මෙම ලිපිය මෙම සබැඳියෙන් පිවිසිය හැකි Access Engineering බ්ලොග් අඩවියේ මුලින්ම පළ වූවකි.
හැඳින්වීම
ISO 45001:2018 ප්‍රමිතියට අනුව ඕනෑම සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් සඵලදායී වීමට නම් සමාගමක වැදගත්ම කටයුතු සියල්ල සඳහා සේවක බලකාය සක්‍රීය ලෙස සහභාගීත්වය දැක්වීම් අවශ්‍ය වේ. මීට හේතුව වන්නේ තමන්ගේ රාජකාරීන් හා බැඳී ඇති උවදුරු හා අනතුරුදායක තත්ත්වයන් ගැන වඩා හොඳින් දන්නා පිරිස ශ්‍රමිකයින් වීමයි.
එපමණක් නොව, ආයතනයේ සේවා පරිසරය හා සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද ආයතනික කාර්යසාධනය වැඩිදියුණු කිරීමේදීද සේවකයන්ගේ අදහස් හා මත විමසීම අතිශයින් උපකාරී වේ.
මේ නිසා, සේවකයන් (උප කොන්ත්‍රාත්කරුවන් ඇතුළුව) සියලුම දෙනා සක්‍රීය වශයෙන් සමාගමේ කළමනාකරණ පද්ධතීන් සඳහා තම සහභාගීත්වය ලබා දෙන බව සහතික කිරීමේ යාන්ත්‍රණයක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයක්.
පහත දැක්වෙන්නේ සමාගමක කළමනාකරණ පද්ධතියේ නිසි කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සහ ඒ ඔස්සේ සමස්ථ සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවකයන්ගේ සහභාගීත්වය සාර්ථක ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් නිර්දේශ කළ හැකි කාර්ය ලැයිස්තුවකි.
සිය කාර්යයන් ඉටු කිරීමේදී මුහුණ පාන්නට සිදු වන අභියෝග වැඩියෙන්ම වැටහෙන්නේ වැඩබිම්වල සේවය කරන ශ්‍රමිකයන්ටයි. ඒ නිස ඔවුන්ට සවන් දෙන්න (P2)
සේවක සහභාගීත්වය දිරිගැන්වීම
පහත පියවර අනුගමනය කිරීම තුළින් කළමනාකාරීත්වය සැමවිටම සේවකයන්ගේ දායකත්වය අගය කරන බව සන්නිවේදනය කරමින් සේවක සහභාගීත්වය දිරිගැන්වීම යන්නෙන් අදහස් වේ. ඒ සඳහා අනුගමනය කළ හැකි පියවර කිහිපයක් මෙසේය:
-
අවශ්‍ය කාලය හා සම්පත් ලබා දීම.
-
සෑම විටම සේවකයන් වෙත දොරටු විවර කර තැබීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අප සමාගම තුළ සේවකයන්ට සිය සෞඛ්‍යය හා සුරක්ෂිතතාව, පාරිසරික හා ගුණාත්මකතාව හා බැඳි ගැටළු මෙන්ම අනෙකුත් පොදු යෝජනා ආදිය සම්බන්ධයෙන් පහසුවෙන්ම කළමනාකාරීත්වය සමග සන්නිවේදනයේ යෙදීමට හැකියාව පවතී.
-
සමාගමේ සෞඛ්‍ය හා ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය වෙත සේවකයන් දක්වන දායකත්වයට නිසි පිළිගැනීමක් ලබා දීම. “Best Safe Work Performer” සම්මානය මීට එක් නිදසුනකි.
වැරදි භාවිතයන් ඉතා ඉක්මනින්ම පුරුද්දට ගැනීමට හැකියාව තිබෙනවා වගේම සම්මත භාවිතයක් බවට එවැන්නක් පත් වූ පසුව එයින් මිදෙන්න ඉතාම අසීරුයි (P3)
ගැටළු හා වෙනත් කාරණා වාර්තා කිරීමට ඉඩ සැලසීම
පහත පියවර අනුගමනය කිරීම තුළින් සේවා ස්ථානයට අදාළ උවදුරු, අනාරක්ෂිත තත්ත්ව, අනපේක්ෂිත අනතුරු, සහ පාරිසරික හා ගුණාත්මකතා ගැටළු ආදිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට සේවකයන් දිරිගැන්වීම:
-
අනතුරු, රෝගාබාධ, උවදුරු සහ පාරිසරික හා ගුණාත්මකතාව හා බැඳි කාරණා වාර්තා කිරීමට ක්‍රමවේදයක් සේවකයන් වෙනුවෙන් ස්ථාපිත කිරීම.
-
අනාරක්ෂිත සේ සේවකයන්ට දැනෙන ඕනෑම කාර්යයක් තාවකාලිකව නතර කිරීමට හෝ සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට ඉල්ලුම් කිරීමේ අවස්ථාව සියලුම සේවකයන් වෙත උදා කිරීම.
-
කළමනාකාරීත්වය විසින් එලෙස වාර්තා වන තොරතුරු යොදාගනු ලබන්නේ හුදෙක් ආයතනික කාර්යසාධනය වැඩිදියුණු කිරීමට මිස එකී වාර්තා ඉදිරිපත් කරන සේවකයන්ට දඬුවම් කිරීමට නොවන බව අවධාරණය කිරීම.
