access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

අනවරත ව්‍යවසායකයෙකුගේ ආත්ම භාෂණය

 

Motion Miracles හි නිර්මාතෘ අනිශ් විජේසිංහ (P1)

මන්දගාමී අන්තර්ජාල වේගයන් මෙන්ම අඩු කාර්යක්ෂමතාවක් පැවැති සන්නිවේදන පහසුකම්ද පැවැති අතීතය හා සැසඳීමේදී 2019 වසරේ අප ගෙවූ ජීවිතය සහමුලින්ම වෙනස් එකක්. තාක්ෂණය දින දිනම ශීඝ්‍ර වර්ධනයන්ට ලක් වන අතරම එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සන්නිවේදන රටාවන් හා ව්‍යාපාරික ආකෘතිද බෙහෙවින් වෙනස් වෙමින් පවතිනවා. දැවැන්ත පරිවර්තනයන් හමුවේ සාර්ථක වර්ධනයන් ළඟාකර ගන්නා මිනිසුන් පුළුල් පරාසයක අවස්ථාවන් සම්භාරයක ප්‍රතිලාභ උදාකර ගනිමින් වර්ධනය වන ආකාරය සෑම කාලයකම දකින්න පුළුවන්. කොහොම වුණත්, නිතරම වගේ සිද්ධ වෙන දෙයක් තමයි නිතරම පාහේ ඔවුන් ලබන සාර්ථකත්වය විතරක් අපේ අවධානයට ලක් වෙලා ඒ සාර්ථකත්වය පසුපස ඇති රහස් අපේ ඇසට නොපෙනී තිබීම. සාර්ථක ශ්‍රී ලාංකික ‘අනවරත ව්‍යවසායකයෙකු’ හෙවත් කෙටි කාලයක් තුළ ව්‍යවසායයන් කිහිපයක්ම ආරම්භ කොට සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන්නෙකු (serial entrepreneur) ලෙස හඳුන්වා දිය හැකි අනිශ් විජේසිංහ සමග ඔහුගේ සාර්ථකත්වය පසුපස ඇති හේතූන් ගැන අප කළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කෙරුණා. අප නිතර දැක ඇති ‘Minecraft’ වීඩියෝ ක්‍රීඩාවේ චරිත හා ත්‍රිමාණ සජීවීකරණයන් නිර්මාණය සමග අත්හදාබැලීම වයස අවුරුදු 12 දී පමණ ආරම්භ කළ අනිශ් වයස අවුරුදු 14 වන විටම ප්‍රථම පළමු ව්‍යාපාරය ඇරඹීම සඳහා අවශ්‍ය මූලික වැඩ සහ පර්යේෂණ කටයුතු නිම කර තිබීම සුවිශේෂී කරුණක්. ඒ උත්සාහයත්, උනන්දුවත් ඔහුටවත් පාලනය කරගත නොහැකි වීමේ ප්‍රතිඵලය වුණේ Motion Miracles නමැති ඩිජිටල් ක්‍රීඩා නිපදවන සමාගමට සම-නිර්මාතෘත්වය ලබා දීමත්, ‘ක්‍රිප්ටෝකරන්සි’ හා තොරතුරු තාක්ෂණ සමාගමක් වූ lidar imaging ක්‍රමවේදය යොදා ගනිමින් big data විසඳුම් ලබා දෙන Nimby, මෙන්ම ‘වීඩියෝ බ්ලොග්’ වර්ගයක් ලෙසත් හඳුන්වන්න පුළුවන් vlogging සඳහාම වෙන් වූ Wibble app එකත් ඇතුළු ව්‍යාපාර රැසක් අරඹන්නත් ඔහුට හැකි වීමයි.

