access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

සෞඛ්‍ය සේවය ආශ්‍රිත ආසාදන වළක්වාගැනීම: මධ්‍යගත ජීවාණුහරිත සැපයුම් අංශ

Product Specialist

Shenu Thiffany

Product Specialist

Access International Pvt Ltd - Medical Division

 

රෝගීන් එකිනෙකා ආසාදනය කිරීම වැළැක්වීමට, රෝහල් බෝ වන රෝග පැතිර යාම කළමනාකරණය කළ යුතුයි (P1)

 

සෞඛ්‍ය සේවය ආශ්‍රිත ආසාදන (Healthcare Associated Infections - HAI)

මෙම ලිපිය මගින්, "රෝහලකට හෝ වෙනත් සෞඛ්‍ය සේවා ආයතනයකට ඇතුළත් කිරීමට පෙර නොතිබූ හෝ ඒ අවස්ථාවේදී තවම රෝග ලක්ෂණ පහළ වී නැති, එවැනි ආයතනයකදී රෝගියෙකුට ඇති වන ආසාදන" ලෙස නිර්වචනය කෙරෙන, සෞඛ්‍ය සේවය හා සම්බන්ධ ආසාදන (Healthcare Associated Infections – HAI හෝ HCAI) ගැන සාකච්ඡා කෙරෙනවා.

ඉතාම දියුණු සෞඛ්‍ය සේවා පද්ධති තුළ පවා, උදාහරණයක් විදිහට ඇමෙරිකාව වැනි රටවල වුණත්, ඕනෑම සාමාන්‍ය දවසක, රෝහල්වල සිටිනා රෝගීන්ගෙන්  31  දෙනෙකුගෙන් එක් කෙනෙක් වත්, සෞඛ්‍ය සේවය ආශ්‍රිත ආසාදනයකින් පීඩා විඳිනවා. (1)

රෝගීන්ගෙන් පිරී ගිය රෝහල්වලට, අනිවාර්යයෙන්ම, ආසාදන පැතිරයාම සීමා කිරීම සඳහා තල කීපයක ආරක්ෂක පියවර ගන්න සිදු වෙනවා. මෙම ආරක්ෂක පියවර ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ (Infection Prevention and Control – IPC) වැඩසටහන් ලෙස හැඳින්වෙනවා. ඒවා මගින් සෞඛ්‍ය සේවය ආශ්‍රිත ආසාදන (HAI) සීමා කරන අතරම, ප්‍රතිජීවක අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙදා හැරීම නිසා හටගන්නා ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය (antimicrobial resistance – AMR) වළකනවා.

අවාසනාවකට, ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා වෙනස්. එහෙම වෙන්නෙ, HAI/HCAI තත්ත්වයන් ඉතා අධික වන අතර, යොදා ගන්නා පොදු විසඳුම වන්නේ වැඩි මාත්‍රාවක ප්‍රතිජීවක ඖෂධ භාවිතයට ගැනීම නිසයි. මෙමගින් රෝගකාරක (බැක්ටීරියා/ වයිරස්) සතු ප්‍රතිරෝධය වැඩි වී, බොහෝ අවස්ථාවල රෝහලේ නේවාසිකව සිටින කාලය වඩා දීර්ඝ වීමට හේතු වෙනවා.

IPC වැඩසටහන් මගින් HAI තත්වයන් පැතිර යාම කළමනාකරණය කිරීමට දැඩි නීති රීති සහ පාලන උපක්‍රම යොදාගැනෙනවා. HAI මෙල්ල කිරීමට විශේෂ පුහුණුවක් සහිත වෛද්‍ය කණ්ඩායම්වලින් පටන්ගෙන, වසංගත පැතිර යාමේ තත්ව ගැන නිතරම ඇසගසාගෙන සිටින විමර්ශක පද්ධති සහ ජීවාණුහරණය කළ ශල්‍යකර්ම පරිසර ඇති කිරීම සහ පවත්වාගෙන යාම සිදු කෙරෙනවා. මේ ආරක්ෂණ විධික්‍රම යටතේ, වර්තමාන රෝහල්වල ඇති IPC වැඩසටහන් මූලික කොටසක් බවට, මධ්‍යගත ජීවාණුහරිත සැපයුම් අංශය (CSSD) පත් වී තියෙනවා.

 
 
surgical instruments

රෝග පැතිර යාම වැළැක්වීම සඳහා භාවිතා කරන උපකරණ ජීවානුහරණය කිරීම තීරණාත්මක දෙයක් (P2)

CSSD කියන්නෙ මොකක්ද?

