access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

නූතන කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ හැඳින්වීමක්

 

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භාවිතයන් තවමත් අතිශයින් ශ්‍රම සූක්ෂ්මයි (P1)

හැඳින්වීම

ක්‍රිස්තු පූර්ව 6200 අවට චීනයේදී සිදු වුණු පළමු වාර්තාගත වී වගා කිරීමේ සිට බැලූ කළ, පසුගිය සහස්‍රක තුළ ගෝලීය ආහාර කර්මාන්තය බොහෝ වෙනස්කම් හරහා ගමන් කර තිබෙනවා. ගොවිතැන් ක්‍රම වෙනස් වෙලා විතරක් නෙවෙයි, බීජත් කාලාන්තරයක් තිස්සේ වැඩි පලදාවක් ලැබෙන විදිහට පරිණාමය වෙලා. ඒ වගේම දෙමුහුන්කරණය හා ජාන වෙනස් කිරීම ඔස්සේ ස්වාභාවික පලිබෝධ හා රෝගවලට වඩා හොඳින් ඔරොත්තු දෙනසුලු විදිහට හැඩගැහිලා.

අද දවසේ කෘෂිකර්මාන්තය අතිශයින් පරිණත වුණත් තවමත් එහි නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම ඉතාම නවෝත්පාදකයි. බීජ තෝරාගැනීමෙන් පටන්ගෙන ජල සම්පාදනය, බෝග කළමනාකරණය, අස්වනු නෙළීම හා ගබඩා කිරීම දක්වා මෙවැනි නවෝත්පාදනයන් විමසා බැලීම සඳහා ලියැවෙන ලිපි මාලාවක පළමුවැන්න මෙයයි.

තිරසාර කෘෂිකර්මයේ ඉලක්කය වෙන්නේ 'ටිකකින් ගොඩක් කිරීම' යි. ඒ යෙදුමෙන් කියවෙන විදිහටම මෙයින් අදහස් වෙන්නේ පොහොර, බිම් ප්‍රමාණය හා ජලය ඇතුළු අමුද්‍රව්‍ය අවම ප්‍රමාණයක් යොදාගනිමින් උපරිම ගුණාත්මක නිෂ්පාදනයක් සිදු කිරීමයි. ඒත් පටන්ගන්න කලින් අපි ගුණාත්මක නිෂ්පාදනයක් නිර්වචනය කරන්නේ කොහොමද කියලා බලමු.

 
 
tomatoes

ගොවියන්ට සිය බඩුවලට හොඳ මිලක් සඳහා කේවල් කිරීමට නම් එක සේ පවතින ගුණාත්මක නිෂ්පාදනයක් අත්‍යවශ්‍යයි (P2)

හොඳ නිෂ්පාදන නිර්වචනය කිරීම

කර්මාන්තගත කෘෂි නිෂ්පාදනය පාරිභෝගික අභිමතය සහ වෙළඳපොල බලවේග යන දෙකට ම ගොදුරු වෙනවා. මේ නිසා, හුදෙක් තම නිෂ්පාදනයේ ගුණාත්මක බව විතරක් නෙවෙයි සමස්ත නිෂ්පාදිත ප්‍රමාණයම සපයමින් වෙළඳපොලේ ඇති නිෂ්පාදනවලට ආදේශ විය යුතු බවත් එසේ නොවුණහොත් අධික ලෙස උච්චාවචනය වන මිලක් ලැබීමේ අවධානම ඇති බවත් ගොවීන් සිහියේ තබාගත යුතුයි.

ස්වභාවයෙන්ම ආත්මීය හා ගුණාත්මක වන පාරිභෝගික අභිමතය සංතෘප්ත කිරීම සඳහා 'බ්‍රික්ස් අගය' යොදාගැනෙනවා. මේ මිනුම් ක්‍රමය නිර්වචනය කෙරෙන්නේ පලතුරු හෝ එළවලු තුළ ඇති ද්‍රාව්‍ය (දිය කළ හැකි) ඝන ආහාර මට්ටම වශයෙනුයි. එමෙන්ම මෙය සංසන්දනය හා ප්‍රමිතිකරණය යන දෙකම සඳහා යොදාගැනීමේ හැකියාව ඇති, නිෂ්පාදනයක් පිළිබඳ ගුණාත්මක තක්සේරුවක්. එය යොදාගැනෙන්නේ පලතුරක ඇති සීනි ප්‍රමාණය පිළිබඳ දර්ශකයක් හැටියට වන අතර එය අදාළ බෝගය වෙළඳපොල සඳහා සුදුසුද යන්න තීරණය කරන සාධකවලින් එකක්. සාපේක්ෂ වශයෙන් මිල අඩු උපකරණයක් වන වර්තනාංකමානයක් (refractometer) භාවිත කරමින් බ්‍රික්ස් අගය පහසුවෙන් හා විශ්වසනීය අන්දමින් මැනගන්න පුළුවන්. කෙසේ වෙතත්, මේ අගය හුදෙකලාව යොදාගන්න බැහැ. ඒ නිසා බර, වර්ණය හා හැඩය මෙන්ම නිෂ්පාදිතයේ (සුවඳ හා රසය වැනි) වෙනත් පැතිත් සැලකිල්ලට ගන්න වෙනවා.

