access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

පුනර්ජනනීය බලශක්තිය සහ ශ්‍රී ලංකාව

 

ලොව පුරා පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වෙත ගමන් කිරීමක් පෙන්නුම් කෙරෙනවා (P1)

හැඳින්වීම

වැසි වනාන්තර කෙළවර සිට කොළඹ නගරය දක්වාම 98%ක විදුලිය සැපයීමේ අනුපාතිකයක් පවත්වා ගනිමින් මෙරට සෑම නිවසකටම විදුලිය සැපයීමේ ඉලක්කය ආසන්න වශයෙන් සපුරාගෙන තිබෙන බව කියන්න පුළුවන්. මෙය සිත්ගන්නාසුළු තත්ත්වයක් වුණත්, 'දේශීය බලශක්ති ඉල්ලුම' සපුරාලීමේදී ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) තවමත් ජයගත යුතුව ඇති අභියෝග තිබෙනවා.

දෙන ලද ඕනෑම වේලාවක රට පුරා පවතින සමස්ත විදුලි ඉල්ලුම දේශීය බලශක්ති ඉල්ලුම හැටියට වර්ගීකරණය කරන්න පුළුවන්. විදුලිය සඳහා ඇති ඉල්ලුම නිතිපතා ප.. 6 – .. 10 අතර මෙගාවොට් 2700 අවට උච්ච මට්ටමකට පැමිණෙන අතර රාත්‍රියෙහි දී, ප.ව. 10න් පසු එය මෙගාවොට් 1200 තරම් පහළට, එනම් උච්ච ඉල්ලුමෙන් අඩකටත් වඩා අඩු මට්ටමකට එනවා. ජාලය (grid) තුළ බලශක්තිය ගබඩා කර තබාගැනීම තවම කළ හැකි දෙයක් නොවන නිසා, දෙන ලද ඕනෑම මොහොතක සීමාවන් ගණනාවකට යටත්ව දිවයිනේ බලශක්ති ඉල්ලුම සැපයීම සඳහා ශ්‍රී ලංකාව සතු විදුලි බලාගාර මූලෝපායික අන්දමින් උපයෝගී කරගත යුතු වෙනවා. මේ අතරට සෑම බලාගාරයක්ම උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් වූ සුවිශේෂ සීමාවන් ගොන්නක් කළමනාකරණය කරගැනීම හා ජාලයෙහි සමස්ත විදුලි ජනන හා සම්ප්‍රේෂණ පිරිවැය අවම කරගැනීම ඇතුළත්. පුනර්ජනනීය මූලාශ්‍රවල ධාරිතාව ඉහළ නැංවීමේදී වඩාත් දුෂ්කර බවට පත් වන මේ කටයුත්ත සංකීර්ණ අභියෝගයක්. මේ ලිපිය, විශේෂයෙන්ම මෙරට වර්තමාන බලශක්ති අර්බුදයේ සන්දර්භය තුළ ශ්‍රී ලංකාවට ඇති ප්‍රතිලාභ හා අභියෝග විමසා බලන්නක්. 

 
 

ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ඇති "වෙනත් පුනර්ජනනීය බලශක්ති" බලාගාර පිළිබඳ විස්තරයක් (P2)

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය

පසුගිය වසර 4 තුළ ශ්‍රී ලංකාව සිය බලශක්ති ජාලයට කිසිදු විදුලි බලාගාරයක් අලුතින් එකතු කර නැහැ. ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සතු සමස්ත ජනන ධාරිතාව මෙගාවොට් 4087 පමණ වෙනවා. මෙය උච්ච ඉල්ලුමට වඩා පැහැදිලිවම ඉහළින් තිබුණත්, ඒ ඒ විදුලි බලාගාරය කාලය සැලසුම් කොට භාවිතයට ගැනීමෙහිලා ඇති වෙනස් අභියෝග නිසා දෙන ලද ඕනෑම මොහොතක සමස්ත බලශක්ති ඉල්ලුම සපුරා ලීම ඉතාම දුෂ්කරයි. ඉල්ලුම ඉහළ යමින් තිබෙන අතර වර්ධනයට මුහුණ දීම සඳහා වාර්ෂිකව ජාලයට මෙගාවොට් 150ක් එකතු කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය පුරෝකථනය කර තිබෙනවා.

