access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

අයිසන්හවර් තීරණ ආකෘතිය

Purchasing Officer

JANITHA DANSTAN DE SILVA

Purchasing Officer

Access Engineering PLC

 

පිටතට යා හැකි මගක් පැහැදිලිව නොපෙනෙන ජාලයක අප සිර වී සිටින බව හැඟෙන අවස්ථා ජීවිතයේ නිතර උදා වෙනවා. (P1)

අයිසන්හවර් යනු 1953 සිට 1961 අතර කාලය තුළ ධූර කාල දෙකක් සැපිරූ එක්සත් ජනපදයේ 34 වන ජනපතිවරයායි. සිය ධූර කාලය තුළදී ඔහු විසින් ඉටු කළ කැපී පෙනෙන කාර්යයන් සමහරක් අතර එක්සත් ජනපදය තුළ අන්තර් ප්‍රාන්ත අධිවේදී මාර්ග පද්ධතිය දියුණු කිරීම, වැඩිදියුණු කළ තාක්ෂණික පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (DARPA) දියත් කිරීම , නාසා ආයතනය ක්‍රියාත්මක කිරීම, සහ සාමකාමී ලෙස විකල්ප බලශක්ති ප්‍රභවයන් යොදා ගැනීම (පරමාණුක බලශක්ති පනත) ආදිය සඳහන් කරන්න පුළුවන්.

අයිසන්හවර්ගේ ඵලදායී ප්‍රයත්නයන්හි ආනුභාවය හුදෙක් සති කිහිපයකට පමණක් නොව දශක ගණනාවක් පුරාවටම පැතිරීම විශේෂයක්. ඒ හේතුව නිසාම, ඔහු විසින් කාල කළමනාකරණය, කාර්ය කළමනාකරණය හා ඵලදායීතාව වෙනුවෙන් අනුගමනය කළ ක්‍රමවේද බොහෝ දෙනෙකු විසින් අධ්‍යයනය කිරීම පුදුමයක් නොවෙයි.

ඔහු අනුගමනය කළ ඉතාම ජනප්‍රිය ඵලදායිතා උපායමාර්ගය හඳුන්වන් ලුබන්නේ ‘අයිසන්හවර් ආකෘතිය’ (Eisenhower Matrix) ලෙස වන අතර මෙය ඔබටත් ඕනෑම මොහොතක් භාවිතයට ගන්න පුළුවන් සරල තීන්දු ගැනීමේ මෙවලමක් වීම විශේෂයක්.

ක්‍රියාමාර්ග ගැනීම සහ කාර්ය කළමනාකරණය වෙනුවෙන් ඔහු අනුගමනය කළ උපායමාර්ගය හරිම සරල එකක්. පහත දී ඇති ආකෘතිය අනුගමනය කරන ඔබටත් පුළුවන් ඔබ සතු භව්‍යතා මත පදනම්ව විවිධ කාර්යයන් වෙන්කර හඳුනාගන්න.

 

 

Eisenhower decision matrix

වැදගත් යැයි පෙනෙන කාර්යයන් හදිසි දේවල් ලෙස පෙනීමත්, හදිසි යැයි නිතර පෙනෙන දේවල් ඉතාම වැදගත් වීමත් කලාතුරකින් සිදු වන්නක්. (P2)

Q1 – හදිසි සහ වැදගත් (ඔබ ඉක්මනින්ම කළ යුතු කාර්යයන්)

මෙයින් අදහස් වන්නේ ඔබේ ඉක්මන් අවධානය යොමු විය යුතු කාර්යයන් සහ ජීවිතයේ දිගු කාලීන ඉලක්ක සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඔබ විසින් කළ යුතු දේවල්. විවිධ අර්බුද කළමනාකරණය, ගැටළු නිරාකරණය වගේම වැඩ අවසන් කළ යුතු දින ආදිය කළමනාකරණය කරගැනීම වැනි කාරණාත් ඊට ඇතුළත් වෙනවා.

උදාහරණයක්: රැකියා අවස්ථා සම්බන්ධ ඇතැම් විද්‍යුත් තැපැල් පණිවුඩ, නව ව්‍යාපාරික අවස්ථා, බදු ගෙවිය යුතු දින, ඔබේ බිරිඳ හදිසි සත්කාර ඒකකයකට ඇතුළත් කිරීම, මෝටර් රථයේ ඇංජිම ආශ්‍රිත ගැටළු, ගෙදරදොරේ ප්‍රශ්න, බරපතල සෞඛ්‍ය ප්‍රශ්න ආදිය මීට උදාහරණ වශයෙන් පෙන්වන්න පුළුවන්.

