සමාජ ව්‍යවසායකත්වය යනු
එරන්ද ගිනිගේ විසින් රචිත ‘සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග’ යන කෘතියේදී සමාජ ව්‍යවසායකත්වය නිර්වචනය කර තිබෙන්නේ “සමාජයේ හෝ පරිසරයේ පවතින යම් නිශ්චිත ගැටළුවකට ව්‍යවසායී විසඳුමක් ලබා දීම” (1) හැටියටයි. මේ අනුව ගත් විට සමාජ ව්‍යවසායයක මූලික අරමුණ සමාජයේ හෝ පරිසරයේ ඇති ගැටළුවක් විසඳීමට දායක වීම මිස හුදෙක් ලාභ ඉපයීම පමණක් නෙමෙයි. සමාජ ව්‍යවසායයක් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ලාභය පදනම් වුණු ව්‍යාපාරික ආකෘතියක් යොදා ගන්නා නිසා සමාජයට හානිකර නොවන අයුරින් කිසියම් ලාභයක් ඉපයීමත් එහිදී සිදු කෙරෙනවා.
උදාහරණයක් විදිහට ඔබ ජීවත් වන ප්‍රදේශයේ කිසියම් සමාජයීය හෝ පාරිසරික ගැටළුවක් සිහියට නගා ගන්න. මෙය ජල ප්‍රශ්නයක්, වසංගත රෝගයක් වැනි දෙයක් හෝ මිනිසුන්ට හෝ සමාජයට හෝ බලපාන වෙනත් ඕනෑම ගැටළුවක් වෙන්න පුළුවන්. මෙවැනි ගැටළුවක් හෝ කිහිපයක් හඳුනාගෙන ඒවාට විසඳුම් සොයන අතරේ ලාභයක් ඉපයීම අරමුණු කරගත් ව්‍යවසායයක් අපට සමාජ ව්‍යවසායයක් හැටියට සරලව හඳුන්වන්න පුළුවන්. මේ කාරණය වඩා හොඳින් වටහා ගන්න නම් ‘සමාජ ව්‍යවසායයන්’ සහ සාම්ප්‍රදායික අර්ථයෙන් ‘ව්‍යාපාර’ ලෙස හඳුන්වන්න පුරුදු වෙලා තිබෙන දේ අතර ඇති වෙනස වටහා ගන්න සිදු වෙනවා.
සාම්ප්‍රදායික ව්‍යාපාර නිතර සිදු කරන්නේ තම මෙහෙයුම් නිසා සිදු වන සමාජ-පාරිසරික බලපෑම සැලකිල්ලට ගැනීමකින් තොරව හුදෙක් තමන් සඳහා පමණක් වටිනාකම් බිහිකර ගැනීමයි. (P2)
සාම්ප්‍රදායික ‘ව්‍යාපාර’ සහ ‘සමාජ ව්‍යවසායයන්’
අප දන්නා සාම්ප්‍රදායික ව්‍යාපාර ආකෘතිය මුල් කර ගනිමින් කිසියම් ව්‍යාපාරික මෙහෙයුමක් සිදු කිරීමේදී එයින් සමාජයටත්, පොදුවේ අප ජීවත් වන පරිසරයටත් හානියක් සිදු වනවාද නැද්ද යන්නට වඩා වැදගත් වන්නේ කෙසේ හෝ හැකිතාක් ලාභ ඉපයීමයි. මේ නිසාම ‘ව්‍යාපාර’ කී සැණින්ම බොහෝ දෙනාගේ සිතට එන්නේ ධනාත්මක ආකල්පයකුත් නෙමෙයි. මේ නිසා ඒවායින් සමාජයටත් පරිසරයටත් සිදු වන අහිතකර බලපෑම් ගැන ඇස යොමු වන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී මෙම බලපෑම මිනුම්ගත කරන්නට අපහසු වුවත් එය සුළු කොට තැකිය යුත්තක් නෙමෙයි.
එකී අහිතකර බලපෑම මෙතෙකැයි මිනුම්ගත කර දක්වන්නට ඇති අපහසුව ප්‍රධාන වශයෙන්ම ඉස්මතු වන කාරණයක් වශයෙන් සාමාන්‍යයෙන් ව්‍යාපාරික සමාගම් තමන්ගේ ව්‍යාපෘති ඇගයීම සඳහා යොදා ගන්නා ප්‍රමාණකරණ විධික්රම හා සම්මත තක්සේරුකරණ ක්‍රමවේද ආදිය දක්වන්න පුළුවන්.
ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් පවා තම සමාජ හා පාරිසරික හානි වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර ගනු වෙනුවට හුදෙක් ලාභය මතම පමණක් රඳා සිටීම ගැන නිතර චෝදනා ලබා තිබීම ප්‍රකට කරුණක්. මහා පරිමාණ ‘ව්‍යාපාර’ කී සැණින් ඍණාත්මක අාකල්පයක් ඇති වීමට බලපෑ ඇති එක් හේතුවක් වන්නේද මෙයයි.
සමාජ ව්‍යවසායයන් මීට හාත්පසින්ම වෙනස්. මෙහිදී ලබා දෙන සේවා හා නිපැයුම් සහ අදාළ මෙහෙයුම් ක්‍රියාවලීන්හි බලපෑම තක්සේරු කිරීමක් සිදු වන අතරම වඩා සාර්ථක හා ලාභදායී ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගත හැකි ආකාර හඳුනා ගනිමින් හානිකර බලෑම් අවම කිරීම වෙත අවධානය යොමු කෙරෙනවා. කිසිම ලාභයක් නූපදවන, අරමුදල් මතම යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ආදියට වඩා සමාජ ව්‍යවසායයන්හි පැවැත්ම තිරසාර බව කියන්න පුළුවන්.
ව්‍යාපාරික සමාගම් තිරසාරතාව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. (P3)
'ත්‍රිත්ව මිනුම් දඬු' (triple bottom line) සංකල්පය
ප්‍රකට සමාජ ව්‍යවසායකයෙකු මෙන්ම ගත් කතුවරයෙකුද වන ජෝන් එල්කිංටන් විසින් හඳුන්වා දෙන ලද ‘ත්‍රිත්ව මිනුම් දඬු’ (the triple bottom line) සංකල්පය මේ කරණය වඩා හොඳින් පැහැදිලි කරන්නක්. අනාගත ලෝකය උදෙසා සූදානම් වීමේදී ව්‍යාපාරික සමාගම් තල තුනක මිනුම් දඬු යොදාගෙන ඒවායෙහි සාර්ථකත්වය ඇගයීම සිදු කිරීම වැදගත් බව ඔහු පෙන්වා දෙනවා. මෙම මිනුම් දඬු තුන වන්නේ: 01). ලාභය හෝ අලාභය, 02). ‘පුද්ගල සාධකය’ (people account) නොහොත් සමාජයට සිදු වන්නේ කවර බලපෑමක්ද යන්න සහ 03). පරිසරයට සිදු වන බලපෑම (planet account) යන ඒවායි. “සමාජයීය හා පාරිසරික වශයෙන් වගකීම්සහගත සමාගම් සංස්කෘතියක් අපට බිහිකර ගත හැක්කේ ව්‍යාපාරික සමාගම් තම සමාජ හා පාරිසරික බලපෑම මිනුම්ගත කරන තත්ත්වයක් තුළ පමණයි”.(2) මෙබඳු ව්‍යාපාරික සංස්කෘතියක් පෝෂණය කරගත් විට ලැබෙන වාසිය තමයි ව්‍යාපාරික සමාගම් තමන්ගේ මෙහෙයුම් අතරතුරදී සමාජයේ සහ පරිසරයේ යහපැවැත්ම උදෙසා දක්වන දායකත්වය, ඒවායෙහි සාර්ථකත්වය හා තිරසාර පැවැත්ම තීරණය කරන සාධකයක් බවට වක්‍රාකාරයෙන් පත් වීමයි.
මෙහිදී මතු වන දැවැන්ත අභියෝගයක් තමයි මේ මිනුම් දඬ තුනම එකම ව්‍යාපාරික රාමුවක් තුළට ඈඳා ගැනීම. මෙහිදී අප විසින් පිළිතුරු සොයන්නට සිදු වන වැදගත් ප්‍රශ්නයක් වන්නේ ‘අපේක්ෂිත ලාභ මට්ටමක් ලබාගන්නා අතරම සමාජ හා පාරිසරික යහපත වෙනුවෙන් අවංක දායකත්වයක් දැක්වීම වෙත අවධාරණයක් ලබා දෙන්නේ කොහොමද?’ යන්නයි.
