access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ගල් අඟුරු බලාගාරවල විෂ වායු පිරිසිදු කරන අයුරු

Writer / Editor

Amy Kover

Writer / Editor

GE Reports

 

සියයට 99කට වැඩි ප්‍රතිශතයකින් SO2 ඉවත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම මගින් විදුලි බලාගාර සල්ෆර්හරණය (desulfurization) අලුත් තලයකට ගෙනියන්න GE සමත් වෙලා තියෙනවා (P1)

මෙම ලිපිය මුලින් GEReports හි පළ වූවක්.

 

පිරිසිදු ගල්අඟුරු බලශක්තියට හැඳින්වීමක්

මිනිස්සු තමන්ගේ ගෙවල් උණුසුම් කරගන්නත් කෑම පිසින්නත් තවම ගල් අඟුරු පාචිච්චි කරන නගරයක වීදියක් දිගේ ඇවිද ගියොත්, ලොව පුරා ජනතාව ගල් අඟුරුවලින් බලශක්තිය ජනනය වන විදුලි බලාගාර පිරිසිදු කරගන්න දඟලන්නේ ඇයි කියලා තේරුම් ගත හැකියි. සෝදා පිරිසිදු කර නැති ජනෙල් මත කළු පාට දූවිලි තැන්පත් වෙලා තියෙන අන්දම දැකගන්න පුළුවන් වගේම, ඊටත් වඩා ඉක්මනින්, දහනයේදී අඟුරු තුළ තියෙන සල්ෆර්, ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා ඇති වන වායුවක් වන සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) වලින් එන සැර දුගඳ යන්තමින් දැනෙන්න පුළුවන්.

මෙම වායුව දුර්වල සල්ෆියුරික් අම්ලයක් නිර්මාණය කරමින්, ගස් වල පත්‍ර ගහනය ඉවත් කිරීමට මග පාදන අම්ල වැහි වලට හේතු වෙනවා. වෙනත් දුමාරයන් වගේම, එයත් සෞඛ්‍යයට අහිතකරයි. ඒත්, ගල් අඟුරු තාප බලාගාර මගින් 2016 දී විතරක් මේවා ටොන් මිලියන 19.7 ක් මුදා හැරුණා.

පැහැදිලිව පෙනෙන විසඳුම ලෙස දැකිය හැක්කේ මෙම බලාගාර වසා දමා ඒවා වෙනුවට සුළං සහ සූර්ය බලාගාර ස්ථාපිත කිරීමයි. ඒත් ඒ ප්‍රතිකර්මය, එමගින් හොඳ කරන්න හදන රෝගයට වඩා දැවැන්ත වෙන්න පුළුවන්. ඒ එවැනි ක්‍රියාවලියක් නිසා යම් කාල සීමාවකට මිලියන ගණනක් ලෝක වැසියන්ට විදුලි බලය නැති කර දමන නිසයි. ලෝකයේ වැඩිම ජනගහනය සහිත චීනය සහ ඉන්දියාව වගේ රටවල්, තමන්ගේ ජනතාව සහ වර්ධනය වන ආර්ථිකය විශ්වසනීය විදුලි සැපයුමක් ලබා දීම සඳහා, සාපේක්ෂව අඩු මිලක් ඇති, එමෙන්ම හොඳ සැපයුමක් ඇති ගල් අඟුරු මත රඳා පවතිනවා. සිය විදුලි බලාගාර සඳහා “එක්කෝ දේශීය සම්පත් හෝ අඩු ගණනේ ලෝකය පුරා ලබාගැනීමේ හැකියාව ඇති, ස්ථාවර මිලක් සහිත හා භූදේශපාලනික උච්චාවචනයන්ගේ බලපෑමට ලක් නොවන බලශක්ති මූලාශ්‍ර යොදාගන්න වැඩි දෙනෙක් කැමති” බව GE Steam Power වාණිජ මෙහෙයුම් ප්‍රධානී මයිකල් කෙරූල් පවසනවා.

