access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

වෑස්සුම් ජල සම්පාදන පද්ධති

 

ශාකවල වර්ධනය උපරිම කරගන්න නම්, පසේ සංයුතිය ප්‍රශස්ත තත්ත්වයේ පැවතිය යුතුයි. එනම්, පස් 50%, වතුර 25%, වාතය 25% වශයෙන්. (P1)

  

 

හැඳින්වීම

අපේ මීට පෙර ලිපියෙන් නූතන කෘෂිකර්මයේදී 'ගුණාත්මක නිෂ්පාදනයක්’ වශයෙන් හැඳින්වෙන්නේ මොකද්ද කියල හොයලා බැලුවා. එහි ලක්ෂණ හැටියට කියවෙන්නේ උසස් තත්වය, එකාකාර ගුණය, දේශගුණයට යෝග්‍ය බව, ඉහළ පලදාව, ඉක්මන් වර්ධනය, රෝගවලට හා කෘමීන්ට ඔරොත්තු දීම සහ වෙළඳපොළ අවශ්‍යතා යන ඒවායි.

හොඳ පලදාවක් ඇති වෙන්න, හොඳ බීජ තියෙන්න ඕන. බීජ තාක්ෂණයේ ඇති වෙලා තියෙන දියුණුවත් එක්ක විවෘත පරාගිත බීජ, දෙමුහුන් බීජ, දේශීය හෝ පාරම්පරික බීජ, සහ ජාන වෙනස් කළ ජීවය සහිත (Genetically Modified Organism - GMO) බීජ, යනාදී ලෙස බීජ වර්ග කීපයක් බිහි වෙලා තියෙනවා. ගොවිතැන් කිරීමට යොදා ගන්නා ක්‍රමවේද සමඟ මේ බීජ වර්ග පාචිච්චිය එකතු වුණාම, ගොවීන්ට තමන්ගෙ පලදාව උපරිමයට වැඩි කරගන්න පුළුවන් වෙනවා..

මෙම ලිපියෙන් අපි වෑස්සුම් ජල සම්පාදනය සහ එමගින් ගොවීන්ට ලැබෙන ප්‍රතිලාභ දෙස බලනවා.

ජලසම්පාදනය කියන්නේ, කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා භූමියට කෘත්‍රිමව ජලය සැපයීමයි. ක්‍රි.පූ. 3000 පමණ සිට වඩා දැනුමැති ගොවියෝ, ඇළ දොළ, ගංගා සහ විල්වල ගමන් මාර්ගය වෙනස් කරමින් ඔවුන්ගේ කුඹුරුවලට ජලය සපයාගෙන තිබෙනවා.

මේ කාලය තුළ, ද්‍රෝණි ජලසම්පාදනය (basin irrigation), වැටි සහ ඇළි ජලසම්පාදනය (ridge and furrow irrigation), මිනිස් හා අශ්ව ශ්‍රමයෙන් බාල්දි යොදාගෙන සිදු කරන ජලසම්පාදනය, ඇළි ජලසම්පාදනය (furrow irrigation), සහ ගැලුම් ජලසම්පාදනය (flood irrigation) වැනි සාම්ප්‍රදායික ජලසම්පාදන ක්‍රම, කෙමෙන් වර්ධනය වෙමින් තිබුණා. ජලසම්පාදනයේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් වෑස්සුම් ජලසම්පාදනය මගින් සුවිශේෂ වර්ධනයක් ඇති කළ අතර, එම ක්‍රමය සිදු කළ හැකි වූයේ 20 වන සියවසේ ඇති වූ තාක්ෂණික දියුණුවට ස්තූතිවන්ත වන්නටයි.

වෑස්සුම් ජලසම්පාදනයේ වැදගත් වාසි තේරුම් ගැනීමට නම්, පළමුව හොඳ පසක් යනු කුමක්දැයි තේරුම් ගත යුතු වෙනවා. අනුභූතිකව නිරීක්ෂණවලින් පෙනී ඇති පරිදි, ශාකවල වර්ධනය සහ පෝෂණ ද්‍රව්‍ය උරාගැනීම උපරිමයෙන් සිදු කරන හොඳ පසක, පස් 50% ක්, ජලය 25% ක්, සහ වාතය 25% ක් යන ආකාරයේ සංයුතියක් තියෙනවා.