මෙම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබා දෙන අති පහසු ව්‍යාපාරික ආකෘතියක් බිහිකරගත හැකි ආකාරයක් නොපැවතීම කණගාටුවට කරුණක්. එහෙත් තමන්ටම ආවේණික ව්‍යාපාරික සන්දර්භ හා නිශ්චිත අභියෝග ආමන්ත්‍රණය කරන පුරෝගාමී, එමෙන්ම නවෝත්පාදනාත්මක විසඳුම් සොයා යන සමාගම් කෙරෙන් පාඩම් රැසක් ඉගෙනගන්න පුළුවන්. සමාජයටත් පරිසරයටත් අදාළ වන ගැටළු සංඛ්‍යාව දින දින වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැති නිසා සමාජ ව්‍යවසායික අවස්ථා හිඟයක් ඇත් වන්නේ නම් නැහැ.
තම ව්‍යාපෘති අතරවාරයේදී උපරිම වටිනාකමක් සමාජයට හා පරිසරයට එකතු කිරීමට නම් ව්‍යාපාරික සමාගම් තමන් ගනුදෙනු කරන ප්‍රජාවන් සමග සමීපව කටයුතු කළ යුතුයි. (P4)
ආයතනික සමාජ මෙහෙවර ව්‍යාපෘතීන්හි විකාසනය
ඔබ දැනටමත් ‘ආයතනික සමාජ වගකීම්’ වැඩසටහන් යන්න අසා තිබෙනවාට සැකයක් නෑ. ගත වූ දශකයක කාලය පුරාවට දේශීය ව්‍යාපාරික කරළිය තුළ ආයතනික සමාජ මෙහෙවර වැඩසටහන් නැතිනම් CSR අතිශයින්ම ජනප්‍රිය වුණ අතරම තමන්ගේ ව්‍යාපාරික සන්නාමය හා නිෂ්පාදන කළඹ ප්‍රවර්ධනය කරගැනීම ඒවායෙහි මූලික අරමුණ ලෙස දකින්න පුළුවන්. දළ වශයෙන් ශ්‍රී ලාංකික ව්‍යාපාර මේ සඳහා වසරකට රුපියල් බිලියන 4 කට අධික මුදලක් වැය කරනවා.(3) මේ අතරින්ද අති බහුතරය සිදු කරන්නේ ආපදා කාල තෝරාගෙන අදාළ සහාය ලබා දීමයි. මෙය වැදගත් කරුණක් තමයි. එහෙත්, එවැනි ප්රයත්නයන්හි තිරසාරතාව ගැන වඩා සමීපව සිතා බැලීම අතිශයින් වැදගත්. තමන් උපකාර කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීම තුළින් තමන් වියදම් කරන මුදල හරහා වැඩි වටිනාකමක් නිර්මාණය කරන්නත්, වඩා තිරසාර හා ස්ථිර ලෙස මිනිස්සුන්ට උදවු කරන්නත් හැකි වෙනවා. මේ සඳහා විවිධ සමාගම්වලට කරන්න පුළුවන් දේවල් ගැන වැඩිදුර තොරතුරු අප විසින් පළ කළ ‘සමාජ වගකීම වෙනුවෙන් කැපවුණ සමාගමක්’ යන ලිපියෙන් කියවන්න පුළුවන්.
සාර්ථකත්වය තක්සේරු කරන ආකාරය යළි සකසා ගැනීම ව්‍යාපාරවලට වැදගත් (P5)
සාරාංශය
සමාජ ව්‍යාවසායකත්වය වඩා තාර්කික ව්‍යාපාරික ආකෘතියක් සේ පෙනුණනත් ජයගත යුතු අභියෝගය වන්නේ විවිධ ව්‍යාපාරික ආකෘතිවල ද්විතීයික සමාජ පාරිසරික බලපෑම් නිශ්චිත ලෙස මිනුම්ගත කළ හැකි ආකාර වැඩිදියුණු කිරීමයි. මේ අතරම, සමාජයේ සහ පරිසරයේ යහපැවැත්ම අවධාරණය කරන ව්‍යාපාරික පරිසරයක්/සංස්කෘතියක් ප්‍රවර්ධනය කරගැනීමේ කාලීන වටිනාකම පිළිබඳ කතිකාවක් පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමත් අතිශයින් වැදගත්. Inside Access අප ඉදිරියේදීත් මීඨ අදාළ විවිධ පැති සම්බන්ධ ලිපි පළ කරන්න අදහස් කරනවා.