2017 දී ඉදිරිපත් කරන ලදුව 2018 දී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන විදුලිබල උත්පාදන සැලැස්ම 2018-2037, 2037 දක්වා දිවයිනේ බලශක්ති ඉල්ලුමේ වර්ධනයට මුහුණ දිය යුතු අන්දම සැලසුම් කරනවා. නිර්දේශිත විදුලි බලාගාර ක්‍රියාත්මක වීම සඳහා මාර්ග සිතියමක් හා වඩාත්ම උචිත බලශක්ති උත්පාදන ක්‍රමවල සංකලනය පිළිබඳ විස්තරයක් එයට ඇතුළත්. මේ උත්පාදන ක්‍රම සංකලනයට ORE ('වෙනත් පුනර්ජනනීය බලශක්ති' - ‘Other Renewable Energy’) ලෙස වර්ගීකරණය කෙරෙන ක්‍රම ගණනාවක් අයත් වෙනවා. මේ අතර කුඩා ජල විදුලි, සුළං, සූර්ය සහ කසල හා දැව යොදාගන්නා ජෛවස්කන්ධ යන ක්‍රම තිබෙනවා. මේවාගේ දැනට ස්ථාපනය කර ඇති ධාරිතාවන් ඉහත වගුවේ දැක්වෙනවා. මේ ලිපිය තුළ අපි කුඩා ජලවිදුලි, සූර්ය හා සුළං බලාගාරවල තත්වය විමසා බලනවා. කෙසේ වෙතත් ඊට පෙර, ගල් අඟුරු බලාගාර වැනි සාම්ප්‍රදායික තාක්ෂණයනුත් හරිත ප්‍රමිතීන් දියුණු කරමින් ලොව පුරා වර්ධනය වී ඇති අතර දිවයින සඳහා සැබැවින් ම තිරසාර සැලැස්මකට එවැනි බලාගාර ද අවශ්‍ය වන බව සඳහන් කිරීම වැදගත්. 

 
 
minihydro schematic

කුඩා ජලවිදුලි ටර්බයින කියන්නේ, පරිසරයට අඩු බලපෑමක් සිදු කරන කුඩා පරිමාණයේ විදුලි බලාගාර වර්ගයක්. (P3)

කුඩා ජලවිදුලි බලාගාර

ජල මාර්ගයකින් කොටසක් කුඩා ජලවිදුලි ජනන පද්ධතියක් හරහා යැවීමෙන් ගංගාවක ගලා යන ජලය සතු බලශක්තිය අත්පත් කරගත හැකියි. ජල මාර්ගයක හැකි ඉහළම ස්ථානයෙන්, ජලය ටර්බයිනයක් හරහා යවනවා. එයින් දණ්ඩක් භ්‍රමණය වී විදුලිය නිපදවීම සඳහා විදුලි ජනකය කරකැවෙනවා. මේ යාන්ත්‍රණය තමයි ගලන ජලයේ චාලක ශක්තිය විදුලි බලය බවට පරිවර්තනය කරන්නේ. ඉන් පසු ජලය පද්ධතිය හරහා ගමන් කර පහළ ස්ථානයකින් ජල මාර්ගයට ආපසු එක් වෙනවා.

පද්ධතියකට ජනනය කළ හැකි බලශක්තිය (W), දේවල් දෙකක් මත රඳා පවතිනවා: ජලය වැටෙන උස එනම් “m” (මීටර) හා ප්‍රවාහය ගලන වේගය “m3/s” (තත්ත්පරයකට ඝන මීටර).