සාම්ප්‍රදායික ජලසම්පාදන විධික්‍රම සියල්ල ම, යම් නිශ්චිත කාල රාමු තුළ ජලය ලබා දීම මත රඳා පවතින අතර, ඒ කිසිවක් භාවිතා කරන විට, පස සම්බන්ධයෙන් එතරම් සෞඛ්‍යසම්පන්න අනුපාතයක් දිගින් දිගට ම රඳවා ගැනීමට හැකි වන්නේ ම නැහැ. ඒ වෙනුවට, වාෂ්ප වී යන සහ වෙනත් අයුරින් අපතේ යන ජල පරිමාවට සරිලන ලෙස, ඕනෑවට වඩා ජල ප්‍රමාණයක් යොදා ගැනීමට එහිදී යොමු වෙනවා. ඒ අනුව, ඕනෑම අවස්ථාවකදී එක්කෝ ඕනෑවට වඩා ජල ප්‍රමාණයක් හෝ අවශ්‍ය තරමට වඩා අඩු ජල ප්‍රමාණයක් පසේ අඩංගු වෙනවා.

මේ අතිරික්ත ජල ප්‍රමාණය, බොහෝ බෝගවලට ඉතා අහිතකර වන අතර, දිලීර සහ බැක්ටීරියා ආශ්‍රිත ලෙඩරෝග වේගයෙන් පැතිර යාමට ඒ නිසා හේතු වෙනවා. ඒ අතර, මුල් කුණු වී යාම, බැක්ටීරීය මැලවුම් රෝගය (bacterial wilt), පළතුරු කුණුවීම සහ වැඩිපුර තෙතමනය නිසා ශාක පත්‍රවලට හටගන්නා විවිධ රෝග තියෙනවා.

සාම්ප්‍රදායික ජලසම්පාදනයේ වෙනත් අවාසි අතර, පාංශු ඛාදනය, වැඩි ජල ප්‍රමාණයක් වැය වීම, අවශ්‍ය තරමට වඩා අඩු ජල ප්‍රමාණයක් ලැබීම, වැඩි කම්කරු ශ්‍රම පිරිවැය සහ බෝග වර්ධනයේ හටගන්නා වෙනස් වීම් ඇතුළත්.

වෑස්සුම් ජලසම්පාදනය මගින් මේ ගැටලු විසඳන්නේ, ශාකයට ජලය අවශ්‍ය පරිදි, බිංදුවෙන් බිංදුව දිගින් නොකඩවා ජලය ලබා දෙමින්, පසේ සංයුතිය හොඳම මට්ටමෙන් පවත්වා ගැනීමෙනුයි.

වෑස්සුම් ජලසම්පාදන පද්ධති මගින් පසේ තෙතමනය හොඳම තත්ත්වයෙන් රඳවාගෙන ශාකයේ වර්ධනය උපරිමයෙන් සිදුකරන්න පුළුවන් (P2)

 

 

වෑස්සුම් ජලසම්පාදන පද්ධති

වෑස්සුම් ජලසම්පාදන ගොවිතැන් කටයුතු පිළිබඳ තාක්ෂණයේ වැදගත් වර්ධනයක් වන අතර, වඩාත් ම කාර්යක්ෂම ජලසම්පාදන ක්‍රමය ද වෙනවා. මෙසේ වන්නේ, එමගින් අවශ්‍ය කාල පරාස ඇතුළත, එක් එක් බෝගයේ ක්‍රියාකාරී මූල කලාපය වෙත ජලය කාන්දු වීමට සලස්සමින් පසේ තෙතමනය හොඳම තත්වයෙන් රඳවා තබන නිසයි.

මුලින්ම, වෑස්සුම් පද්ධතිය මගින් අදාළ ස්ථානයේ ඇති ජල මූලාශ්‍රයකින් පොම්ප කෙරුණු ජලය ලබා ගෙන එය පෙරන ගණනාවක් හරහා යවමින් එහි තත්වය වඩාත් ගුණාත්මක කර දෙනවා. මෙම පෙරන පද්ධතියේ සංයුතිය, ජල මූලාශ්‍රයේ ගුණාත්මක බව මත රඳා පවතිනවා. මේ ක්‍රියාවලියෙන් පසු, මෙසේ පිරිසිදු කරන ලද ජලය කපාට, නළ, බට සහ මුදාහරින උපකරණ ඔස්සේ ශාකවල ක්‍රියාකාරී මුල් කලාප වෙතට පොම්ප කෙරෙනවා.