මනා සැලසුම්කරණය හා සංවිධානය කරගැනීම වැනි ක්‍රම අනුගමනය කළහොත් මෙවැනි කාර්යයන් රැසක්ම වඩා ඵලදායීව කරගන්න විතරක් නෙමෙයි සමහර කාර්යයන් මගහරවා ගන්නත් හැකි වෙනවා. නිදසුනක් වශයෙන්, ඔබේ නිවසේ කොටසක් එකපාරම කඩා වැටෙන තුරු බලා සිට අළුත්වැඩියා කාර්යයන්ට සිත වෙහෙසවනවා වෙනුවට ඔබට පුළුවන් ක්‍රමානුකූලව නිරන්තර නඩත්තු කටයුතු සිදු කිරීමෙන් එවැනි තත්ත්ව උදා වීමට ඇති ඉඩ වැළැක්වීමට.

 

 

Playing chess

ඔබට වැදගත් වන්නේ කවර කාර්යයන්ද යන්න තේරුම් ගැනීමෙන් ඔබේ ජීවන ඉලක්ක සාක්ෂාත් කරගැනීම උදෙසා වඩා අවධානයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් (P3)

Q2 – වැදගත් නමුත් අතිශය හදිසියෙන් ඉටු කිරීම අවශ්‍ය නොවන කාර්යයන් (පසුව කිරීමට කල් දැමිය හැකි කාර්යයන්)

හදිසි අවසන් කළ යුතු දින නොමැති වුණත් පුද්ගලයෙකු වශයෙන් ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉඩ සලසන, ඉටු කළ යුතු වැදගත් පුද්ගලික කාර්යයන් මේ යටතට වැටෙනවා.

සාමාන්‍යයෙන් පුද්ගල සබඳතා සවිමත් කරගැනීම හා ඔබේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් සකස් කරගැනීම වැනි කාර්යයන් මින් අදහස් වෙනවා. දිගු කාලයක් පුරාවට අපට සතුට, සාර්ථකත්වය පවත්වා ගැනීමට මග විවර වන්නේ මෙවැනි කාර්යයන් ඉටුකර ගැනීමෙන් වන නිසා මෙවන් කාර්යයන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට අප නිතර පෙළඹිය යුතු වෙනවා. එහෙත් නිතර සිදු වන දෙයක් තමයි “වඩා වැදගත් කාර්යයන් ඉටු කිරීමෙන් පසුව මේ කාර්යය කරනවා” යන අදහස අප සිත් තුළටම ඇතුළු කරගනිමින් නිතරම පාහේ මෙම කාර්යයන් කල්දැමීමයි. එහෙත් ඒ ‘අනාගත දිනය’ නම් උදා වන්නේම නැති තරම්.

උදාහරණයක්: දිගු කාලීන සැලසුම්කරණය, ශාරීරික අභ්‍යාස කිරීම, පවුලේ සාමාජිකයන් සමග කාලය ගෙවීම, ජීවිතයට සාරවත් අදහස් එක් කරන පොත් කියවීම, සඟරා කියවීම, යම් නිපුණතාවක් වැඩිදියුණු කරගැනීම උදෙසා පන්තියකට සහභාගී වීම, ප්‍රතිඵලදායී විනෝදාංශයක නියැළීම, ඉගෙනගැනීම, භාවනා කිරීම ආදී කාර්යයන්.

 

 

working around the clock

ඔබට වැදගත් කාර්යයන් වගේම අනෙක් පුද්ගලයන්ට වැදගත් කාර්යයන්ද වෙන්කර හඳුනා ගැනීමට වැදගත්. (P4)

Q3 – හදිසියෙන් ඉටු කළ යුතු නමුත් වැදගත් නොවන කාර්යයන් (වෙනත් අයෙකුට පැවරිය හැකි කාර්යයන්)

ඔබ විසින් අවධානය යොමු කළ යුතු වුණත් ඔබේ පුද්ගල ඉලක්ක හෝ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍යයෙන්ම උපකාරී නොවන කාර්යයන් මෙයින් අදහස් වෙනවා. බොහෝ විට මේ යටතට වැටෙන්නේ වෙනත් පුද්ගලයන් අතින් ඔබ මත පැටවෙන, ඒ වගේම ඔවුන්ගේ ප්‍රමුඛතා සහ න්‍යායපත්‍ර ඉටුකර ගැනීමට උපකාරී වන දේවල්.