තමන්ගේ නිෂ්පාදනයට හොඳ මිලක් ලබාගන්න බලාපොරොත්තු වෙන ගොවීන්ට, සෑම පලතුරක හෝ එළවලුවකම එක හා සමාන භෞතික හා ජීවවිද්‍යාත්මක ගුණාංග තිබීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ නිසා එකාකාර ගුණය, රසය හා පෝෂණය තිබෙන බෝග නිපදවීමේ අභියෝගය ගොවීන්ට තියෙනවා. බීජවල ගුණාත්මක බව තමයි පලදාවේ ගුණය හා අඛණ්ඩතාව සම්බන්ධ ලොකුම දර්ශකය. බෝගය අනුව බලද්දී, පසුගිය සියවසේ කෘෂිකාර්මික අස්වැන්නේ වර්ධනයෙන් 50%ක් පමණ ලැබුණේ ජාන (බීජ හා පැළ කිරීමේ අමුද්‍රව්‍ය) වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි.

ඉහත තත්වය යටතේ, ගෝලීය කෘෂිකාර්මික වෙළඳපොලේ ඇති බීජ පිළිබඳ විකල්ප අපි මුලින්ම සාකච්ඡා කරමු.

 
 
seed harvester

බීජ අස්වනු නෙළන යන්ත්‍රය පලතුරු වෙතින් බීජ නිස්සාරණය කරගැනීමේ කාර්යක්ෂමතාව වැඩි කරනවා (P3)

වෙළඳපොලේ ඇති බීජ

විවෘත පරාගිත බීජ (Open Pollinated Seeds – OP)

සමස්ත ජීව විද්‍යාවේම අතිමූලික න්‍යාය වෙන්නේ වඩාත්ම ශක්තිමත් ජීවීන් අතර තරගය තුළ ස්වාභාවික වරණයෙන් සිදු වන පරිණාමයයි. දුර්වල ප්‍රභේද, රෝග හෝ පාරිසරික පීඩනයන් නිසා නැති වී යන අතර ශක්තිමත් ප්‍රභේද තමන් සතු වාසිදායක ජාන ඊළඟ පරම්පරා තුළට ප්‍රතිනිෂ්පාදනය කරනවා. ඇතැම් අවස්ථාවල "වල්" ප්‍රභේද හැටියට හැඳින්වෙන මේවා, අවශ්‍යයෙන්ම වඩාත් රසබර වීම සඳහා සැකසී නොතිබුණත් ඒවා වැඩෙන පරිසරයට ඉහළින්ම ඔරොත්තු දෙනවා.

කෘෂිකර්මයේ ආරම්භයේ පටන්ම, ගොවීන් වඩා හොඳ පලදාවක්, රසයක් හා වගාකිරීමේ පහසුව සහිත ප්‍රභේදවල බීජ ඉතුරු කර තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ OP බීජ විශාල ප්‍රමාණයක් අප සතුව තියෙනවා. තනි තනි ශාක අතර පරාග වහනයට බාධා නැති නිසා මේ බීජ වෙනත් වර්ගවලට වඩා ජානමය වශයෙන් විවිධයි. ඒ වගේම මේවා කෘමීන්, පක්ෂීන් හා සුළං බලය වැනි ස්වාභාවික පරාගන ක්‍රම මත රඳා පවතිනවා.

ශාක ගහනයන් තුළ විශාල විවිධත්වයක් නිර්මාණය කරන්න මෙයට පුළුවන්. එයින් ප්‍රාදේශීය වැඩීමට හා දේශගුණ තත්වවලට අවුරුද්දෙන් අවුරුද්ද සෙමින් හැඩගැහීමේ ඉඩ ශාකවලට ලැබෙනවා. OP ප්‍රභේද ආරක්ෂා කිරීම සඳහා නුමුහුන් පෙළක් පවත්වාගැනීම අතිශයින්ම වැදගත්. වෙනස් ප්‍රභේද අතර ජාන මිශ්‍ර වීමක් සිදු නොවන බවට වගබලාගැනීම සඳහා සහාභිජනනය (in-breeding) නමින් හැඳින්වෙන ක්‍රියාවලියක් සිදු කෙරෙනවා. එකම විශේෂයන් තුළ එකිනෙකට වෙනස් (සහාභිජනනය කෙරුණු) ප්‍රභේද අතර පරාග හවුලේ බෙදී නොයන තාක් දුරට, එයින් නිපදවෙන බීජය වසරින් වසර එම වර්ගයටම අයත් නියම බීජයක් හැටියටම පවතිනු ඇති.