CSSD කියන්නෙ රෝහලක ඕනෑම ශල්‍යකර්මයක් හෝ යම් ක්‍රියාවලියක් සිදු කිරීමට පෙර, ඒ සඳහා පාවිච්චි කරන උපකරණ ජීවානුහරණය කිරීමට වෙන් කරන ලද නිශ්චිත ප්‍රදේශයක්. හොඳ අධ්‍යාපනයක් සහිත සේවකයින් සිටින, හොඳ තත්ත්වයේ CSSD එකක් මගින් රෝහලක බෝ වෙන රෝග පැතිර යාම වළක්වාගන්න පුලුවන්. CSSD ඒ්කකයක සුලභව භාවිත වන උපකරණ සමහරක් ගැන විස්තර පහතින් දැක්වෙනවා.

වාෂ්ප ජීවාණුහාරක - ඕනෑම CSSD එකක ඇති පොදු මෙවලමක් වන වාෂ්ප ජීවාණුහාරක, එය තුළ තැන්පත් කරන උපකරණ 121˚C-134˚C අතර අධි පීඩන වාෂ්පවලට අනාවරණය කරමින් එහි ඇති ක්ෂුද්‍ර ජීවීන් හෝ බීජාණු විනාශ කර දමමින් ජීවානුහරණය සිදු කරනු ලබනවා. වාෂ්ප ජීවාණුහාරකය දෑතින් අල්ලා පාවිච්චි කරන බොහෝ උපකරණ සඳහා සුදුසුයි.

තනි හා බහු - කුටීර සේදීම් විෂබීජහරණ - වාෂ්ප ජීවාණුහාරක මගින් අවශ්‍ය පරිදි විෂබීජ විනාශ කළ නොහැකි අවස්ථාවල භාවිතා වන මේවා, අතින් ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍ර විශේෂයකි. පළමුව, එම උපකරණ ඇතුළත පෘෂ්ඨයේ ඝන අපද්‍රව්‍ය ඇත්නම් ඒවා ඉවත් කිරීම සඳහා උණුසුම් සහ සීතල ජලය යොදාගෙන උපකරණ සෝදා ගැනෙනවා. ඉන්පසු රසායනික විෂබීජනාශකවලින් - බොහෝ විට අම්ල හෝ භෂ්ම - සෝදා ගැනෙනවා. ඉන්පසු උදාසීනකාරකයකින් සෝදනවා. එයින් පසු, යොදා ගත් රසායන ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සෝදා, අවසානයේ විෂබීජ විනාශ කොට 93˚C ක තරම් ඉහළ උෂ්ණත්වයකින් උණුසුම් කරමින් වේලා ගන්නවා. මෙවැන්නක් යොදා නොගෙන රසායනික ද්‍රව්‍ය යොදාගෙන අතින් පිරිසිදු කිරීම සිදු කිරීම නිසා අදාළ සේවක සේවිකාවන්ට හානි සිදු විය හැකියි. ඒ සදහා යොදා ගැනන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා සිදු වන සෞඛ්‍යමය බලපෑමයි ඉන් අදහස් වන්නේ.

ශ්‍රී ලංකාවේ සේදීම් විෂබීජනාශක ගැන එතරම් දැනුමක් නැති නිසා මෙන්ම මූල්‍යමය අපහසුතා නිසා ඒවා එතරම් බහුලව හෝ නිවැරදි ආකාරයට පාචිච්චි කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට, ඉහත දැක්වූ උපදෙස් මාලාව ගැන තැකීමක් නැතිව රෝහල් විසින් අවශ්‍ය වෙලාව අනුව සකසා ගත් ස්ථාන තුළ සිය උපකරණ, ඒ වෙලාවේ සිටින සේවකයින් යොදා ගනිමින් අතින් සෝදා ගැනෙනවා.

අඩු උෂ්ණත්ව ජීවාණුහාරක - විෂබීජහරණය කිරීමට අවශ්‍ය උපකරණ වැඩි උෂ්ණත්වයන්ට ඔරොත්තු නොදෙන අවස්ථාවල, අධි උෂ්ණත්වය සහිත සම්පීඩිත හුමාලය මගින් හානි සිදුවිය හැකි තත්වයන් තුළ මේවා යොදා ගැනෙනවා . අඩු උෂ්ණත්ව ජීවාණුහරණය සඳහා මේ වන විට වෙළඳ පොළේ භාවිත වන ක්‍රමවේද 3ක් තියෙනවා. එයින් වඩාත් ම නවීන සහ උසස් ක්‍රමවේදය වන්නේ අඩු උෂ්ණත්ව ප්ලාස්මා ජීවාණුහාරකයයි. එහි ජීවාණුහරණ ක්‍රියාවලිය සඳහා 59% හුමාලය බවට පත් කළ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණය සහ 50˚C - 55˚C අතර ජීවාණුහරණ උෂ්ණත්ව යොදා ගැනෙනවා.

