්ෂණය වැඩිපුරම යොදා ගැනෙන්නේ ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීම වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ ආධුනිකයන් වගේම තනි තනිව චිත්‍රපට හා වීඩියෝ නිපදවීමෙහි නිරත වන පුද්ගලයන් බොහෝ දෙනෙකු අප රටේ ස්වභාව සෞන්දර්යය හා භූගෝලීය පිහිටීම කදිමට පෙන්නුම් කිරීම සඳහා මෙම තාක්ෂණයේ ප්‍රයෝජන ලබන බව ඔබ දන්නවා. සමාජ මාධ්‍යවලට මුදා හැරෙන ඩ්‍රෝන ඡායාරූප හා වීඩියෝ පට ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන්නත් අපේ රට '2019 Lonely Planet සංචාරක ගමනාන්තය' වශයෙන් තේරෙන්නත් හේතු වෙනවාද කියන අනුමානයත් මෙතනදී මතු වීම වළක්වන්න බෑ.

ඉහළ අහසේ සිට එවැනි ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීම සඳහා කලින් සිටි චිත්‍රපට හා ඡායාරූප ශිල්පීන් වගේ සුවිශේෂී පිරිසකට පමණක් ප්‍රමාණවත් මුදල් හොයාගන්න පුළුවන් වුණත් අද වන විට ඩ්‍රෝන මිලදී ගන්නත් ගුවන් ඡායාරූප සඳහා යොදා ගැනෙන HD කැමරා පාවිච්චි කරන්නත් බොහෝ දෙනෙකුට හැකි වෙලා තිබෙනවා. කෙසේ වෙතත්, විවිධ effects යොදාගන්න ඉඩ සලසන කාච පහසුකම් හිඟ වීම, එක දිගට ගුවනේ ධාවනය කරවන්න පුළුවන් කාලය අඩු වීම සහ ඩ්‍රෝනයකට ගමන් කරන්න පුළුවන් උපරිම උස සම්බන්ධයෙන් පැනවිලා තිබෙන සීමා ආදී අවහිරතාද තවමත් පවතින බවත් දැන සිටීම වැදගත්. හෙලිකොප්ටරයක් හෝ ගුවන් යානයක් ධාවනය කිරීමේදී ඒ කිම බාධාවක් අදාළ වන්නේ නෑ.

භූමි සමීක්ෂණ: පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම විවිධ ආයතන හා සංවිධාන භූමි සිතියම් හා තක්සේරුකරණය වැනි අවශ්‍යතා සඳහා ඩ්‍රෝන යොදාගන්නවා. මීට පෙර ලබා ගන්න අපහසු වූ ගුවන් ඡායා ඩ්‍රෝන ආශ්‍රයෙන් ලබාගන්න පුළුවන් නිසා ඉඩම් අත්පත් කරගැනීම් සහ පාංශු ඛාදනය වැනි කාරණා සම්බන්ධයෙන් තක්සේරු කිරීම් සිදු කරන එක දැන් පහසු වෙලා. එම ඡායාරූප වැඩිදුරටත් සකසලා පෞද්ගලික ඉඩම් සිතියම්ගත කරන්න වගේම වගා බිම්වල නිසි වගා තාක්ෂණයන් යොදා ගැනෙනවාද යන්න සොයා ගැනීම සඳහා ඒවා සංවිධානාත්මකව පවත්වා ගන්නත් පුළුන්. ඩ්‍රෝන මගින් මෙලෙස ලබාගන්නා ඡායාරූප එකිනෙක ඈඳමින් භූමියේ ත්‍රිමාන ආකෘති නිර්මාණය කිරීම සඳහා 'ෆොටෝගැමට්‍රි' (photogrammetry) නමින් හැඳින්වෙන තාක්ෂණයක් යොදා ගැනෙනවා. ප්‍රායෝගික තලයේදී මෙලෙස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම පුළුල් ලෙස ව්‍යාප්ත වීමට තවත් දුර ගමනක් යා යුතු නමුත් Skyeye Pvt Ltd වැනි නවෝත්පාදනය ගුරු කොට ගත් ශ්‍රී ලාංකික ව්‍යවසායයන් එවැනි තාක්ෂණයන් වෙළෙඳපොලට ලබා දීම දැනටමත් සිදු කරමින් පවතිනවා.

භාණ්ඩ බෙදා හැරීම: ගත වූ වසර කිහිපය තුළ ලෝකය පුරාම භාණ්ඩ බෙදා හැරීම සඳහා ගුවන්ගත කරන ඩ්‍රෝන යොදාගැනීමට මුලින්ම පෙළඹුණු සමාගම් දෙකක් වශයෙන් DHL සහ Amazon හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේත් Grasshopper, Kapruka වගේ සමාගම් වෙරළ තීරය දිගේ ලිපි ලේඛන ආදී ඉතා කුඩා අයිතම ගුවන් මගින් බෙදා හැරීම පහසු කරන ජාලයක් සකස් කිරීමපටන් ගෙන අවසන්.

