access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

කඩිසර කම්හල්: ඩිජිටල්කරණය නිෂ්පාදනය විපර්යාසයට ලක් කරන අයුරු - 1 කොටස

 

බොහෝ නිෂ්පාදන දාමවල රොබෝවරුන් සේවය කිරීම දැන් සුලභ දසුනක් (P1) Image credits: Phasmatisnox

සම්පාදනය: රැන්ඩි ස්ටර්න්ස්
මෙම ලිපිය “Leaner than Lean: How Digitalization Transforms Manufacturing” යන හිසින් යුතුව GE රිපෝට්ස් (GE Reports) හි මුල් වරට පළ විය. පාඨකයින්ගේ පහසුව තකා එය මෙහි දී කොටස් 2 කට වෙන් කොට පළ කෙරේ. දෙවැනි කොටස මෙතැනින් කියවන්න.

ඔබට නිෂ්පාදනයේ අනාගතය දැකගැනීමට අවශ්‍ය නම්, ජපානයේ තෝකියෝවේ හනේඩා (Haneda) ගුවන් තොටුපලේ සිට හිනෝ (Hino) හි පිහිටි GE හෙල්ත්කෙයාර් (GE Healthcare) මධ්‍යස්ථානය දක්වා ටමා නදිය (Tama River) දිගේ කිලෝමීටර් 45 ක් පමණ උඩුගං බලා ගමන් කරන්න. පිටතින් බැලූ විට ගතානුගතික, කුඩා ගොඩනැගිලි සහිත ව්‍යාපාරික සංකීර්ණයක් ලෙස පෙනෙන මෙය තුළ, එක් එක් විශේෂිත අංගයන් ගෙන් සමන්විතව, නිෂ්පාදනයේ අනාගත සැලැස්ම සැකසෙමින් පවතිනවා.

හිනෝ කම්හල, විශාල වෛද්‍ය ස්කෑනර සහ කුඩා, සූක්ෂ්ම උපකරණ යන දෙවර්ගයම නිපදවනවා. උසස් ඩිජිටල් තොරතුරු තාක්ෂණය, මෙහෙයුම් පද්ධති සමඟ සාර්ථකව සංකලනය කිරීමට ස්තුති වන්නට මේ හා සමාන වෙනත් ස්ථාන හා සසඳන විට, එහි නිෂ්පාදන දාම විශේෂයෙන් කාර්යක්ෂමයි – වේගවත්, අපද්‍රව්‍ය අඩුයි, දෝෂ හා සැලසුම් නොකළ ක්‍රියා විරහිත වීම් අඩුයි. කම්හල් භූමියේදී මේ විදිහට දෘඪාංග සහ මෘදුකාංග ