access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

සෑම විටම කළමනාකරුවන් සැබෑ නායකයන්ද?

 

හොඳ නායකයන් වන්නේ කෙසේද යන්න කළමනාකාරවරුන් මනාව වටහා ගත යුතු කරුණක්.

මෙම ලිපිය Access Engineering බ්ලොග් අඩවියෙහි මුල් වරට පළ වූවකි.

කණ්ඩායමක් සාර්ථකව මෙහෙයවීමේදී තනි පුද්ගලයෙකුට අවශ්‍ය වනවාට වඩා ඉතාම සුවිශේෂී හා ඔබටම ආවේණික නිපුණතා මාලාවක් අවශ්‍ය වෙනවා. හොඳ වෘත්තීමය නායකත්වයක් සැපයීම කියන්නේ පහසු කාර්යයක් නම් නෙමෙයි. බොහෝ නායකයන් හා කළමනාකාරවරුන් උසස්වීම් ලබා ගෙන ඉහළට ගොස් සිටින්නේ ඔවුන් සතු පුද්ගලික ශක්‍යතා සහ දක්ෂතා නිසා වුණත් පිරිස් කළමනාකරණයට අත ගසන්නට සිදු වුණාම බොහෝ අය එය කරන ආකාරය ගැන අර්බුදයට මුහුණ දෙනවා.

මෙහිදී මුහුණ පාන්නට සිදු වන මූලික ගැටලු සාර්ථකව විසඳා ගනිමින් කණ්ඩායමේ අන් අයද සමගින් තිරසාර ප්‍රතිඵල උදාකර ගන්නා ආකාරය සම්බන්ධයෙන් කදිම සහායක් The 7 Habits for Managers® (කළමනාකරුවන් සඳහා වැදගත් ගුණාංග 7) මගින් කණ්ඩායම් නායකයන් වෙත ලැබෙනවා. හුදෙක් කළමනාකරුවන් කරන්නේ මොනවාද යන්න වෙත සීමා නොවන මෙම විසඳුම සුවිශේෂයෙන්ම කළමනාකරුවෙකු කියන්නේ කෙබඳු අයෙකුද යන්න වෙත අවධානය යොමු කරනවා. මෙම The 7 Habits for Managers® ට ම ආවේණික සුවිශේෂී ලක්ෂණය තමයි එහිදී නිරන්තරයෙන්ම සාර්ථක ප්‍රතිඵල උදාකරන්නට සමත් විශිෂ්ට නායකයෙකු බවට පත් වීම සඳහා නව මනෝභාවයන්, නිපුණතා හා මෙවලම් යොදා ගනු ලැබෙන ආකාරය.

 
 
Be proactive

ගැටලු විසඳා ගනිමින් ඉලක්ක සාක්ෂාත් කරගැනීමට නම් කළමනාකරුවන් සෑම විටම පාහේ අනුගමනය කරන්නේ අවශ්‍ය දේවල් ඉටුකරවා ගනු පිණිස පූර්ව ක්‍රියාකාරී ප්‍රවේශයක්. (P2)

1 ගුණාංගය: පූර්ව ක්‍රියාකාරී වන්න

පූර්ව ක්‍රියාකාරී වීම යන්නෙන් අදහස් වන්නේ කාර්යයන් සාර්ථකව ඉටු කිරීම වෙනුවෙන් ඔබ සතු වගකීම් හඳුනාගෙන මෙහෙයවීමයි. මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම උදෙසා ඔබ කළ යුතු දෙයක් තමයි ඔබ සතු උපායශීලීත්වය ප්‍රයෝජනයට ගෙන බාධක ජයගැනීමට කටයුතු කිරීම. මෙලෙස කටයුතු කිරීම යන්නෙන් අදහස් වන්නේද ආක්‍රමණීශීලී හා අන් අයට අපහසුකාරී ලෙස කටයුතු කිරීම නෙමෙයි. සරලවම කියනවා නම්, කණ්ඩායමේ හැම කෙනාටම තමන් සතු භූමිකාවේ වැදගත්කම තේරුම් ගෙන අන් අයගේ වැඩ කොටස කෙරෙහි ඉන් ඇති වන බලපෑමත් තේරුම් ගැනීමට හැකි වටපිටාවක් සකස් කිරීමට නායකයෙකු ලෙස ඔබ සතු හැකියාව ඉන් අදහස් වෙනවා.