 

 

gain knowledge

නවෝත්පාදනාත්මක නිපැයුම් හා සේවා බිහි කරන්න නම් ක්ෂේත්‍ර රැසකම දැනුම එක්රැස් කරගැනීම වැදගත්. (P2)


බහුනිපුණතාවලින් සන්නද්ධ වන්න

ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයෙකු වීමට බලපෑ හේතූන් ගැන මුලින්ම ඇසූ විට අනීශ් අප සමග කියා සිටියේ ‘බහුනිපුණතා’ නැතිනම් ක්ෂේත්‍ර රැසක දක්ෂතා ඇති අයෙකු වීමේ වැදගත්කම ගැනයි. මුල් කාලයේදීම සිය ගමන ආරම්භ කිරීම ඔහුට විශාල වාසියක් උදාකර ඇති අතර විවිධ කාර්යයන් සමබර ලෙස කළමනාකරණය කරගැනීමට ඇති හැකියාව නිසා ඔහුට ව්‍යාපෘති කළමනාකාරවරයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයෙකුත් වෙන්න පුළුවන්කම ලැබී තිබෙනවා. ගූගල් වැනි සුප්‍රකට සමාගම්වල පවා බහුනිපුණතා ඇති පුද්ගලයන් වෙත නිෂ්පාදන කළමනාකරණ වගකීම් පැවරීම සිදු කෙරෙන්නේ විවිධ ක්ෂේත්‍ර රැසක් කෙරෙන් ඉගෙන ගන්නා පාඩම් හා උකහා ගන්නා අත්දැකීම් යොදාගෙන නිෂ්පාදන වඩා වැඩිදියුණු කිරීම උදෙසා නවෝත්පාදනාත්මක අදහස් ඉදිරිපත් කිරීමට ඔවුන්ට ඇති හැකියාව නිසයි. ඕනෑම ක්ෂේත්‍රයකට පහසුවෙන් අනුගත වීමට හැකි මානසිකත්වයක් මෙන්ම මුලින්ම ඇරඹූ සමාගමෙන් ලද මූල්‍යමය සාර්ථකත්වය උපයෝගී කරගත් අනීශ් සිය කැමැත්තෙන්ම ව්‍යාපාර රැසකට අතගසන්නට පියවර ගෙන තිබෙනවා.

අසීරු තත්ත්වයකට අභිමුඛ වෙලා ඊට අනුගත වෙන්න උත්සාහ කිරීම ඉතාම දුෂ්කර දෙයක් විය හැකි නමුත් එහි ප්‍රතිලාභ අති මහත්. එහි වැඩිම වාසිය තමයි ඔබේම දුර්වලතා ඔබටම හඳුනාගන්න පහසු වීම. ඔහුගේ එක් දුර්වලතාවක් වුණේ කාලය වෙන්කර ගැනිම. එහෙත් එයට ඉක්මනින්ම විසඳුම් සොයා ගැනීමට ඔහුට සිදු වුණා. දැන් ඕනෑම නව නිපයුමක් බිහිකරන විට ඔහු කරන දේ තමයි අතීත අත්දැකීම් සිහිපත් කරමින් සිය ඩිජිටල් ක්‍රීඩා සමාගමේ ආකෘති යොදා ගැනීම වගේම drone sensing ව්‍යාපෘතියේ මෙවලම් උපයෝගී කරගනිමින් තාක්ෂණයේ වෙළෙඳපොල ආකර්ෂණය වැඩිකර ගැනීම. විශේෂයෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයක දීර්ඝ කාලීන සාර්ථකත්වයක් ලබාගන්න නම් මෙය අතිශයින්ම වැදගත් දෙයක්. බිල් ගේට්ස්ගේ කියමනක් තරමක් වෙනස් කර සඳහන් කරන්නේ නම්, “ඔබට අද යම් නවෝත්පාදනාත්මක දෙයක් කරන්න අවශ්‍යයි නම්, ඔබ එය පටන්ගත යුතුව තිබුණේ වසර 10 කටවත් කලිනුයි”.