පාලක කපාට සහ පීඩන මාන සීරුමාරු කිරීමෙන්, පසේ වර්ධන සංයුතිය හොඳම මට්ටමට නැංවීමට අවශ්‍ය පරිදි ඉතාම නිශ්චිත අන්දමින් එක් එක් ශාකයට ජලය මුදා හරින්න පුළුවන්. මෙම පද්ධතිය පෙරහන් ඒකකය හරහා පොහොර යෙදීමේ උපකරණවලට සම්බන්ධ කිරීමෙන්, එවැනිම නිශ්චිත බවකින් යුතුව, ජලසම්පාදනයට සමගාමීව පොහොර යෙදීමත් කළ හැකියි.

 

 

 

vegetables

ගොවීන්ට හොඳ මිලක් ලබාගන්න අවශ්‍ය නම්, සිය ඵලදාව උපරිම කරගැනීමට විතරක් නෙවෙයි, ඒවා එකාකාර තත්ත්වයෙන් පවතින බව හා ඉහළ පාරිභෝගික ප්‍රමිතීන්ට අනුකූලව පවතින බව තහවුරු කිරීමටත් දැන් අභියෝගයක් තියෙනවා (P3)

 

වෑස්සුම් ජලසම්පාදන පද්ධතිවලින් ලැබෙන ප්‍රතිලාභ

වෑස්සුම් ජලසම්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ මූලික වාසි මේවායි:

  • වෑස්සුම් ජලසම්පාදන සඳහා අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා 30-70% කින් අඩු ජල ප්‍රමාණයක්. ජලය යෙදීමේ ක්‍රියාවලිය, අඩු-වියදම්, අඩු පීඩන, පරිස්ථානීයව ලබාගන්නා පොම්ප මගින් වඩා පහසුවෙන් සිදුකිරීමට මෙහිදී හැකි වෙනවා.

  • මේ පද්ධති, 95%ක කාර්යක්ෂමතා අනුපාතයකින් පසේ උපරිම තත්වයක් පවත්වාගෙන යමින්, බෝග පලදාව 200% කින් වැඩි කරනවා!

  • ජලය කෙලින්ම මුල් පද්ධතියට යොදන නිසා, වියලි පත්‍ර ගහනයක් පවත්වාගෙන යමින් කෘමි උවදුරු සහ දිලීර රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා.

  • වෑස්සුම් ජලසම්පාදන, කඳුකර සහ තැනිතලා ප්‍රදේශ වැනි විවිධ දේශගුණික පරිසර ගණනාවක් හරහා එකම අයුරින් වැඩ කරනවා. අඩු උරාගැනීමේ තත්වයන් ඇති, දුෂ්කරතා සහිත පසකට වුණත්, ක්‍රමිකව සහ අවශ්‍ය ප්‍රමාණය අනුව පාලනයක් සහිතව මෙමගින් හොඳින් ජලසම්පාදනය කරන්න පුළුවන්.

    මුල් පද්ධතියේ වර්ධනය හොඳින් සිදුවීමට මේ ක්‍රමය උදව් වන අතර, ඒ නිසා අවශ්‍ය පරිදි වැඩුණු ශක්තිමත් මුල් පද්ධතියක් ලැබෙන වා.

  • මේ පද්ධතිය ස්යංක්‍රීයව වැඩ කරන නිසා, අවශ්‍ය මිනිස් ශ්‍රමය අඩු කරමින්, දුර සිට මෙය පාලනය කරන්න පුළුවන්.

  • මෙය පොහොර යෙදීමේ උපකරණවලට සම්බන්ධ කළ හැකි නිසා, පොහොර යෙදීමේ කාර්යක්ෂමතාව වඩාත් වැඩි මට්ටමකින් ඉහළ නංවන අතර, අවශ්‍ය අවස්ථාවල පමණක් බෝග වලට පෝෂණය ලබා දෙනවා. මෙමගින් පලදාව ඉහළ නැංවෙනවා වගේම, පොහොරවලට වැය වන මුදල අඩු වෙනවා.

  • මේ අයුරින් පොහොර යෙදූ විට, ඒවා අනවශ්‍ය ලෙස අවට තිබෙන ජල තටාක වෙත යමින් එම ජල මූලාශ්‍ර දූෂණය කිරීම අඩු වෙනවා. 

    drip irrigation system in Sri Lanka

වෑස්සුම් ජලසම්පාදන පද්ධතියක් මගින් වගා බිමට අවශ්‍ය ජලය සැපයෙන අයුරු(P4)

 

වෑස්සුම් ජලසම්පාදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අභියෝග

 

වෑස්සුම් ජලසම්පාදනය සාම්ප්‍රදායික ජලසම්පාදන ක්‍රමවලට වඩා ඉතාම දියුණු හා කාර්යක්ෂම වුණත්, එය භාවිතයට ගැනීමේ මන්දගාමී බවින් පෙනී යන්නේ එය ස්ථාපිත කිරීම සඳහා තිබෙන අභියෝගයි.