දෙමුහුන් බීජ (Hybrid Seeds – F1)

දෙමුහුන්කරණය කියන්නේ එකිනෙකට නෑකම් නොකියන සහාභිජනනය කෙරුණු ප්‍රභේද දෙකක්, වඩා හොඳ ඊළඟ පරම්පරාවක් නිපදවාගැනීම සඳහා මිශ්‍ර කිරීමටයි. මේ බීජ සඳහා යොදාගැනෙන්නේ එකිනෙකට වෙනස් විශේෂ හෝ ප්‍රභේද දෙකකට අයත් පරාග මිනිස් මැදිහත්වීම මගින් හුවමාරු කිරීමේ ක්‍රමයක්. දෙමුහුන්කරණය (විවෘත පරාගිත බීජවල සිදු වන අන්දමට) අහඹු හුවමාරුවක් ඔස්සේත් සිදු විය හැකි වුණත් බොහෝ විට ‘F1’ යනුවෙන් ලේබල් කර ඇති වාණිජ මට්ටමින් ලබාගත හැකි බීජ ඕනෑකමින්ම බෝ කෙරෙන්නේ රෝගවලට ඔරොත්තු දීම, ඉහළ පලදාවක්, නිෂ්පාදිතයේ ඉහළ ගුණය, කෙටි වගා චක්‍ර හා වඩා හොඳින් පොහොරවලට ප්‍රතික්‍රියා කිරීමක් වැනි අපේක්ෂිත ගතිලක්ෂණ ලබාගැනීම සඳහායි.

මේවා සාමාන්‍යයෙන් පළිබෝධ හා රෝගවලට, විශේෂයෙන් වයිරසවලට, වඩා හොඳින් ඔරොත්තු දෙනවා. ඒත් F1 ශාක ජානමය වශයෙන් අස්ථාවර නිසා, පසුව හටගන්නා පරම්පරාවන් නියම වර්ගයකට (true-to-type) අයත් නොවීමත් ශක්තිය අතින් බොහෝ අඩු වීමත් හේතුවෙන් අනාගත භාවිතය සඳහා ඉතුරු කර තබාගන්න විදිහක් නැහැ. මේ අනුව, දෙමුහුන් ශාක ප්‍රභේද භාවිතයට ගන්නා ගොවීන් සෑම වසරකම අනිවාර්යයෙන් අලුත් බීජ මිලදී ගත යුතු වෙනවා.

දේශීය පාරම්පරික බීජ

පාරම්පරික එළවලු කියන්නේ ගොවි පවුල් හා ප්‍රජාවන් පරම්පරා ගණනාවක් තිස්සේ උරුම වී පැමිණි පරණ පන්නයේ විවෘත පරාගිත ප්‍රභේදවලට. එවැනි බීජ ඒවා වගා කෙරුණු පරිසරයන්ට විශේෂයෙන් ප්‍රත්‍යාස්ථ (resilient) වීමේ වාසිය ලබා දෙන අතර සමහර විට විශේෂිත වෙළඳපොලවල් තුළ ඉල්ලුමක් තිබුණත්, දෙමුහුන් විශේෂ තරම් රෝගවලට හෝ කෘමීන්ට ඔරොත්තු දෙන්නේ නැහැ.

GMO/ජාන හුවමාරු කිරීමේ තාක්ෂණය

ශ්‍රී ලංකාවේ ආහාර පනත අනුව, ජාන වෙනස් කළ ජීවී (Genetically Modified Organism - GMO) කිසිම බෝගයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සාපරාධී වරදක්. එනයින්, ඒවායින් එල්ල විය හැකි බවට සැලකෙන පාරිසරික හා සෞඛ්‍ය අවදානම හේතුවෙන්, GMO බීජ ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූලව පැළ කිරීමේ හැකියාවක් නැහැ. සමහර GMO බීජ ප්‍රභේද පර්යේෂණාගාරයක් තුළ ජාන පිරිද්දීම වැනි සංකීර්ණ ශිල්පක්‍රම යොදාගෙන නිර්මාණය කෙරුණත් එය ශ්‍රී ලංකාවට අදාළ නොවන නිසා අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ.