අතිධ්වනික (අල්ට්‍රාසොනික්) ශෝධකඅතිධ්වනික ප්‍රතිවර්ත්‍ය චූෂණය (ultrasound reverse suction) පිළිබඳ මූලධර්මය යොදා ගනිමින්, උපකරණයේ ඇතුළු පැත්තෙන්, කෙටි කාලයක් තුළ අපද්‍රව්‍ය ඉවත් කරන අතර, ප්‍රමිතියට අනුව ඒවා පිරිසිදු කොට ඉන් පසු සිදු කෙරෙන විෂබීජනාශන ක්‍රියාවලියේ විශ්වසනීය බව සහතික කරනවා.

 
 
surgical instruments

උපකරණ වර්ගය සහ එය සාදා ඇති ද්‍රව්‍යයට අනුව, ඒවා ජීවාණුහරණය කිරීමේ සම්මත ප්‍රමිතීන් තියෙනවා (P3)

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය

ජාත්‍යන්තර සහතික ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසා, ශ්‍රී ලංකාවේ සියලු පෞද්ගලික රෝහල්, ඇතැම්විට සේදීම් විෂබීජනාශක හෝ අඩු උෂ්ණත්ව ජීවාණුහාරක වැනි වඩාත් උසස් තත්වයේ ජීවාණුහරණ උපකරණ නොමැති වුවත්, නිවැරදි CSSD පද්ධති යොදා ගෙන තියෙනවා.

එහෙත්, රාජ්‍ය අංශයේ බොහෝ රෝහල්වල ඇත්තේ තනි දොරක් සහිත හුමාල ජීවාණුහාරක ප්‍රදේශ වන අතර, ඒවා සඳහා නිවැරදි විෂබීජනාශක විධික්‍රම, ජීවාණුහරණය පිළිබඳ හෝ පිරිසිදු කිරීම පිළිබඳ උපදෙස් මාලාවක් නැති නිසා, කල් ගත වීමේදී ශල්‍ය උපකරණ වලට හානි සිදු වෙනවා. තවද, මෙම යන්ත්‍රසූත්‍රවල ක්‍රියාකාරිත්වය මැන බැලීමේ පරාමිතීන් හෝ මෙවලම්වල ජීවාණුහරිත මට්ටම දැන ගැනීමේ ක්‍රමයක් නැහැ.

මෙවැනි වඩාත් උසස් තත්වයේ ජීවාණුහරණ ක්‍රමවේද භාවිතයට ගැනීම සහ ජාත්‍යන්තර මට්ටමේ CSSD ප්‍රමිතීන්ට අනුකූල වීම සම්බන්ධයෙන් ඇති මූලික බාධකය වන්නේ ඒවායේ මිල සහ පුහුණුව පිළිබඳ තත්වයනුයි. මෙම යන්ත්‍ර මිලදී ගැනීම සඳහා මුදල්සොයා ගත්තත්, ඒවා යම් නිශ්චිත කාලයක් පුරා හොඳින් ක්‍රියා කිරීම සඳහා, ඒවායේ භාවිතය, අධීක්ෂණය සහ නඩත්තුව සඳහා සේවකයින් පුහුණු කළ යුතුයි.

 
 
thermometer

දීර්ඝ කාලීනව වියදම අඩු කර ගැනීම සඳහා වඩාත්ම උචිත භාවිතයන් යොදා ගන්න රෝහල්වලට සිදු වෙනවා (P4)

සාරාංශය

බොහෝ රෝහල්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී හැර සිය උපකරණ , ක්‍රමවේද හෝ ප්‍රශස්ත භාවිතයන් උත්ශ්‍රේණි (upgrade) නොකරන අතර, නව තාක්ෂණය යොදාගැනීමේදී කිසි විටකත් පුරෝගාමීත්වය නොගන්නා තරම් නිසා මේවායේ වර්ධනය සිදු වෙන්නේ ඉතා හෙමින්.

ඉතාම ඉහළ ගණයේ සෞඛ්‍ය පහසුකම් සහිත තැනක් හැටියට ශ්‍රී ලංකාව සැලකීම සඳහා තවත් බොහෝ දුර යන්න වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට ඇති එකම මාර්ගය වන්නේ රෝගීන් සහ පාරිභෝගිකයින් මූලික අවශ්‍යතාවයක් ලෙස වඩාත් හොඳ උපකරණ ලබා දෙන මෙන් සිය සෞඛ්‍ය සේවා සැපයුම්කරුවන්ට බල කර සිටීමයි.

   

References

මූලාශ්‍ර:

  1. Cdc.gov. HAI Data | CDC. [online]

රූප අයිතිය:

P1. Danai via Freepik

P2. Nensuria via Freepik

P3. Harraez via Freepik

P4. xb100 via Freepik

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.