බලශක්තිය (W) = උස (m) x ප්‍රවාහය (m3/s)/10

ශ්‍රී ලංකාව තුළ කුඩා විදුලිබල ව්‍යාපෘති පටන්ගත්තේ 1996 දී. මෙගාවොට් 406.11 ක ස්ථාපිත ධාරිතාවක් සහිත එය වර්තමානයේ ඇති විශාලතම ORE හෙවත් 'වෙනත් පුනර්ජනනීය බලශක්ති' මූලාශ්‍රයයි. කෙසේ වෙතත්, සැබෑ නිෂ්පාදනය එයට අයත් ජල මාර්ගවල ඍතුමය තත්වයන් මත රඳා පවතින අතර එවැනි බලාගාර වසරකට ඒවායේ මුළු ධාරිතාවෙන් 36%ක පමණ සාමාන්‍ය ප්‍රතිලාභයක් සලසනවා.

පාරිසරික හානි වැළැක්වීම සඳහා සවිස්තර නියාමනයන් හා මනාව සැලසුම් කෙරුණු පද්ධතියක් තිබීම වැදගත්. ඒ වගේම මේ කුඩා ජලවිදුලි ව්‍යාපෘති නිසි පරිදි හා ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධය හා රාජ්‍ය ප්‍රතිපත්ති මඳකම තුළින් පොදු අභියෝග පැනනඟිනවා. මීට අමතරව අවශ්‍ය අනුමැතිය ලබාගැනීම හා බලාගාරය ජාලයට සම්බන්ධ කිරීම බොහෝ විට දුෂ්කරයි.

 
 
wind turbine schematic

සුළං බලශක්තියට ශ්‍රී ලංකාව තුළ ඉහළ විභවයක් තියෙනවා (P4)

සුළඟ

රුවල් ඔරුවල සිට සුළං මෝල් දක්වා සුළඟේ ශක්තිය වසර දහස් ගණනක් තිස්සේ යාත්‍රා ධාවනයට, ධාන්‍ය ඇඹරීමට, ජලය පොම්ප කිරීමට හා ශිෂ්ටාචාරයේ වර්ධනයට සහාය වීමට මිනිස්සු සුළඟේ ශක්තිය උපයෝගී කරගෙන තිබෙනවා. අද දවසේ සුළං ටර්බයින යනු සුළං මෝල්වල නූතන ස්වරූපයයි; ඒවා සුළඟේ චාලක ශක්තිය පිරිසිදු, පුනර්ජනනීය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනවා.

බොහෝ සුළං ටර්බයින, ඉහළ උන්නතාංශවලදී හමු වන වඩා වේගවත් සුළං අල්ලාගැනීම සඳහා අඩි 100ක පමණ උසැති වානේ කුලුනක් මත සවි කෙරුණු පෙති තුනකින් සමන්විතයි. මේ පෙතිවල තියෙන්නේ ගුවන් යානා තටුවලට සමාන ව්‍යුහයක්. ඒවා මතට සුළඟ හමන විට එක් පැත්තක අඩු පීඩනයකුත් අනිත් පැත්තේ වැඩි පීඩනයකුත් හටගන්නා අතර එක් එක් පෙත්ත 'එසවුම' (lift) නමින් හැඳින්වෙන ක්‍රියාවලියක් තුළ අඩු පීඩන කලාපය දෙසට චලනය වෙනවා. මේ එසවුම පෙත්ත මතට යෙදෙන සුළඟේ බලයට (රෝධය – drag) වඩා ශක්තිමත් වන අතර එයින් ටර්බයිනයේ පෙති අවර පෙත්තක් මෙන් කරකවනවා. ගියර පේළියක් මඟින් භ්‍රමකයේ කරකැවීම මිනිත්තුවකට වට 18 ක පමණ සිට දළ වශයෙන් මිනිත්තුවකට වට 1800ක් පමණ දක්වා ඉහළ නැංවෙනවා. මෙයින්, ජාලය වෙත එකතු කිරීමේ හැකියාව සහිත ප්‍රත්‍යවර්තන ධාරා (Alternative Current - AC) විදුලිය නිපදවීමේ හැකියාව ටර්බයිනයේ විදුලි ජනකයට ලැබෙනවා. ගොඩබිම ඇති ටර්බයිනයකට මෙගාවොට් 3 දක්වා විදුලිය ජනනය කළ හැකි අතර වෙරළින් ඔබ්බෙහි (offshore) පිහිටි ටර්බයිනයකට මෙගාවොට් 9.5 දක්වා නිපදවන්න පුළුවන්.

ශ්‍රී ලංකාව සතු සුළං බලයෙන් ක්‍රියාත්මක විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 130 පමණ දක්වා ළඟා වී ඇතත් මීළඟ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මෙගාවොට් 100ක පමණ දැවැන්ත නිපැයුම් මධ්‍යස්ථානයක් එකතු කෙරෙනවා. මේ මෙගාවොට් 100 සුළං බල මධ්‍යස්ථානයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වෙන්නේ Access Engineering PLC සමාගමයි.

දිවා රෑ දෙකෙහි සුළං හමද්දී මෙන්ම දිවයිනේ උච්ච බලශක්ති ඉල්ලුමක් පවතින අවස්ථාවල දිවයිනේ බලශක්ති ජනනය මත පැටවෙන බර අඩු කිරීම සඳහා සුළං බලශක්ති මධ්‍යස්ථානවලට වඩා විශාල භූමිකාවක් ඉටු කරන්න පුළුවන්. කෙසේ වෙතත්, පක්ෂීන්ගේ පියාසර මාර්ග වැනි, අදාළ අඩවිය තුළ පැනනඟින පාරිසරික උත්සුකයන් මෙන්ම සැබැවින්ම තිරසාර විසඳුමක් සඳහා විදුලි උත්පාදන හා සම්ප්‍රේෂණ සීමාකම් විසඳීම වැදගත් වෙනවා.

 
 
PV system schematic

කුඩා ගෘහස්ථ සූර්ය පද්ධති, මෙගාවොට් 180ක පුනර්ජනනීය බලශක්තියක් ජාලයට එකතු කර තිබෙනවා. (P5)

සූර්ය බලශක්තිය

ප්‍රකාශ වෝල්ටීය (Photovoltaic - PV) පැනල, එම පැනල තුළ ඔබා ඇති සිලිකන් පරමාණුවලින් ඉලෙක්ට්‍රෝන ඉවතට අදිමින් DC (සරල ධාරා - Direct Current) විදුලිය නිපදවීමේ ඉඩ ප්‍රකාශ, එනම් ආලෝක අංශුවලට ලබා දෙනවා. මේ DC ධාරාව AC (ප්‍රත්‍යවර්තන ධාරා - Alternate Current) බවට පර්වර්තනය කිරීම සඳහා පැනල අපවර්තකයකට (inverter) සම්බන්ධ කර තිබෙනවා. මෙය නිවසේ භාවිත කළ හැකි අතර ජාලයට විදුලිය අපනයනය කිරීමටත් සුදුසුයි.

ශ්‍රී ලංකාව තුළ ලංකා විදුලිබල මණ්ඩලය නිවාස හෝ ව්‍යාපාරවලට, වහල මත සූර්ය පැනලවලින් දිවා කාලය තුළ විදුලිය ජනනය කොට රාත්‍රී කාලය තුළ සිය විදුලි පරිභෝජනය පිරිමසාගැනීමේ ඉඩ සලසන ජාලගත සම්බන්ධතා ලබා දෙනවා. ප්‍රධාන වශයෙන් ‘සූර්ය බල සංග්‍රාමය' වැනි නෙට් මීටර වැඩසටහන් ඔස්සේ 180MW පමණ සමස්ත ධාරිතාවක් සහිත වහල මත සූර්ය පැනල ප්‍රමාණයක් ස්ථාපනය කර තිබෙනවා; මෙහි ඉලක්කය වෙන්නේ 2020 වෙද්දී ගෘහස්ථ වහල මත ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 200 දක්වා ගෙන යාමයි.

