access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

‘Post-Tensioning’ ක්‍රමයට වැරගැන්නූ තිරසාර ගොඩනැගිලි සැලසුම් සහ ඵලදායී නවෝත්පාදනය

 

Access Tower 2 යනු කොළඹ පිහිටි ප්‍රමුඛතම කාර්යාල අවකාශ සහිත ගොඩනැගිල්ලකි. (P1)

මෙම ලිපිය මුල් වරට Access Engineering බ්ලොග් අඩවියේ පළ වූවකි.

 

හැඳින්වීම

විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ඉඩම් මිල ඉහළ යාම සමග උද්ගත වූ අවශ්‍යතාවක් වන්නේ සැලසුම් නිර්මාණකරුවන් උසින් වැඩි ගොඩනැගිලි සඳහා යොමු වීමයි. එක් එක් මහලේ ඇති භූමි ප්‍රමාණය උපරිම මට්ටමකට පත් කිරීම සඳහා සිරස් භාරයන් (vertical load) දරා සිටින අංගෝපාංග (කුළුණු, පාර්ශ්වික බල දරාගන්නා බිත්ති - shear walls, ආදිය) හැකි පමණ අවම කිරීමට සිදු වෙනවා. ගෘහනිර්මාණ ශිල්පින් විසින් මෙම සංකල්පය බොහෝ විට භාවිතා කරනු ලබන්නේ විශේෂයෙන‍්ම රථ ගාල්වල මූලික පිවිසුම් වේදිකාව වැනි මට්ටමක් දක්වා හෝ කාර්යාල සහ මිශ්‍ර අවශ්‍යතා සහිත ගොඩනැගීම් වල මුළු ගොඩනැගිල්ල පුරාම යනාදී වශයෙනුයි. කුළුණු රහිත අවකාශ මගින්, ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ට තමන්ට කැමති ආකාරයට එම හිස්ව පවතින අවකාශය පාවිච්චි කිරීමට ඉඩ සලසමින්, ලෙහෙසියෙන් කාමර වෙන් කිරීම් සිදු කිරීමටත් HVAC සහ විද්‍යුත් පද්ධති ස්ථාපිත කිරීමටත් අවස්ථාව සැලසුවා. මින් පෙර ලද අත්දැකීම් සහ පර්යේෂණ දත්ත අනුව, වැරගැන්නූ කොන්ක්‍රීට් (Reinforced Cement Concrete – RCC) ව්‍යුහ සහිත කුළුණු අතර උපරිම පරතරය 7.5m – 8m වන බව දක්නට ලැබුණා. පශ්චාත් ආතතිකරණය (Post Tensioning - PT) මගින් කුළුණු අතර උපරිම පරතරය වඩාත් ඵලදායී සහ සකසුරුවම් ලෙස වැඩි කරන්න පුළුවන්.

බොහෝ අයට හුරු පදයක් නිසා මින් ඉදිරියට අප ‘post-tension’ යන්න එලෙසම යොදාගන්නේ මෙවැනි තාක්ෂණික පදගැන යම් හුරුවකින් සිටින අයගේ පහසුවටයි. Post-tensioned පද්ධති, කොන්ක්‍රීට්වල සම්පීඩක ශක්තිය (compressive strength) වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමෙන් හා එය මත යෙදෙන ආතතිය ඉවත් කිරීමෙන් කොන්ක්‍රීට්වල ශක්තිය වැඩි කිරීමේ මගක් උදා කරනවා. සැලසුම් නිර්මාණකරුවාගේ දෘෂ්ටිකෝණයෙන් බලද්දී RCC සහ PT ව්‍යුහ අතර ප්‍රධානම වෙනස වන්නේ ගොඩනැගිල්ලේ මුළු බර සහ මූලික ගෘහ භාණ්ඩ, සවිකිරීම්, සහ සේවා භාරයන් (service loads), දරා ගනිමින්, ගොඩනැගිල්ලක බර දරා ගැනීමේ ප්‍රමිතියට ළඟා වීම සඳහා ඇදීමට පෙර කම්බි ආතතියට ලක් කිරීමයි. පිටස්තර බර පැටවීම් නිසා හටගන්නා ආතති පීඩනයට මුහුණ දීම සඳහා කොන්ක්‍රීට් තට්ටුවට හෝ බාල්කයට පූර්ව සම්පීඩනය (pre-compression) යොදනවා.