කෘෂිකර්මාන්තය: DJI සමාගමේ පුහුණු සේවා සැපයුම්කාර සමාගම වන Guangdong Guo-An Intelligent Aviation Technology Co. Ltd. සමග අත්වැල් බැඳගෙන Hayleys Agriculture Holdings හි පර්යේෂණ හා සංවර්ධන අංශය විසින්  2016  වසරේදී DJI Agras MG-1 වර්ගයේ කෘෂිකාර්මික ඩ්‍රෝනය මෙහෙයවීම හා නඩත්තු කිරීම සම්බන්ධයෙන් වැඩමුළුවක් පැවැත්වූවා. මෙම ඩ්‍රෝනයෙහි ස්ථාපිත ප්‍රබල ප්‍රචාලන (ඉදිරියට ගමන් කරවන) පද්ධතිය හේතුවෙන් මෙම ඩ්‍රෝනයට කි. ගෑ. 10දක්වා බරකින් යුතු ද්‍රව තොගයක් ඔසවාගෙන ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. වේගය හා ශක්තිය එකට සංකලනය කිරීම නිසා මිනිත්තු 10 ක් වැනි සුළු කාලයක් ඇතුළත වර්ග මීටර 4,000-6,000 අතර වපසරියක් ආවරණය කරන්නත් එයට පුළුවන්. දළ වශයෙන් සලකා බැලුවාම මෙම ක්‍රමය මිනිසුන් යොදාගෙන අතින් පොහොර හා රසායනික යොදනවාට වඩා 40-60 ගුණයක් විතර වේගවත් වීම විශේෂයි. ඩ්‍රෝනය ධාවනය වන වේගයට අනුකූල වන පරිදි ස්වයංක්‍රීයවම හැඩගැසීමේ හැකියාව මෙම ඉසින පද්ධතිය සතු වන නිසා ආවරණ රටාව එක සමානව පවත්වා ගැනීම මගින් අපතේ යාම වළක්වා ගැනීමට හැකි වෙනවා. මෙහි වාසිය තමයි යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ අතිරික්ත කෘෂි රසායනික හා පොහොර ප්‍රමාණයක් ඉසීම හා ඒ නිසා සිදු වෙන්න පුළුවන් පාංශු දූෂණය වැළකී යාම.

දුහුවිලි හා ජලයෙන් හානියක් නොවන ලෙස සකසා ඇති මෙම ඩ්‍රෝනය සඳහා යොදාගනු ලබන්නේ මළ නොබැඳෙන අමුද්‍රව්‍ය වීමත් විශේෂයි. සබුද්ධික මතක කළමනාකරණ පද්ධතියකුත් (memory system) මෙයට එකතු කර ඇති නිසා පොහොර හෝ කෘෂි රසායනික අඩංගු ටැංකිය හිස් වූ පසුව නැවත පිරවීම සහ බැටරිය චාර්ජ් කිරීම වැනි අවශ්‍යතා සඳහා ධාවන ස්ථානය වෙත එය ඉබේම ගමන් කරනවා. ද්‍රව පොහොර හෝ රසායනික ඉසමින් සිට නතර කළ තැන සිට නැවතත් එම කාර්යය ආරම්භ කිරීම වෙනුවෙන් පරිශීලකයා විසින් නිශ්චය කර ඇති කිසියම් ස්ථානයක් වෙත නැවත ගමන් කරන්නත් එයට හැකියි.

ජාතික ආපදා තත්ත්වයන්හිදී සිදු කරන පිරික්සුම් කටයුතු: ඩ්‍රෝන ඡායාරූපකරණ තාක්ෂණයේ වර්ධනයන් නිසා හදිසි ආපදා අවස්ථාවලදී සිදු වී ඇති හානිය සහ ලබා දිය යුතු සහන හා සහයෝගය කඩිනමින් තක්සේරු කරන්නට ලැබෙන්නේ විශාල උපකාරයක්. 2018 වසරේ මැයි මාසයේදී ඇති වූ අධික ජල ගංවතුර තත්ත්වය මීට කදිම නිදසුනක්. එහිදී ගංවතුරින් හානියට පත් වූ වපසරිය තක්සේරු කිරීම සඳහා රතු කුරුස සංවිධානය විසින් ඩ්‍රෝන කිහිපයක්ම යොදා ගත්තා. ආපදා සහන ඒකක හා කණ්ඩායම්වලට පසුව මෙම ඩ්‍රෝන මගින් එකතු කරගත් තොරතුරු යොදාගෙන ගංවතුරින් අධික ලෙස හානියට පත් වූ ප්‍රදේශ හඳුනාගැනීමටත් මිනිස් ජීවිත සහ දේපල ඉක්මනින්ම ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබුණා.