 

 

Support your team

තමන්ට සහයෝගයක් ලැබෙන පුද්ගලයන් සැම වැඩකදීම පෙරමුණ ගන්නවා. එය දීර්ඝ කාලීන සාර්ථකත්වයට ඉතා වැදගත්. (P3)

 

විශිෂ්ට කණ්ඩායම් බිහි වන්නේ සහයෝගයෙන්

ඔබට සතියක් වැනි කාලයක්වත් ඈත්ව සිටින්නට නොහැකි තරම් කිසියම් කණ්ඩායමක් ඔබ මත රඳා පවතිනවා නම් එය තිරසාර පැවැත්මක් ඇති කණ්ඩායමක් නෙමෙයි. ක්‍රියාත්මක වීමට ජවයක් ඇති කාර්යක්ෂම කණ්ඩායමක් සිටීම ඕනෑම සමාගමක සාර්ථකත්වයට ඉතා වැදගත් නමුත් එහිදීද වැදගත්ම දෙයක් තමයි ඒ කණ්ඩායම සංවිධාන ශක්තියෙන්ද පිරිපුන් එකක් වීම. සාර්ථක කණ්ඩායමකට නායකත්වය දීමේ වැදගත්ම සාධකය තමයි අවංක වශයෙන්ම එයට නිසි සැලකීම ලබා දීම. හුදෙක්ම ඉලක්කම් ගැනම සිතීමේ පුරුද්ද වෙනස් කරගෙන ඔබේ කණ්ඩායමේ සිටින මිනිසුන් වෙත අවධානය යොමු කිරීම ඊට අවශ්‍ය වෙනවා. ප්‍රධාන විධායක නිලධාරීවරයෙකුගේ සිට පුහුණුකරුවෙකු දක්වා ඔබේ මානසිකත්වය වෙනස්කර ගැනීම වැදගත්. ප්‍රගතිය ළඟා වන්නේ ඔබේ පුද්ගලයන් දෙස අවංකවම සිතා බැලීමට හැකි වීම තුළිනුයි. ‘ඔබට මේ ගැටළුව තිබෙනවා, අපි මේක විසඳා ගෙන ඉදිරියට යමු’ කියන්න ඔබට හැකි විය යුතුයි. තමන්ට වැටුප් අඩුවීමක් හෝ තනතුර පහළ හෙළීමක් වැනි තත්ත්වයකට මුහුණ පාන්නට සිදු වනු ඇතැයි සැක නොකර සිය දුර්වලතා හා ගැටළු ආදිය ගැන විවෘතව හා නිදහසේ අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ඔවුන්ට ලැබීම වැදගත්.

කැලිෆෝනියාවේ ඇති ‘සිලිකන් නිම්නයේ’ සාර්ථකත්වයට බලපෑ මූලිකම හේතුව වුණේ ව්‍යාපාරික මානසිකත්වයේ ඇති වුණ වෙනස යි. ලෝ ප්‍රකට මේ ව්‍යාපාරික කලාපයේ සාර්ථකත්වයේ පදනම එය වටා ඇති අති විශිෂ්ට විශ්වවිද්‍යාලවලින් ලද බුද්ධිමය ආදානය වුණත් ඒ සාර්ථකත්වය උච්ඡත්වයට පත් කළ සාධකය ලෙස දකින්න පුළුවන් වන්නේ එහි ඇති ප්‍රධාන සමාගම් විසින් අනුගමනය කළ ‘ආදරය පාදක කරගත් කළමනාකරණ’ රටාව යි. ලොව පුරා සමාගම් පමණක් නොව රටවල් පවා අද වන විට ඒ ක්‍රමය අනුගමනය කරන්න උත්සාහ කරනවා. ජනප්‍රිය පාපන්දු පුහුණුකරුවෙකුව සිට පසුව ආයතනික පුහුණුකරුවෙකු බවට පත් වූ බිල් කැම්ප්බෙල් මෙම කළමනාකරණ රටාව ස්ථාපිත කළේ ස්ටීව් ජොබ්ස් හා එරික් ශ්මිත් වැනි අය වෙත උපදේශනය ලබා දෙමිනුයි. ඇපල් හා ගූගල් වැනි සමාගම්වල නැගී ඒමට එය බෙහෙවින් උපකාරී වුණා. කණ්ඩායමක සාමාජිකයන්ට තමන් වෙත සහයෝගයක් ලැබෙන බව හැඟෙන විට එම කණ්ඩායම් අතිවිශිෂ්ඨ කාර්යසාධනයක් ප්‍රකට කිරීම මෙහි රහසයි. එය එක අතකින් තරුණ කුරුල්ලන් පියාසර කිරීමට ලබන දිරිමත් කරවීමට සමානයි.