 
 
seeds drying

ගබඩා කර තිබිය දී පැළ වීම වළක්වාගැනීම සඳහා නිස්සාරණයෙන් පසු බීජ සම්පූර්ණයෙන් වියළාගත යුතුයි. (P3)

බීජ සහතිකකරණය

බීජ පරීක්ෂා කිරීම හා ඒවායේ ගුණය හෝ යෝග්‍යතාව සහතික කිරීම සාමාන්‍යයෙන් කෙරෙන්නේ බලපත්‍ර ලද පරීක්ෂක ආයතනයක් විසින් වන අතර බීජ පරීක්ෂාව සිදු කරන ප්‍රධාන ගෝලීය ආයතනයක් වන්නේ ජාත්‍යන්තර සුරක්ෂිත සංක්‍රමණ අධිකාරියයි (International Safe Transit Association - ISTA). මේ සහතිකකරණය නිසා මිලදී ගන්නන්ට ප්‍රරෝහණ අනුපාතිකය (Germination Rate), නුමුහුම (purity), ජීවශක්‍යතාව (viability), තෙතමන ප්‍රමාණය, අක්‍රීය ද්‍රව්‍ය %, අසාමාන්‍ය බීජ %, මළ බීජ % වැනි මිනුම් ඔස්සේ බීජයේ ගුණාත්මක බව සහතික කරගන්න හැකියාව ලැබෙනවා. එවැනි ප්‍රමිතිවලට අනුකූල වීම නිසා ගොවීන්ට තමන්ගේ මීළඟ අස්වැන්නේ ගුණාත්මක බව ගැන සහතිකයක් ලැබෙන්නේ හොඳ ලාභයකුත් සහතික කරමිනුයි.

 
 
drip irrigation system

ගොවීන් ඔවුන්ගේ පලදාව උපරිමයට නංවාගනිමින් අවදානම හා ශ්‍රම පරායත්තතාව අඩු කරගැනීම සඳහා ඉහත දැක්වෙන වෑස්සුම් ජලසම්පාදනය වැනි කාර්යක්ෂම තාක්ෂණයන් වැඩිවැඩියෙන් යොදාගැනීම අවශ්‍යයි (P4)

නිගමනය

ශ්‍රී ලංකාවට කෘෂිකර්මය සම්බන්ධයෙන් පොහොසත්සහ පෞරාණික ඉතිහාසයක් තිබුණත් අපේ සමකාලීන අස්වනු නෙළීමේ ක්‍රම තියෙන්නේ ගෝලීය ප්‍රමිතීන්ට වඩා පසුපසින්. පරම්පරාවෙන් පරම්පරාවට පළිබෝධ හා රෝගවල ජාන නොකඩවා පරිණාමය වීමත් සමඟ, ශාකවල ජානත් ඒවාට ඔරොත්තු දිය හැකි අන්දමට පරිණාමය වීම අවශ්‍යයි. මේ නිසා අලුත් බීජ ප්‍රභේද බෝ කිරීම නොකඩවා සිදු කළ යුතු ක්‍රියාවලියක් බවට පත් වෙනවා. නිවැරදි බීජ තෝරාගැනීම, ගොවීන් තම වගා චක්‍රය තුළ ගත යුතු වඩාත්ම වැදගත් තීරණවලින් එකක්. ඔවුන් තමන්ගේ ගොවිපලේ සුවිශේෂී තත්වයන්ට නොගැළපෙන බෝගයක් තෝරාගත්තොත් එතැන් පටන් වගා කිරීමේ ක්‍රියාවලියට ඔවුන්ට සිදු කළ හැකි ධනාත්මක බලපෑම සැලකියයුතු අන්දමින් අඩු වෙන්න පුළුවන්.

වගා කෙරෙන පරිසරය සඳහා නිවැරදි බීජ වර්ගය තෝරාගැනීමෙන් පසු, හොඳම වගා භාවිතයන් හා තාක්ෂණයන් යොදාගත යුතු වෙනවා. ගොවීන්ට සිය වගා ක්‍රමවේද දියුණු කරගැනීමට හා සාර්ථක අස්වැන්නක් සඳහා පොහොර මත රඳා පැවතීම අඩු කරගැනීමට ඇති යතුර වන්නේ නූතන වගා තාක්ෂණය හා භාවිතයන් පිළිබඳ අධ්‍යාපනයයි. මෙහි ඇති නවතම ජලසම්පාදන පද්ධති පිළිබඳ අපේ ලිපි කියවා බලන්න.

ඒ වගේම වසර පුරා බෝගවලට ඇති වෙනස් වන වෙළඳපොල ඉල්ලුම පිළිබඳ ගොවීන් තුළ දැනුවත් බව නංවමින් උපරිම ලාභ අත්පත් කරගැනීමට සුදුසු බෝගය තීරණය කිරීමට ඉඩ සැලසීම සඳහා රට තුළ පුළුල් පරාසයක සැලසුම්කරණයක් හා බෝග කළමනාකරණයක් සිදු වීම අත්‍යවශ්‍යයි.

   

References

පින්තූර:

P1. hydrogenn via freepik

P2. Onesh Agri Pvt Ltd

P3. Onesh Agri Pvt Ltd

P4. Onesh Agri Pvt Ltd

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.