 
 
Coal plant in India

GE Steam Power විසින් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වින්ධ්‍යාචල්හි මෙගාවොට් 500ක ගල් අඟුරු විදුලි බලාගාරයක WFGD ස්ථාපනය අවසන් කර තිබෙනවා. (P2)

ඉන්දියාවෙන් උගත හැකි පාඩම්

උදාහරණයක් ලෙස ඉන්දියාව, තම විදුලිබල අවශ්‍යතාවලින් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් සඳහා ගල් අඟුරු මත රඳා පවතිනවා. ඒ වගේම, ජනගහනයේ විදුලිබල පරිභෝජනය මීළඟ දශකයේදී වාර්ෂිකව 7%කට වඩා, එනම් කිලෝවොට්-පැය මිලියන 1,237 සිට 2,047 ක් දක්වා වැඩි වීමට නියමිත එරට, වඩාත් ම ප්‍රායෝගික විකල්පය ගල් අඟුරුයි. ඉන්දීය රජය විසින් නිකුත් කොට ඇති ජාතික විදුලිබල සැලැස්ම ඇස්තමේන්තු කරන්නේ, මේ දරුණු බලශක්ති අවශ්‍යතාව ඉටු කිරීම සඳහා වර්තමානයේ ස්ථාපිත කොට ඇති විදුලිබල ජනන මට්ටම (installed base) වන ගිගාවොට් 344 සිට, 2027 වර්ෂය වන විට ගිගාවොට් 620 දක්වා, එනම් දෙගුණයක පමණ ප්‍රමාණයකින් වැඩි කිරීමට සිදු වනු ඇති බවයි.

ඒ වුණත්, එරට ඉහළ යන බලශක්ති භාවිතයෙන් හටගන්නා පාරිසරික හානි පාලනය කිරීම සැලකිල්ල යොමු විය යුතු කාරණයක්. උදාහරණයක් ලෙස 2015 දී, ඉන්දියාවේ පරිසර, වනාන්තර සහ දේශගුණ විපර්යාස පිළිබඳ අමාත්‍යාංශය, විදුලි බලාගාර මගින් සල්ෆර් ඩයොක්සයිඩ් මුදාහැරීම 2022 වන විට සියයට 95 කින් අවම කළ යුතුයැයි නිර්දේශ කරන වායුගෝලීය ප්‍රමිතීන් ඉහළ නංවන සැලැස්මක් ඉදිරිපත් කළේ, ලොව දැඩිම පාරිසරික නියාමනයන් කිහිපයක් ස්ථාපිත කරමිනුයි.

මෙය අසීරු කාර්යයක් වගේ පේනවා. ඒත් කෙරූල් සහ ඔහුගේ සගයින්ට මේ සඳහා ක්‍රමයක් තියෙනවා. ඒ, තෙත් ධූම වායු සල්ෆර්හරණය (wet flue gas desulfurization - WFGD) නමින් හැඳින්වෙන, සල්ෆර් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ ක්‍රමයක්. මුහුදු ජලය යොදාගෙන කෙරෙන සල්ෆර්හරණය වැනි වෙනත් ක්‍රම වගේ නෙවෙයි, වාතයේ ගුණාත්මක බව පාලනය කිරීමේ මෙම ක්‍රමවේදය ඕනෑම ස්ථානයකදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. එසේම එය තරමක් මිලෙනුත් අඩුයි. ඒ එය ලේසියෙන් සපයා ගන්න පුළුවන් හුණුගල් මත රඳාපවතින නිසයි. ඇත්ත, මෙය අවුරුදු 40 ක් පැරණි තාක්ෂණයක්. ඒත් එහි SO2 ඉවත් කිරීමේ කාර්යක්ෂමතාව සියයට 99 කට වඩා ඉහළ නංවමින් හා තවත් පාරිසරික සහ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න ඇති කරන සාධකයක් වන රසදිය නිකුත් කිරීම අවම කරමින්, GE එය නව (ඉහළ) තලයකට නංවා තිබෙන්නේ බලශක්තියත් ඉතිරි කරමිනුයි.

 
 
Coal plant in Africa

ලොව පුරා ගල්අඟුරු බලාගාරවලට බලශක්තිය ඉතිරි කරගැනීමට අවස්ථාව උදා කරමින් GE සමාගම විසින් මර්කරි සහ කාලගුණික හා සෞඛය බලපෑම් අනෙකුත් සාධක පරිසරයට නිකුත් වීම අවම කරන නව විසඳුම් හඳුන්වා දෙමින් සිටිනවා. (P3)