 
 
Selecting a direction

ගමන් කළ යුතු දිශානතිය නිවැරදිව තේරුම් ගැනීමත් ඔබේ වැඩ කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට ඇති හැකියාව හා සබැඳි ලක්ෂණයක්. (P3)

2 ගුණාංගය: අවසන් ප්‍රතිඵලය සිතැතිව වැඩ අරඹන්න

‘අවසන් ප්‍රතිඵලය සිතැතිව වැඩ අරඹන්න’ යන්නෙහි අදහස නම් අරමුණ අවසානයේදී ඔබ ළඟා විය යුතු තැන ගැන නිසි අවබෝධයක් ඇතිකරගෙනම කාර්යයන් ආරම්භ කිරීමයි. ඔබ යොමු වන සෑම ක්‍රියාකාරකමකදීම ‘ප්‍රතිඵල කේන්ද්‍රීය මානසිකත්වයක්” ඇතිකර ගැනීම ඊට සබැඳි දෙයක්. ව්‍යාපෘති, රැස්වීම්, ඉදිරිපත්කිරීම්, ලබා දෙන විවිධ දායකත්වයන් යන මේ සියල්ලම ඊට ඇතුළත්. දෛනික වැඩ රාශිය මැද්දේ නිතරම පාහේ අවසාන අරමුණ වෙනතකට හැරවී එය වෙනුවෙන් සිදු කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීමට අපහසු වීම නිතර සිදු වන්නක් නිසා මෙය ඉතා වැදගත් කොට සැලකිය යුතු කාරණාවක්.

 
 
ToDo list

ඉටු කළ යුතු කාර්ය ලැයිස්තු නොහොත් ToDo Lists කියන්නේ සිදු කළ යුතු හා සිදු කරන ලද දේවල් සම්බන්ධ වාර්තා පවත්වා ගැනීමට අතිශයින් වැදගත් උපක්‍රමයක්. (P4)

3 ගුණාංගය: වැදගත්ම දේට මුල්තැන දෙන්න

මෙහිදී ඔබට යම් මොහොතක අවධානය යොමු කළ යුතු ඉතාම වැදගත් දේ කුමක්ද යන්න තීරණය කිරීම සඳහා අතිශයින් වැදගත් ගතිලක්ෂණ දෙකක් තමයි ස්වයං-නායකත්වය සහ ස්වයං-කළමනාකාරීත්වය කියන්නේ. ජීවිතයේදී උද්ගත වන හදිසි හා වැදගත් වැඩ කොටස් එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීමේ අසීරුව අප බොහෝ දෙනෙකුට නිතර මුහුණ පාන්නට සිදු වන්නක්. හදිසි දෙයක් වෙනුවෙන් කඩිනම් අවධානය යොමු කිරීම අවශ්‍ය වන අතරම එමගින් අප වෙත යම් පීඩනයක්ද එල්ල වන නමුත් දීර්ඝ කාලීන ඉලක්ක සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් එමගින් සහායක් නොලැබෙන්නත් පුළුවන්. අනෙක් අතට බැලුවාම වැදගත් යැයි කාණ්ඩ කළ හැකි කාර්යයන් මගින් අපගේ දිගු කාලීන දැක්ම හෝ වටිනාකම් මෙන්ම ඉහළ ප්‍රමුඛත්වයක් ඇති ඉලක්ක වෙනුවෙන් දායකත්වයක් ලැබෙන නමුත් සෑම විටම පාහේ එකී කාර්යයන් වෙනුවෙන් ඉක්මනින් විය යුතු යැයි හදිසියක් අප තුළ ජනිත නොකරන්නත් ඉඩ තිබෙනවා. මනා සැලසුම්කරණ ක්‍රියාදාමයක් සහිතව අපගේ කණ්ඩායමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නම් කාලය හා ශ්‍රමය නාස්ති වන දේවල් මගහරවා ගැනීමට කළමනාකරුවන් වශයෙන් අපට සිදු වෙනවා. එහෙත් බොහෝ කළමනාකරුවන් වැඩි කාලයක් වෙන් කරන්නේ වැදගත් කාරණා සම්බන්ධයෙන් ක්‍රියාකාරී වීම වෙනුවට හදිසි දේවල් වෙත කලබලයෙන් ප්‍රතිචාර දැක්වීමට වෙහෙසීම වෙනුවෙනුයි. මීට පෙර අප විසින් පළ කළ “අයිසන්හවර් තීරණ ආකෘතිය” යන ලිපිය කියවීමෙන් ඔබට වඩා වැදගත් හා වඩා හදිසි යන වර්ග දෙකේ වැඩ එකිනෙකින් වෙන්කර හඳුනාගෙන කටයුතු කිරීමට හොඳම ක්‍රම ගැන දැනගන්න පුළුවන්.