 
 
drone laws

ඩ්‍රෝන තාක්ෂණය වැඩිදියුණු වීමට නම් ඊට අදාළව ශ්‍රී ලංකාවේ පවතින නීති හා නියාමන රෙගුලාසි පුළුල් මට්ටමින් දියුණු කළ යුතු වෙනවා. (P3)

ශ්‍රී ලංකාවේ ඩ්‍රෝනවලට අදාළ නීතිමය කාරණා

දැනට ඩ්‍රෝනවලට අදාළව ශ්‍රී ලංකාවේ බලාත්මක වන්නේ ඉතාම සීමිත නීතිමය රාමුවක්. ඩ්‍රෝනයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉතා පහසු එකක් වන අතර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට පිවිස ඒ ගැන තොරතුරු ලබාගන්න පුළුවන්.

මහජනතාවට ඩ්‍රෝනයක් යොදා ගෙන ඔසවන්න, නැතිනම් ගමන් කරවන්න දැනට අනුමත එකම බර වන්නේ කැමරාව පමණයි. කොහොම වුණත් Hayleys PLC සහ Kapruka වැනි සමාගම් ඉහත ඔබ කියවූ කාර්යයන් ඩ්‍රෝන මගින් ඉටුකර ගැනීම වෙනුවෙන් කැමරාවට අමතර බර ප්‍රමාණයක් ගුවනේ ගෙන යාම සඳහා රජයෙන් අවසර ලබාගෙන තිබෙනවා.

ඩ්‍රෝනයක් භාවිත කළ යුත්තේ කෙසේද යන කාරණය සම්බන්ධයෙනුත් හඳුනාගත හැකි සීමාවන් කිහිපයක් තිබෙනවා. උදාහරණයක් හැටියට මීටර  100  කට වඩා ඉහළ උසකට ඩ්‍රෝනයක් ඔසවන්න නීතියෙන් අවසර නෑ. ඒ වගේම ධාවනය කරන පුද්ගලයාට පෙනෙන සීමාවෙන් ඔබ්බට ඩ්‍රෝනයක් ධාවනය කිරීමත් නීතියෙන් තහනම්. මෙයින් සිදු වෙන්න පුළුවන් එක් අතුරු ඵලයක් තමයි ඩ්‍රෝනයක් යොදාගෙන ඇත්තටම අපට ලබාගන්න පුළුවන් ප්‍රතිලාභ හා කරන්න පුළුවන් කාර්යයන් අවහිර වීමයි. මේ නිසා, ආරක්ෂාවට අදාළ කාරණා සහ ව්‍යාපාරික අවස්ථා අතර මනා සමබරතාවක් පවත්වාගෙන යාමට නම් මෙම නීතිමය රාමුව වඩා විස්තීර්ණ ආකාරයකට සකස්කර ගැනීම අවශ්‍යයි.

 
 
drone sunset

ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන තාක්ෂණයේ අනාගතය බලාපොරොත්තු දනවන්නක්.(P4)

සාරාංශය

චිත්‍රපට නිර්මාපකයන්, ඡායාරූප ශිල්පීන්, භාණ්ඩ ප්‍රවාහනයේ නිරත පුද්ගලයන් සහ මිනින්දෝරුවන් වැනි ක්ෂේත්‍ර රැසකම සිටින වෘත්තිකයන් මෙන්ම තනි පුද්ගලයන්ද සාර්ථකත්වයේ නව මාන සොයා යාමට කැමතියි. විවිධ කර්මාන්තවල මෙහෙයුම්වල සාර්ථකත්වය සඳහා ලැබෙන උපකාරය හේතුවෙන් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රවණතාවය නම් තවමත් වර්ධනය වෙමින් පවතින්නක්. මේ වන විටත් ලොව පුරා ප්‍රචලිත වී ඇති ඩ්‍රෝන පාදක කරගත් ව්‍යාපාරික මෙහෙයුම් සමග කරට කර නැගී සිටින්නට නම් අපේ රටේ සමාගම්ද එම තාක්ෂණය ගැන උනන්දුවක් දැක්වීම ප්‍රයෝජනවත් වනු ඇති.

   

References

පින්තූර:

P1. Jcomp via freeppik

P2. karn2608 via freepik

P3. Freepik

P4. Senee_sriyota

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.