 
 
Access Tower 2 lobby

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාර රැසක කාර්යාල මෙහි තිබෙනවා. (P2)

Access Tower II අත්දැකීම

Access Tower II යනු ප්‍රවේශ ශාලාවක්ද සහිත ජනප්‍රිය කාර්යාල ගොඩනැගිල්ලක්. එහි රථ ගාල තට්ටු 7ක් පුරා පවතින අතර, ගොඩනැගිල්ලේ උඩම පිහිටි තට්ටු 3 හි ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, උත්සව ශාලාවක්, සාමාජික විවේකාගාරයක්, භෝජනාගාරයක් සහ rooftop bar එකක් යන අංග වලින් සමන්විත වන අතරම Access lifestyle center එක තිබෙන්නේද මෙහියි. තියෙනවා. මුල සිටම ගොඩනැගිල්ල සඳහා post-tensioned පද්ධතියක් සවි කිරීමේ වටිනාකම හඳුනාගෙන තිබුණා. මුල් ව්‍යුහාත්මක සැලැස්ම සැකසීම සඳහා අදහස් මතු කරගැනීමේ සාකච්ඡාවලදී ගෘහනිර්මාණ ශිල්පීන් සහ ව්‍යුහාත්මක ඉංජිනේරුවන් මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වුණේ බෑවුම් මාර්ග ව්‍යුහය (ramp structure) ඵලදායී ලෙස හදන්නේ කොහොමද කියන එකයි. එක් යෝජනාවක් වුණේ බෑවුම් මාර්ග ව්‍යුහය ගොඩනැගිල්ලෙන් පිටතට ගෙන ගොස් රථ නැවැත්විය හැකි ප්‍රදේශය උපරිම කිරීමයි. කෙසේ වුවත් එසේ කිරීමට, දැනට පවතින යටි බිම් මහල යටින් අමතර කුළුණු (piles) ගොඩනැගීමට සිදුවන අතර, එ් සඳහා මුදල් වැය වනවාට අමතරව දැනට පවතින Access Tower I ගොඩනැගිල්ලේ බෑවුම් මාර්ගය ඉවත් කිරීමටත් සිදු වෙනවා. මෙය සැලකිල්ලට ගනිමින් අවසානයේ විකල්පයක් තෝරාගැනුණා. Access Tower I ගොඩනැගිල්ලේ දැනට ඇති යටි බිම් මහලට කිසිදු වෙනසක් නොකර post-tensioned පද්ධතියක් ගොඩනැගීම එම යෝජනාවට ඇතුළත් වුණා. කැන්ටිලීවර (cantilevered) ප්‍රදේශය පටන් ගන්නා තැන පශ්චාත් ගැඹුර උපරිමයෙන් භාවිතා කිරීම මගින්, බෑවුම් මාර්ගයේ පාචිච්චි කරන කොටසේ උපරිම පැහැදිලි උස ලබා ගැනීමට හැකි වුණා. දැනට පවතින Tower I ගොඩනැගිල්ලේ යටි බිම් මහල සහ බෑවුම් මාර්ගය සඳහා අවශ්‍ය විය හැකිව තිබුණු කඩා ඉවත් කිරීම සහ නැවත ගොඩනැගීම වළක්වා ගනිමින් විශාල මුදලක් මෙමගින් ඉතිරි කරගන්නට  Access  සමාගමට හැකි වුණා.