 
 
Teamwork

කණ්ඩායමක් තුළ සිටින සියලුම දෙනාට තම වැඩ කටයුතු තමන්ටත්, කණ්ඩායමටත් එක සේ වැදගත් සේ හැඟී යා යුතුමයි. (P5)

4 ගුණාංගය: සැමට ප්‍රතිලාභී ලෙස සිතීම

සැමට ප්‍රතිලාභීව සිතීම යනු කිසියම් කාර්යයකට අදාළ සියලුම පාර්ශ්ව වෙත ප්‍රතිලාභයක් උදා කරන හා ඔවුන් තෘප්තියට පත් කරන ආකාරයට එකඟතා වෙත එළැඹීම හා විසඳුම් බිහිකර ගැනීමයි. මෙවැනි විසඳුම් ඇති විට ගනු ලැබෙන තීන්දු සම්බන්ධයෙන් හැම පාර්ශ්වයකටම සතුටක් දැනවෙන නිසාම ඔවුන් ක්‍රියාකාරී සැලැස්ම වෙනුවෙන් වඩා කැපවීමෙන් කටයුතු කරනවා. මෙය පදනම් වන්නේ සෑම දෙනා වෙනුවෙන්ම ඕනෑ තරම් වාසි තිබෙන අතරම එක් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය අත්කර ගත යුත්තේ අන් අයගේ සාර්ථකත්වය නොසලකා හරිමින් හෝ කැප කරමින් හෝ නොවන්නේය යන සුසමාදර්ශය මතයි.

 
 
Loyalty and co-working

සහකම්පනීය වීම හා අන් අයගේ අදහස් තේරුම් ගැනීමට හැකි වීමත් විශ්වාසය හා පාක්ෂිකත්වය ගොඩනගා ගැනීමට අතිශයින් වැදගත්. (P6)

5 ගුණාංගය: පළමුව අන් අය තේරුම් ගන්න, ඔවුන් ඔබව තේරුම් ගනිතැයි අපේක්ෂාවෙන් පසු වීම පසුව කරන්න.

සහකම්පනීය නොහොත් අන් අයගේ හැඟීම් හා අදහස් තේරුම් ගනිමින් සිදු කරන සන්නිවේදනයෙහි මූලික ලක්ෂණයක් වශයෙන් මෙය දක්වන්න පුළුවන්. සහකම්පනීයව හා සාවදානව ඇහුම්කන් දීම මෙම කාරණයට ඉතාම වැදගත් ලක්ෂණය වෙනවා. හැම විටම ඔබේ සහෝදර සේවකයන්, එකට වැඩ කරන්නන්, පවුලේ සාමාජිකයන්, මිතුරන් හා ගනුදෙනුකරුවන් හෝ පාරිභෝගිකයන් වෙත සාවදානව ඇහුම්කන් දෙන්න, ඒත් ඔබ එසේ කළ යුතු වන්නේ ඔවුන් කියන දෙයකට ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වීමේ, ඔබේ අදහස් ඔවුන්ගේ සිතට කාවැද්දීමේ හෝ ඔවුන්ව පෙළඹවීමේ හෝ අරමුණකින් නම් නොවෙයි. තේරුම් ගැනීමට, නොඑසේ නම් අනිත් අය දේවල් දකින ආකාරය දැනගැනීමට ඔවුන්ට ඇහුම්කන් දෙන්න. සහකම්පනීය ඇහුම්කන් දීමෙන් අදහස් වන්නේ වෙනත් අයෙකු කියන දේ සමග සහමුලින්ම එකඟ වීමත් නෙමෙයි. භාවමය වගේම බුද්ධිමය වශයෙනුත් ඔවුන්ව තේරුම් ගැනීමයි. ගැටලු මනාව හඳුනා ගෙන ඒවාට නිවැරදිව ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් අන් අයගෙන්ද අදහස් උකහා ගෙන ක්‍රියාත්මක වීමට උපකාරී පසුබිමක් මෙලෙස සාවදානව ඇහුම්කන් දීම මගින් ඔබට ලැබෙනවා.