  1. මෙසේ වන්නේ, එම පද්ධතිය තුළ භාවිත වන උපකරණවලට සිදුවිය හැකි හානි හෝ ක්ෂය වීම් හා මලකෑම වැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා , විශේෂඥ දැනුම සහ අඛණ්ඩ නඩත්තුව අවශ්‍ය නිසයි.
  2. දිනපතා එය ක්‍රියාත්මක කිරීමට හා එයින් මතු වන ගැටලු නිරාකරණය කරගැනීමට, ගොවියාගේ පැත්තෙන් ඉගෙනුම සහ පුහුණුව යන දෙකම අවශ්‍ය වෙනවා.
  3. හානි හෝ අනිසි ක්‍රියාකාරිත්වය ඇති වූ පළමු අවස්ථාවේදීම, තත්වය වඩාත් උත්සන්න වීමේ අවදානම නැති කිරීම සඳහා , දෝෂ සහගත පොම්ප හෝ වෙනත් උපකරණ වෙනුවට අලුත් ඒවා ආදේශ කළ යුතුයි.
  4. මේ සඳහා, සැපයුම්කරු, කොන්ත්‍රාත්කරු සහ ගොවියා අතර ශක්තිමත් සහ නොවරදින සම්බන්ධයක් පැවතීම අවශ්‍යයි.
  5. පරිගණකගත ජලසම්පාදන පද්ධති භාවිතය සහ ඒවායේ දත්ත පවත්වාගෙන යාම සඳහා තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික පුහුණුවක් සහිත පුද්ගලයින් සිටීම අවශ්‍යයි.
  6. මෙම පද්ධතිය, ඉහළ ආරම්භක ආයෝජනයක් වෙන්න පුළුවන්. කලින් සඳහන් කළ අභියෝගවලට හරියට මුහුණ නොදුන්නොත්, එම මූලික වියදම අතික්‍රමණය කිරීම දුෂ්කර විය හැකියි.

 

collaboration

හැම දෙනාම වෙනුවෙන් මේ බාධක ජයගැනීම සඳහා විවිධ ව්‍යාපාර අතර මනා සහක්‍රියාකාරීත්වය අතිශයින් වැදගත්. (P5)

 

සාරාංශය

ජලසම්පාදන ක්‍රමවේදවල වර්ධනයේ විශාල පිම්මක් ලෙස වෑස්සුම් ජලසම්පාදනය හැඳින්විය හැකි වුවත්, අධ්‍යාපනය සහ පුහුණුව අවම වීම නිසා ශ්‍රී ලංකාව තුළ එය භාවිතයට ගැනීම සීමා වී තියෙනවා.

අපේ දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය වර්ධනය කරමින් ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා, දේශීය ව්‍යාපාර සහ රජය එක් වී අදාළ තාක්ෂණික සහ කාර්මික විශේෂඥ දැනුම ලබාදෙමින් ගොවීන් බලගැන්වීම අත්‍යවශ්‍යයි.

සියල්ලන්ගේම ප්‍රතිලාභය සඳහා එවැනි සහක්‍රියාකාරීත්වයන් අත්‍යවශ්‍යයි. වෑස්සුම් ජලසම්පාදනය, එවැනි සම්බන්ධකම් ඔස්සේ වර්ධනය කළ යුතු මූලික තාක්ෂණයක්. නිවැරදි අයුරින් ඒවා ස්ථාපිත කළොත්, එවැනි පද්ධති මගින් , ගොවීන්ට සමස්ත පලදාව ඉහළ නැංවීමටත් වැඩි ලාභයක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ජාතියක් හැටියට ආහාර සහ පොහොර ආනයනය අඩු කිරීමට අවස්ථාවකුත් සැලසෙනවා.

 

 

  

   

References

රූප:

P1. Freepik

P2. Onesh Agri Pvt Ltd

P3. freepic-diller via freepik

P4. Onesh Agri Pvt Ltd

P5. patcharin123 via freepik

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.