පිරිසිදු ගල්අඟුරු බලශක්ති තාක්ෂණය

ඉන්දියාවේ විශාලතම උපයෝගිතා ආයතනයක් වන NTPC සහ GE Steam Power, අප්‍රේ‍ල් මාසයේදී, මධ්‍ය ප්‍රදේශ්හි වින්ධ්‍යාචල්හි මෙගාවොට් 500 ක ගල් අඟුරු විදුලි බලාගාරයක WFGD ඒකකයක් ස්ථාපනය කිරීමේ වැඩ කටයුතු අවසන් කළා. දැන් එම උපයෝගිතා ආයතනය ඒ හා සමාන උපකරණ, තෙලංගනාහි ඇති ඊටත් වඩා විශාල ඒකක - එකක් මෙගාවොට් 800 ක් - කරා ගෙන යනු ඇති. මෙම ප්‍රවෘත්තිය, ගිගාවොට් 161.5 ක වටිනාකමක් සහිත බලශක්ති බලාගාර 414 ක් තුළ 2021 වන විට WFGD තාක්ෂණය ස්ථාපිත කිරීමට නියමිත ඉන්දියාවේ දැවැන්ත ගල් අඟුරු පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සලකුණු කරනවා.

චීනය සහ දකුණු අප්‍රිකාව වැනි ගල් අඟුරු මත රඳා පවතින වෙනත් රටවල්, ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටිමින් දැනටමත් මෙහි ප්‍රතිඵල දැක ගනිමින් ඉන්නවා. කුසිල් (Kusile) හි Eskomබලාගාරයේ ඔවුන් අභිනවයෙන් ස්ථාපනය කළ WFGD පද්ධතිය, පළමු අදියරේ අත්හදාබැලීම්වලදී එහි සහතික කළ කාර්ය සාධනය (guaranteed performance) විශාල ලෙස ඉක්මවා යමින් සියයට 93SO2 ඉවත් කිරීමේ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බව දකුණු අප්‍රිකාවේ GE Steam Power පසුගිය වසන්තයේදී නිවේදනය කළා.

එම පද්ධතිය බලාගාරයට සම්බන්ධ කර ඇති ටැංකියක් සහිත කුඩා රසායනික කම්හලක් ලෙස වැඩ කරමින්, එහි දුම (flue) මුළුමනින්ම එකතු කර ගන්නවා. (ගල් අඟුරු බලාගාරයක බොයිලේරුවෙන් පිටවන තදැති ඇලෙනසුලු දුම වන flue කුඩු, හැරී පොටර්හි මායාමය “ෆ්ලූ (floo)” පවුඩර් සමග පටලවා නොගත යුතුයි.) මෙම දුම ඉන්පසු දියාරු හුණුගල් ඉස්නාවක් (spray) තුළින් යැවීමේදී SO2 සමග ප්‍රතික්‍රියා කරමින් කෘතිම ස්වරූපයක කැල්සියම් සල්ෆේට් හෝ ජිප්සම් නිපදවනවා. මෙසේ සත්කාර කෙරුණු flue වායුවේ ඇති තෙතමනය, තෙතමනය ඉවත් කිරීමේ උපකරණ මගින් ඉවත් කර ජල වාෂ්ප ලෙස වාතයට මුදා හැරෙනවා.

කෙසේ වෙතත්, ඉන් ඉතිරිවන ජිප්සම්, ගොඩනැගීම් ක්ෂේත්‍රය තුළ රන් හා සමානයි. නව ආර්ථික අවස්ථා සඳහා මග පාදමින් සිමෙන්ති හෝ කපරාරු වැනි ගොඩනැගිලි ද්‍රව්‍යවල මූලික අමුද්‍රව්‍යයක් ලෙස, එය කොන්ක්‍රීට් (ක්ෂේත්‍රයේ) සමාගම්වලට විකිණිය හැකියි. GE Power හි පිරිසිදු දහන අංශය මෙහෙයවන ලලිත් සන්ක්‍රානි කියා සිටින පරිදි, “ජිප්සම් නිෂ්පාදනය නොකරන ඉන්දියාව වැනි රටවලට, තවත් හොඳින් ස්වයංපෝෂිත වීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.”

ඒ වගේම තමයි වඩාත් පිරිසිදු වාතය හුස්ම ගන්න ලැබීම. GE මගින් දියත් කෙරුණු මෑත කාලීන අධ්‍යයනයකදී සොයා ගැනුනේ, SO2 අවම කිරීමේ මෙවලම් නොමැති සෑම ගල් අඟුරු බලාගාරයක්ම WFGD තාක්ෂණය භාවිතා කිරීමට පෙළඹුණේ නම්, ලොව පුරා පිට කෙරෙන SO2 ප්‍රමාණය අඩකටත් වඩා අඩු වනු ඇති බවයි. සියල්ල සැලසුම් කළ විධියට සිදු වුණොත්, අනාගතය මීට වඩා බෙහෙවින් සුවඳවත් වේවි.

   

References

පින්තූර:

P1. GE Reports

P2. GE Reports

P3. GE Reports

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.