නමුත්, ආදරය පාදක කරගත් කළමනාකරණය කියන්නේ සුරතල් කිරීමක් නම් නෙමෙයි. අනීශ් කුඩා වියේදී වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙකු බවට පත් වීමට දැඩි කැපවීමකින් කටයුතු කළ සමයේදී ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩකයෙකු වූ රොජර් ෆෙඩරේව පවා පුහුණු කළ ඉහළ පිළිගැනීමක් සහිත පුහුණුකරුවෙකු යටතේ පුහුණුව ලබන්න අවස්ථාව ලැබුණා. එය ඉතා කෙටි කලක් සඳහා පමණක් වුවත් ඒ කෙටි කාලය තුළ ඔහු උකහාගත් දෑ අති විශාලයි. පුහුණුකරු ඔහුව කොතරම් දැඩි ලෙස පුහුණු කළාද කියතොත් සමහර දිනවල ක්‍රීඩා පාවහන් සිදුරු වී බිමට නිරාවරණය වූ පාදවලින් රුධිරය වහනය වීම පවා සිදු වුණා. ඇතැම් පුහුණුවීම් අතරවාරයේදී විටින් විට බිම ඇද වැටුණත් එම කාර්යය නොකඩවා කරන ලෙස පුහුණුකරු ඔහුට බලකර සිටියා. මෙය ඔහුට අමුතුම අත්දැකීමක් වුණා. පුහුණුවීම්වලින් පසුව ඔහුව සමීප මිතුරෙකු ලෙස ආශ්‍රය කළ පුහුණුකරු අනීශ් කෙරෙහි ඇති දැඩි අවධානය හා බලාපොරොත්තුව ඔහුට ප්‍රකට කළා. හොඳම කළමනාකාරවරුන් තමන් හමුවේ ඇති අයට සලකන ආකාරය ගැන කදිම උදාහරණයක් ඉන් සැපයෙනවා. හොඳ පුහුණුවක් ලැබීම සුළුවෙන් තකන්න පුළුවන් ප්‍රතිලාභයක් නෙමෙයි. නමුත්, කුඩා අවදියේදී එවැනි අවස්ථාවක් නොලද අයට පොත් හා ආයතනික පුහුණුකරුවන් කියන්නෙත් ඊට විකල්පයක්.

 

 

Getting investors

ආයෝජකයන් තුළ දනවන්නම ඕන හැඟීමක් තමයි ඔබේ අදහස වෙනුවෙන් ඔවුන් ආයෝජනය නොකළොත් එහි අවාසියත් ඔවුන්ටම විඳින්න වෙන බව දැනවීම. (P4)

 

ආයෝජන ලබා ගැනීම

ආයෝජනකයන්ට නුහුරු ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ ආයෝජන ලබා ගැනීමට හැකි ආකාරය වන්නේ ‘ආයෝජනය නොකළොත් අවාසි වෙයි’ යන හැඟීම නිර්මාණය කිරීමයි. මෙය හුදු බියවැද්දීමකට වඩා සිය ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභ ගැන අවබෝධයක් ඇතිකරන ක්‍රමයක්. අනීශ්ගේ ක්‍රිප්ටෝකරන්සි ව්‍යාපාරය වන ‘Cryptech’ හි තිබෙනවා අදාළ විෂයය ගැන විශේෂඥ දැනුමක් නොමැති ආයෝජකයන්ට පවා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක්. සරලවම කියනවා නම් එය මෙබන්දක් - ‘මේ මුදල් ප්‍රමාණය මෙහි යොදවන්න, වසර දෙකකට පසුව ඔබ මෙතරම් මුදලක් ආයෝජනයේ ප්‍රතිලාභ ලෙස ලබාවි’. ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ මේ ක්‍රමවේදය හැමවිටම පහසු නොවෙන්න වගේම ව්‍යාපාරය මත රඳා පවතින්නක් වෙන්නත් පුළුවන් වුණත් සරලම කාරණය තමයි තමන් අද යම් ව්‍යාපාරයක ආයෝජනය නොකළහොත් මතු දිනක ඒ ගැන පසුතැවෙන්න සිද්ධ විය හැකි බව සිතන්නට ආයෝජකයන් පෙළඹවීම.

