එන්ඩොස්කොපික සැත්කමක් සිදු කෙරෙන අවස්ථාවක් (P1)
එන්ඩොස්කොපික සැත්කම
***(එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදු කෙරෙන සැත්කම - Endoscopic Surgery)***
එන්ඩොස්කොපික සැත්කම යනු, එන්ඩොස්කොපික වීඩියෝ කැමරාවක් සහ එන්ඩොස්කෝප්ස් (endoscopes) ලෙස හැදින්වෙන, සිහින් උපකරණ කීපයක් යොදාගනිමින් සිරුරු කුහරයක් තුළ සිදුකෙරෙන, අවම මැදිහත්වීමක් සහිත (minimally invasive) සැත්කම් ක්‍රියාවලියක්. (1)ශල්‍ය වෛද්‍යවරයා මුලින් කුඩා කැපුම් සිදු කර, පෝට්ස් (ports) නමින් හැදින්වෙන ප්ලාස්ටික් බට ස්ථානගත කරනවා. කැමරාව සහ අනෙක් එන්ඩොස්කෝප්ස්, රෝගියා තුළට ඇතුළු කරන්නේ එම පෝට්ස් හරහායි. ඇතුළු කළ කැමරාව හරහා රෝගියාගේ සිරුර තුළ සිට, මොනිටරයක් මතට වීඩියෝ දර්ශන සම්ප්‍රේෂණය කෙරෙනවා. සැත්කම් කාර්යය සිදු කිරීමට ශල්‍ය වෛද්‍යවරයා මේ වීඩියෝව උපයෝගී කරගන්නවා.
වෛද්‍යවරයෙක් කල්පිත යථාර්ථය සහිත රොබෝ තාක්ෂණයෙන් නිමවූ යන්ත්‍රයක් පාචිච්චි කරමින් (P2)
යොදාගන්නා තාක්ෂණය
එන්ඩොස්කොපි යන්ත්‍ර එක්කෝ ද්විමානයි නැත්නම් ත්‍රිමාණයි. ත්‍රිමාණ එන්ඩොස්කොපි යන්ත්‍රයක් තිරය මත ත්‍රිමාණ රූපයක් ඇතිකර, ශල්‍ය වෛද්‍යවරයාට වැඩි ගැඹුරකින් රෝගියාගේ ඇතුළත බලා ගැනීමට අවස්ථාව සලසනවා.
එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදුකෙරෙන ද්විමාන සහ ත්‍රිමාණ ඇඩ්රිනලෙක්ටමි (adrenalectomy - ඇඩ්රිනලින් ග්‍රන්ථිවල එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදුකෙරෙන සැත්කම) සැත්කම් පිළිබඳ වෙනස හඳුනාගැනීම සඳහා සිද්ධි අධ්‍යනයක් සිදු කෙරුණා. ඒ අධ්‍යනයේදී තේරුම් ගියේ, ත්‍රිමාණ එන්ඩොස්කොපි මගින් සැත්කමට වැය වන කාලය අඩු කෙරුණත්, අත්දැකීම් සහිත ශල්‍ය වෛද්‍යවරුන් අතින් මේ ක්‍රියාවලිය සිදු වෙද්දී වැය වන කාලය පිළිබද වෙනස එතරම් අදාළ නොවන බවයි.
අවම මැදිහත් වීම සහිත සැත්කම් සම්බන්ධ අලුත්ම සොයාගැනීමක් තමයි රොබෝ තාක්ෂණය යොදාගැනෙන සැත්කම්. ත්‍රිමාණ දර්ශන, කඩිසර බව හා ශල්‍යකර්මයේ නිශ්චිත බව වැඩි කරන මැණික් කටුව ප්‍රදේශයෙන් කළ හැකි අතිරේක චලන වැනි ප්‍රයෝජන ගණනාවක් එහි තියෙනවා.
කොහොම වුණත් මෙම උපකරණ පාචිච්චි කිරීමේදී, ඒවා මිල අධික වීම හා ඒවා එකලස් කිරීමට හා අවසානයේදී නැවත වෙන් කිරීමට යන කාලය සැත්කමේ කාල පරාසයට එකතු වීම වැනි ප්‍රායෝගික දුෂ්කරතා කීපයකුත් තියෙනවා.
ඔබේ සිරුරට ආදරය කරන්න (P3)
එන්ඩොස්කොපිවල ප්රතිලාභ කීපයක්:
- වේදනාව අඩු වීම
- ආසාදන අඩු වීම
- සංකූලතා අඩු වීම
- වඩා ඉක්මණින් සුව වීම
- රූපාලංකාර අතින් වඩා උසස් වීම
- විවෘත සැත්කම්වලට වඩා දහ-පහළොස් වතාවක් මෙහි දර්ශන පැහැදිලි නිසා, ශල්‍යකර්මය වඩාත් සුපරීක්ෂිතයි. ඒ නිසා රුධිර වහනය අඩුයි, ශල්‍යකර්ම නිසා හටගන්නා ඇලීම් (adhesions) අවමයි.
මෙම වාසි නිසා රටවල් කීපයකම එන්ඩොස්කොපි තාක්ෂණය පුළුල් ලෙස යොදාගැනෙමින් තියෙනවා. ඒ රටවල් වැඩි ගණනක, ඇතුළු කෙරුණු එන්ඩොස්කොපික කැමරාවෙන් පටිගත කෙරුණු ශල්‍යකර්මයේ වීඩියෝව, රෝගියාට ලබා දෙනවා. රෝගියාගේ වෛද්‍ය ඉතිහාසය ගැන අවබෝධයක් ඇති කරගන්න මේ වීඩියෝව පසුව වෙනත් වෛද්‍යවරුන්ට ලබාදෙන්න පුළුවන්. එමගින් රෝගීන්ට ලබාදෙන සෞඛ්‍ය සේවා පැහැදිලිව ඉහළ නංවන්න පුළුවන්.