උදාහරණයක්: ඔබ අතිශයින්ම කාර්යබහුල වෙලාවක උදවුවක් ඉල්ලාගෙන ඔබේ මේසය වෙතට එන රාජකාරී මිතුරෙකු, තමන් වෙනුවෙන් නිර්දේශ ලිපියක් ලියන්නැයි ඔබෙන් එල්ලන හිටපු සේවකයෙක්.

බොහෝ අය නිතරම කරන දෙයක් තමයි ඉහත Q1 යටතේ සඳහන් කෙරුණු පන්නයේ වැදගත් හා හදිසි කාර්යයන් ඉටු කරන්නේ යැයි සිතමින් මෙවැනි කාර්යයන් ඉටු කිරීමට කාලය වෙන් කිරීමයි. වෙනත් අයට උපකාරයක් කළ හැකි නිසා මෙවැනි කාර්යයන් වුණත් ඇත්තටම වැදගත් බව අපට ඒත්තු ගැන්වෙනවා වගේම කිසියම් සතුටක සේයාවක්ද අප සිත් තුළ දනවනවා. එහෙත් ඇත්ත කාරණය නම් මෙවැනි කාර්යයන් වෙනත් අයට වැදගත් වුණත් ඔබට ඇත්තටම වැදගත් දේවල් නොවීම. මේ නිසා, මෙවැනි කාර්යයන් ඔබට හදිසි නොවන එහෙත් වැදගත් වන Q2 වර්ගයේ කාර්යයන් සමග සමබරව ඉටු කිරීම ඔබ කළ යුත්තක්.

 

 

vanishing time

විවිධ කාර්යයන් ඉටු කිරීමේදී අති විශාල කාලයක් නාස්ති වෙන බවත් ඔබ දන්නවාද? ඔබට වැදගත් හදිසි කාර්යයන් සහ අනෙක් අයගේ කාර්යයන් වෙනම ඉටු කිරීමට යාමේදී මේ කාලය නාස්ති වෙනවා. (P5)

Q4  හදිසි හෝ වැදගත් නොවන කාර්යයන් (මගහැරිය හැකි කාර්යයන්)

හදිසියෙන් ඉටු කළ යුතු නොවන වගේම වැදගත් නොවන කාර්යයන් මින් අදහස් වෙනවා. මෙම කාර්යයන් ඉටු ිරීමෙන් ඔබේ ජීවන සාර්ථකත්වයට වැදගත් දිගු කාලීන ඉලක්ක සාධනයක් සිදු වන්නේත් නැති නිසා මේවා ඉටු කිරීමට හදිසි වීම අවශ්‍ය නෑ. ප්‍රධාන වශයෙන්ම වෙනත් වැදගත් හා හදිසි වැඩ පසෙකට දමන්නට හේතු වන්නේ මෙවැනි කාර්යයන්.

උදා: රූපවාහිනිය නැරඹීම, වීඩියෝ ක්‍රීඩාවල නියැළීම, සමාජ මාධ්‍යවල කල් හැරීම ආදිය.

අයිසන්හවර් ආකෘතිය විවිධ කාර්යයන් කළමනාකරණය කරගන්නට ඇති හොඳම විකල්පය නොවෙන්න පුළුවන්. එහෙත් ප්‍රයෝජනවත් තීන්දු ගැනීමේ මෙවලමක් වශයෙන් එය වැදගත්. Q2 කාණ්ඩයේ කාර්යයන් සැලසුම් කිරීම හා සංවිධානය වෙනුවෙන් කාලය ආයෝජනය කිරීම තුළින් ඔබටත් පුළුවන් ඉහත Q1 යටතේ දැක්වුණු අර්බුද හා ගැටළු මගහරවා ගන්නට වගේම Q3 කාර්යයන් සඳහා ලැබෙන ඉල්ලීම් සමබරව පවත්වා ගැනීමට සහ Q4 කාර්යයන් අතර විවිධ වැඩ මගහරවා ගැනීමට. එසේම Q2 කාර්යයන්ට ප්‍රමුඛත්වය ලබා දීම තුළින් ධනාත්මක ලෙස ප්‍රතිචාරාත්මක වෙමින් කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය මානසික, භාවමය හා ශාරීරික යහපැවැත්ම ලබාගන්නට ඔබට පුළුවන්.

ඔබේ ප්‍රධාන කාර්යයන් පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට වැදගත් වන අයිසන්හවර් ආකෘතියට අදාළ වැඩ පත්‍රය මෙතනින් භාගත කරගන්න.

 

 

   

References

පින්තූර:

P1. Zasabe via freepik

P2. Inside Access

P3. rawpixel.com via freepik

P4. user6969751 via freepik

P5. irinacliva via freepik

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.