මෙය කළ හැකි පහසුම ආකාරය වන්නේ ඔබේ ව්‍යවසායක අනන්‍යතාව පිළිබිඹු කිරීම යි. කිසිදු බාහිර මූල්‍ය ප්‍රතිපාදනයකින් තොරව ඔබ කොතෙක් දුරට ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙනවිත් තිබෙනවාද යන්න සහ ඔබ ඇතුළු වන කර්මාන්තය හෝ ක්ෂේත්‍රය වටහා ගැනීම අවශ්‍ය මූලික පියවර ඔබ විසින් ගෙන ඇති බව පෙන්නුම් කිරීම එහි අදහසයි. එසේ කළ විට ඔබේ ව්‍යාපාරය කොතරම් කාර්යක්ෂම වනු ඇතිද යන්න ගැන දළ අදහස් ඇතිකර ගන්න ආයෝජකයන්ට පුළුවන්. One app-project ව්‍යාපෘතිය සඳහා අනීශ්ගේ කණ්ඩායම සිදු කළ දෙය තමයි වීඩියෝ සංස්කරණය සඳහා වූ හොඳම UX (User eXperience) මෙවලම් යොදාගෙන එම ව්‍යාපෘතියේ මූලාකෘතියක් දියත් කරමින් කෙටි කලක් තුළ කුඩා community එකක් නිර්මාණය කිරීම. එහි ප්‍රගතිය ගැන ආයෝජකයන් තුළ දැනවූ හැඟීම මෙවැන්නක් - ‘මේ කණ්ඩායම දැනටමත් මෙතරම් ඉක්මනින් ඉදිරියට ඇදෙනවා නම්, අප අපේ මුදල් මීට යෙදවුවහොත් ඔවුනට කොතරම් දේ කළ හැකි වනු ඇතිද’ යන්නයි.

ඔබ ලබා දෙන සේවාව හෝ නිෂ්පාදනය වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් ඇති බව ඔප්පු කර පෙන්වීමෙන් ඔබේ ව්‍යාපාරයට ලැබෙන්නේ නොමිනිය හැකි වටිනාකමක්. එමෙන්ම, පාරිභෝගිකයන්ගේ රැචිකත්වයන් ඇගයීමට ලක් කිරීමත් ඔබට අතිශයින් වැදගත්. App එකක් වෙනුවෙන් මුදල් ගෙවන්න කැමති අය කොපමණ සිටිනවාද යන්න සොයාගැනීමට හැකි උපායශීලී ක්‍රමයක් තමයි එය විකිණීම සඳහා පෙනී සිටින වෙබ් අඩවියක් නිර්මාණය කිරීම. කිසියම් අයෙකු ඩොලර් 10 ක් හෝ වෙනත් අදාළ මුදලක් ගෙවා එය මිලදී ගැනීමට උත්සාහ කරනවා නම්, ඔවුන්ව වෙබ් අඩවියේ දෝෂයක් ඇති බවට කණගාටුව ප්‍රකාශ කරන පිටවකට යොමු කරවමින්, අඩවිය නිසියාකාරව ක්‍රියා කරන විට එය දැනුම් දීම සඳහා විද්‍යුත් තැපැල් ලිපිනය ඉල්ලා සිටීම. ඇප් එක මිලදී ගනු ඇතැයි සිතිය හැකි පාරිභෝගිකයන්ගේ දත්ත ගබඩාවක් පවත්වා ගැනීමට මේ අයුරින් හැකි වෙනවා. තවමත් නිෂ්පාදනය කර නොමැති නිපැයුමක් වුණත් මිලදී ගැනීමට පාරිභෝගිකයන් කී දෙනෙකු කැමැත්තෙන් ඉන්නවාද යන්න ආයෝජකයන්ට පෙන්වන්නත් පුළුවන් වෙනවා.