මීට අමතරව මෙගාවොට් 51සමස්ත ධාරිතාවකින් යුතු විශාල ව්‍යාපෘති 8ක් ශ්‍රී ලංකාව තුළ කෙලින්ම ජාලයට සම්බන්ධ වී තියෙනවා. කෙසේ වෙතත් තරගකාරී ලංසු තැබීම් ඔස්සේ පුද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති අතර අලුත් සැලසුම් කිසිවක් අනුමත කෙරී නැහැ.

සූර්ය බලශක්තිය සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් (මෙගාවොට් 1ක් සඳහා අක්කර 3-5) අවශ්‍ය වීම සහ වලාකුළු හා දූවිලි නිසා හටගන්නා ඉහළ සවිරාම බව (intermittency) වැනි පාරිසරික සාධක, මහා පරිමාණ සූර්ය බලශක්ති මධ්‍යස්ථානවලට ජයගැනීමට තිබෙන අභියෝගයි. සූර්ය බලශක්තිය දැනට විදුලි ජාලයට දායක වෙන්නේ සුළුවෙන් වුණත්, එහි වැදගත්කම වැඩි වෙද්දී මේ ගැටලු විසඳාගන්න වෙනවා.

 
 
transmission line

ජාතික බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජාලයේ අවශ්‍යතා තක්සේරු කිරීමේ වඩා දියුණු ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා.(P6)

සාරාංශය

එලඹෙන වසරවලදී සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා නොබිඳුණු විදුලි සැපයුමක් සහතික කිරීමට තියෙන බොහෝ අභියෝග ජයගන්න බැරි ඒවා නොවුණත් ඒ සඳහා මූලෝපායාත්මක සැලසුම්කරණය හා විදුලි උත්පාදන ක්‍රම ගණනාවක භාවිතය සම්බන්ධීකරණය කිරීම අවශ්‍ය වෙනවා. පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවල ඇති මූලික වාසිය මෙයයි: ඒවා බලශක්තිය උපුටාගන්නේ පරිසරයේ දැනටමත් ලබාගත හැකි ලෙස පවතින මූලාශ්‍ර වෙතිනුයි. තාප බලාගාර ඇතුළු වෙනත් බලශක්ති උත්පාදන මූලාශ්‍ර මෙන් පාලනය කර සැලසුම් කිරීමේ හැකියාවක් නැති නිසා මෙය ප්‍රධාන වශයෙන් සීමා වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුමත කෙරී ඇති, අනුගමනය කර නැති දිගු කාලීන විදුලි උත්පාදන සැලසුම සඳහා කරුණාකර මෙතන ක්ලික් කරන්න.

ප්‍රඥාසම්පන්න සැලසුම්කරණයට පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ඉහළ නැංවීම හා ගල් අඟුරු බලාගාර වැනි සාම්ප්‍රදායික බලශක්ති මූලාශ්‍ර සඳහා - ඒවායේ ප්‍රතිලාභ අත්පත් කරගන්නා ගමන් - වඩා හරිත තාක්ෂණයන් ක්‍රියාත්මක කරමින් ඒවායේ පාරිසරික බලපෑම අඩු කිරීම යන දෙකම ඇතුළත් වෙනවා. ලොව පුරා ගල් අඟුරු බලාගාර පිරිසිදු කෙරෙන ආකාර ගැන දැනගන්න අපේ මීළඟ ලිපිය බලාපොරොත්තු වන්න.

   
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.