විවිධ පුද්ගලයන් දරන භූමිකා ඈත සිට වුව හඳුනා ගැනීමට වර්ණ ගැන්වූ හිස් ආවරණ උපකාරී වෙනවා.(P4)
සෞඛ්‍ය හා ආරක්ෂණ තොරතුරු වෙත ප්‍රවේශය
පහත පියවර අනුගමනය කිරීම තුළින් විශ්වාසය හා සෞඛ්‍ය හා ආරක්ෂණ කාර්යසාධනය ඉහළ නැංවෙන පරිදි අදාළ සෞඛ්‍ය හා ආරක්ෂණ තොරතුරු සේවකයන් සමග බෙදාහදා ගැනීම:
-
සේවා ස්ථානයේ සෑම පැතිකඩකටම අදාළව උවදුරු හඳුනාගැනීම හා අවදානම් තක්සේරුව (HIRA) තේරුම් ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු මෙන්ම පුරෝකථනය කළ හැකි අනතුරුදායක තත්ත්වයන්ගෙන් සේවකයන් ආරක්ෂා කිරීම සඳහා පවතින පාලන විධිවිධාන සම්බන්ධ තොරතුරු ලබා දීම.
-
ද්‍රව්‍ය ආරක්ෂණ දත්ත පත්‍රිකා (MSDS), සිදුවීම්වල තොරතුරු සහ සිදුවීම් විමර්ශන ප්‍රතිඵල ආදී සුවිශේෂී වර්ගවල තොරතුරු සේවකයන් වෙත ලබා දීම.
සුරක්ෂිතතා ප්රමිතීන් යනු සෑම විටම සිදු විය හැකි අනතුරු හා උවදුරු අවම කෙරෙන බවට සහතිකයක් බඳුයි.(P5)
Plan-Do-Check-Adjust (PDCA) කළමනාකරණ පද්ධතියෙහි සියලුම පියවරවලදී සේවකයන් සම්බන්ධ කරගැනීම
ක්‍රියාවලි කාර්යක්ෂමතාව හා සේවක කාර්යසාධනය ආශ්රිත තිරසාර වර්ධනයක් සහතික කරමින් කළමනාකරණ ක්රියාවලියෙහි සෑම පියවරකදීම සේවකයන්ගේ දායකත්වය ලබා ගැනීම (සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, පිරික්සීම සහ ක්‍රියාත්මක වීම). මේ සඳහා අනුගමනය කළ හැකි පියවර කිහිපයක් පහත දැක්වේ.
-
කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාමට අදාළ සෑම අදියරකදීම සේවකයන්ට සහභාගීත්වය ලබා දීමට අවස්ථාවක් උදා කිරීම (අරමුණු පිහිටුවීම, උවදුරු හඳුනාගැනීම හා ඉවත් කිරීම, විමර්ශන කටයුතු සිදු කිරීම, සිද්ධි විමර්ශනය ආදීය).
සේවා ස්ථානයේදී විවිධ අනතුරු ඇති වීම අවම කිරීම උදෙසා ඉතාම සංවිධිත හා උද්යෝගීමත් ශ්‍රම බලකායක් අත්‍යවශ්‍යයි.(P6)
සහභාගීත්වය ලබා දීමට ඇති බාධක ඉවත් කිරීම
ආයතනික කළමනාකරණ පද්ධතිය වෙත දායක වීමෙන් හා සහභාගීත්වය දැක්වීමෙන් සේවකයන් වළක්වන බාධක සියල්ල ඉවත් කිරීමට පියවර ගැනීම. මේ සඳහා අනුගමනය කෙරෙන පියවර මෙසේය:
-
නිපුණතා මට්ටම්, අධ්‍යාපනික මට්ටම් හා භාෂා නිපුණතා ආදී සාධක සියල්ලම බාධාවක් කර නොගනිමින් සියලූම වෘත්තීය මට්ටම්වල සේවකයන්ට සහභාගී වීමට අවස්ථාව ඇති බව සහතික කිරීම.
-
සේවකයන්ගේ අදහස් සඳහා අවස්ථාවක් ලබා දෙන බව සහ ඒවා සම්බන්ධයෙන් පියවර අනුගමනය කරනු ලැබෙන බව පෙන්වීම සඳහා නිරන්තර පසු ප්‍රතිචාර ලබා දීම.
මෙම ලිපියේදී අවධාරණය වූ පරිදි ඕනෑම සෞඛ්‍ය හා සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක සාර්ථකත්වය වෙනුවෙන් එහි සේවකයන්ගේ සක්‍රීය දායකත්වය හා සහභාගීත්වය අතිශයින් වැදගත්. මීට හේතුව වන්නේ තමන්ගේ වෘත්තීමය පරාසය තුළ මුහුණ පාන්නට සිදු වන අභියෝග හා දුෂ්කරතා ගැන හොඳම වැටහීමක් ඇත්තේ විවිධ වැඩවල නියැළෙන සේවකයන් සතුව වීමයි. මේ නිසා නිවැරදි කළමනාකරණ ප්‍රතිපත්ති පවත්වා ගැනීම තුළින් සේවකයන් අතර සමාගම වෙනුවෙන් ඇති පාක්ෂිකත්වය ඉහළ නැංවීමට හැකි වනවා පමණක් නොව සම්මත මෙහෙයුම් ක්‍රියාවලීන්, කාර්යක්ෂමතාව හා සමාගමේ ලාභ යනාදියත් ඉහළ නැංවීමට කදිම සහායක් ලැබෙන බව අමතක කරන්න බෑ.