 
 
Synergize

අන්තර්ගත සංඝටක සතු තනි වටිනාකමට වඩා බෙහෙවින් වටිනා නිපැයුමක් හෝ විසඳුමක් බිහි කිරීම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රවල විහිදුණු විශේෂඥතාව යොදා ගැනීම සහක්‍රියාකාරී වීමයි.(P7)

6 ගුණාංගය: සහක්‍රියාකාරී වන්න

සරලම අර්ථයෙන් කියනවා නම් සහක්‍රියාකාරී වීම කියන්නේ එකිනෙකා සමග නිර්මාණශීලී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමේ පුරුද්දයි. කණ්ඩායම් හැඟීම මෙන්ම විවෘත මනසකින් යුතු වීමත් මත පදනම් වන මෙමගින් එකිනෙකට වෙනස් ක්ෂේත්‍රවල දැනුම හා අත්දැකීම් යොදාගෙන කිසියම් පවතින ගැටළුවන් වෙනුවෙන් නව විසඳුම් සොයා යාමට අපට මග විවර වෙනවා. එහෙත් එය ඉබේ සිදු වන්නක් නම් නොවෙයි. මුළු කණ්ඩායම ම තමන් සතු පුද්ගල අත්දැකීම් හා විෂේෂඥතා ඉදිරිපත් කළ යුතු වෙනවා. සාමාජිකයන්ට තනි තනිව කළ හැකි දෙයට වඩා හොඳ, විශිෂ්ට ප්‍රතිඵල එක්ව වැඩ කිරීමෙන් උදාකරගත හැකියි. තනි පුද්ගලයන් වශයෙන් දැනගන්නට නොලැබෙන බොහෝ දේ සහක්‍රියාකාරී වීමෙන් දැනගන්නට හැකියාව ලැබෙන නිසාම නවෝත්පාදනාත්මක ලෙස විසඳුම් සොයා යාමට ඇති හැකියාව ඉහළ නංවා ගැනීමටත් එමගින් ලැබෙන සහාය සුළුපටු නෑ.

 
 
Balance your work life and personal life

ජීවිතේ කියන්නේ කෙටි දුර දිවීමක් නෙමෙයි, දිග මැරතන් එකක්. වැඩි දුරක් යාමට නම් වඩා තිරසාර ප්‍රවේශයක් අවශ්‍ය වන්නේ එනිසායි.(P8)

7 ගුණාංගය: ඔබේ ශක්තිය තීව්‍ර කරගන්න

මඳ විරාමයක් අරන් තමන්ගේ කියත හෝ කැපුම් උපකරණය මුවහත් කරගන්නා දැව කපන්නෙකුට තම කාර්යය වඩා ඉක්මනින් හා පහසුවෙන් නිම කරන්නට හැකි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේ පරිද්දෙන්ම, ඔබේ ශක්තිය තීව්‍ර කරගන්න’ යන ප්‍රකාශයෙන් අදහස් වන්නෙත් ඔබට ඇති වටිනාම වත්ක වන ‘ඔබව’ ශක්තිමත් කරගන්න කියන එකයි. මෙම කාර්යය පහසු කරගැනීමට නම් කායික, මානසික, සමාජ/භාවමය හා ආත්මීය යන ජීවිත අංශ හතර ඔබ විසින්ම අලුත් කර ගැනීම ඔබට වැදගත්. උදාහරණ සඳහා පහත බලන්න.

  •  කායික – ව්‍යායාම, නිසි පෝෂණය, ආතති කළමනාකරණය;
  • මානසික – කියවීම, දෘශ්‍යමය අභ්‍යාස, ලේඛනය;
  • සමාජ/භාවමය – අනුන්ට සේවය කිරීම, සහකම්පනීය වීම, සහක්‍රියාකාරී වීම;
  • ආත්මීය – ආත්මීය කියවීම්, අධ්‍යයන කටයුතු, සංගීතය, කලාව, භාවනා, යාඥාවන් හෝ අන් අයට සේවය කිරීම.

 

     

       
    Access
    Subscribe to This Blog
    For the latest business insights and industry trends

    Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.