 

 

 

Care from your environment

මුල් අදහස වර්ධනය වීමටත්, ආත්ම විශ්වාසයක් ඇති කිරීමටත් වැදගත්කම දෙයක් තමයි මුල් කාලයේ සිටම සහයෝගී පරිසරයක් ඇති කිරීම.(P5)

රහස් අමුද්‍රව්‍යය

හොදම වේලාවෙදී හොඳම තැනට යෙදුණු කාරණා රාශියකටම අමතරව අනීශ්ගේ සාර්ථකත්වයට බලපෑ වැදගත්ම හේතුව වුණේ ආදරණීය පවුල් පරිසරයක් පැවතීමයි. මෙය ඔහුගේ සාර්ථකත්වයේ ප්‍රධානතම අමුද්‍රව්‍යයි. ඔහුගේ ව්‍යවසායක ජීවිතයේ තීරණාත්මක මොහොත උදා වූයේ අප සියලුම දෙනා කරන දෙයක් වන අත්හදාබැලීම තුළින් ඉගෙනගැනීමෙනුයි. වයස අවුරුදු 13 දී මව්පියන් විසින් අරන් දුන් මූලික මට්ටමේ පරිගණකය පරිශීලනය කිරීමේදී Minecraft චරිතවල ත්‍රිමාණ සජීවීකරණය ඇතුළත් Youtube වීඩියෝ නරඹන්න ඔහුට හැකි වුණා. සෑම දරුවෙකුම කරන දෙයක් තමයි ක්‍රීඩා කරන හැම විටම පාහේ චරිත යොදාගෙන අලුත් අලුත් කතා නිර්මාණය කරගැනීම. නව චරිත භාගත කරගනිමින් හා නව සජීවීකරණ නිර්මාණය කරමින් ඔහුත් පරිගණකය යොදගෙන ඒ දෙයම කළා.

අප කරන වැඩ හැමවිටම අපේ මනසේ ඉඩක් වෙන්කර ගන්නවා. ඒ දේවල් ගැන අප සිතන පතන දේවල් පවා හැඩගැස්වෙන්නේ අපේ ජීවිතයේ වෙනත් පැති කෙරෙන්. සැබෑම රුචිකත්වයන්ගෙන් ප්‍රතිලාභ උදාකර ගැනීම උදෙසා මානසික සීමා බාධක අඩුකර ගැනීම වගේම ජීවිතයේ සෑම පැතිකඩකින්ම ඉගෙනගැනීම නිසා සිදු වන දෙය නම් අප වැඩ කරන ආකාරය වෙනස් වීමට ලක් වීමයි. වැඩි වැඩියෙන් වර්ධනය වීමට අවස්ථා විවර වීම එවිට සිදු වෙනවා. වැඩ කියන්නේ කෙනෙකුගේ ජීවිතයටම කාවැදී ඇති දේවල්. එමෙන්ම, සෑම අයෙකුම තවත් පුද්ගල ජාලයකටම සම්බන්ධිතව සිටිනවා. මේ නිසා එකිනෙකාගෙන් බලපෑම් ඇති වීම බොහෝ විට සිදු වන දෙයක්. මිනිසුන් ජාලයක කොටසක් වීමම සහයෝගය දනවන්නක්. විශේෂයෙන්ම ජීවිතයේ මුල්ම කාලයේදී පවුලෙන් ලැබෙන සහයෝගය නිසා ආත්ම විශ්වාසයක් ජනිත වීමට විශාල පිටුබලයක් ලැබෙනවා. වෘත්තීය ජීවිතයේදී වුණත් සහයෝගී සංස්කෘතියක් පවතින විට නව අදහස් සොයා යාමට හා පවතින අදහස්වල ගැටළු නිරාකරණය කරගැනීමට එවැනිම උපක්‍රම හා ක්‍රමවේද යොදාගන්න පුළුවන්.

   

References

පින්තූර:

P1. Inside Access

P2. freepik

P3. rawpixel via freepik

P4. chayanuphol via freepik

P5. migueltamayofotografia via freepik

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.