 
 
Post Tension Ceiling

මහල්වලට බර දරාගැනීමේ ශක්තිය වැඩි කිරීම සඳහා කොන්ක්‍රීට් ස්ලැබ් ඇතුළත ලෝහ කණු බස්සවා tension කර තිබෙනවා. (P3)

Post-tensioned පද්ධතියක් ස්ථාපිත කිරීම

කාර්යාලයේ බිම් සැකසුම සැලකිල්ලට ගනිමින්, ගොඩනැගිල්ලේ ආකෘතික සහ ගෘහනිර්මාණ ලක්ෂණවලට අනුකූලව කුළුණු අතර දුර 10.5m x 11.5m වන ප්‍රධාන ජාලකයක් (grid) භාවිත කිරීමට අවසානයේ තීරණය වුණා. එහි ප්‍රතිඵලය වූයේ ගොඩනැගිල්ලේ “L හැඩැති” සැලැස්මේ එක් පැත්තක වූ එකම කේන්ද්‍රීය කුළුණක් හැරුණු කොට ලැබුණු දැවැන්ත හා විවෘත භූමි ප්‍රමාණයක්. ප්‍රධාන වශයෙන් ගෘහනිර්මාණ ශිල්පීන්, ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සහ අධීක්ෂණ (M&E) ඉංජිනේරුවන් යන පිරිස් සමග මූලික සාකච්ඡා සිදු කිරීම ඇත්තෙන්ම මෙතරම් පිරිවැය ඉතිරි කළ, ගොඩනැගිය හැකි සහ මනාව ක්‍රියාත්මක වන ව්‍යුහයක් ඉදිකිරීමේදී බෙහෙවින් උපකාරී වුණා.

සිරස් අංගෝපාංග අතර පැහැදිලි අන්තරය (clear span) වැඩි කිරීමට අමතරව, Tower II ව්‍යාපෘතිය සඳහා post-tensioned පද්ධතියක් භාවිත කිරීමේ වෙනත් වාසි ගණනාවක් තියෙනවා. ඒවා මෙසේයි:

  1. තුනී කොන්ක්‍රීට් තට්ටු සහ බාල්ක.

  2. වඩාත් සැහැල්ලු ව්‍යුහයකින් අඩිතාලම මතට පැටවෙන මූලික බර අඩු වන අතර, අවශ්‍ය කුළුණු ගණන අඩු වුණා.

  3. වේගවත් ඉදිකිරීම. Tower II ව්‍යාපෘතියේදී එක් එක් මහල සඳහා අවශ්‍ය සාමාන්‍ය වැඩ චක්‍රය දින 6ක් දක්වා අඩු වුණා.

  4. ජල මුද්‍රාව (water seal) දියුණු වීම.

  5. මහල්වල උස අඩු වීම නිසා ගොඩනැගිල්ලේ උස අඩු වී එකම ගොඩනැගිලි අවකාශයක් තුළ වැඩි මහල් සංඛ්‍යාවක් ඉදිකිරීමේ හැකියාව මෙමගින් ලැබුණා.

මහලින් මහලට ඇති උස අඩු වූ විට, ගොඩනැගිල්ලේ වායුසමීකරණයට අවශ්‍ය කෙරෙන අවකාශයත් විශාල ලෙස අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස වඩාත් පරිසර හිතකාමී සැලසුමක් නිර්මාණය වෙනවා.

 
 
Access Tower 2 car park

රථගාල සහ කාර්යාලයීය මහල් තුළ විශාල විවෘත ඉඩකඩක් තිබෙනවා.(P4)

Post-tensioned සංකල්පය

Post-tensioned සැලසුම අනුව, 15.2 mm ශක්තියෙන් වැඩි කම්බි භාවිත කෙරුණා. පශ්චාත් ආතතිගත විශ්ලේෂණය සහ සැලසුම සිදු කිරීම සඳහා වැරගැන්නූ සහ පශ්චාත් ආතතිගත RAPT(Reinforced And Post Tensioned) මෘදුකාංග භාවිත කෙරුණා. කම්බි පැතිර තිබීම සහ එ්වා එකිනෙක අතර ඉඩ ඇති කිරීම පහසු කිරීමට, එක් නලයක් තුළ පොටවල් දෙකේ සිට පහ දක්වා ඇති කම්බි භාවිතා කෙරුණා. අජීව පොටවල් ඒකාබද්ධ කර පොළොවට යොමු කෙරුණ අතර, ජීවී පොටවල් ආතති ගැන්වීම සඳහා පාවිච්චි වුණා. හයිඩ්‍රොලික් ජැක් මගින් කම්බි වෙත එල්ල කෙරෙන පීඩනය රඳවා ගැනීමට ඇන්කර් තල (Anchor plates) සහ මුක්කු පාවිච්චි කෙරුණා. දවස් 3 ක් තිස්සේ පොටවල්වල ඉතිරි වී ඇති කොටස නිරීක්ෂණය කිරීමෙන් පසු, වැඩිපුර නෙරා ඇති කොටස කපා අයින් කර, කෙළවරවල පරිමාව වෙනස් නොවන නොඇළෙනසුලු ග්‍රවුට් යොදනු ලැබුවා. Post-tensioned නලවල ඇතුළත පිරවීම මගින්, ඒවා පසුව වඩාත් හොඳින් සවි වීමට සලස්වන්න පුළුවන්කමත් ලැබුණා.

Access Tower ගොඩනැගිල්ලේ PT සහ RCC පද්ධති සඳහා සාමාන්‍ය කාර්යාල පවතින මහලක මූලික අමුද්‍රව්‍ය භාවිතය පිළිබඳ සංසන්දනයක් මෙම වගුවෙන් පෙන්නුම් කෙරෙනවා.

අයිතමය

Post-tensioned ඉදිකිරීම

සාම්ප්‍රදායික RC ඉදිකිරීම

එක් එක් මහල සඳහා කොන්ක්‍රීට් ප්‍රමාණය

244 m3

355 m3

එක් එක් භූමි මහල සඳහා අවශ්‍ය වානේ ප්‍රමාණය

ටොන් 17.3

ටොන් 55

 

 

Access Tower 1 & 2

කොළඹ පිහිටි Access Tower 1 සහ 2 හි දසුනක්. (P5)

අනාගත සංවර්ධන කටයුතු සහ සාරාංශය

කොන්ක්‍රීට් ව්‍යුහවල දුර්වලතා නැති කරන නිසා, හරි තැන හරි ව්‍යුහාත්මක ස්වරූප යටතේ අදාළ ලෙස භාවිතයට ගත්තොත්, post-tensioned පද්ධතිවල වාසි බොහොමයක් තියෙනවා; ඒ එහි ආතන්‍ය ධාරිතාවයි (tensile carrying capacity). Post-tensioned තාක්ෂණය කියන්නේ ගොඩනැගිලි සඳහා පමණක් නෙවෙයි, පාලම් ව්‍යුහ ඉදිකිරීමේදීත් භාවිත වෙන්නක්. නවෝත්පාදනාත්මක සැලසුම් මගින් පශ්චාත් ආතතිගත ව්‍යුහ සිලින්ඩරාකාර ටැංකි සහ shell ව්‍යුහ වැනි වෙනත් සැලසුම් සඳහාත් යොදාගෙන තියෙනවා. Post-tensioned පද්ධති ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයෙන් පාවිච්චි කිරීමේදී සැලකිය යුතු වඩාත් වැදගත් දේ වන්නේ, පූර්ව සැලසුම්කරණය මගින් ඵලදායී භාවිතයකට මග පෑදෙන බවයි. Post-tensioned සැලසුම් නිර්මාණ යොදාගැනීම සලකා බලද්දී පූර්ව සැලසුම්කරණය යනු ඵලදායකත්වය හා කාර්යක්ෂමතාව ඉහළ නංවාගැනීමේ ප්‍රධාන සාධකය වෙන බවත් සිහිතබා ගැනීම වැදගත්.

   

References

රූප:

P1. Skyeye Pvt Ltd

P2. InsideAccess

P3. Skyeye Pvt Ltd

P4. Skyeye Pvt Ltd

P5. Skyeye Pvt Ltd

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.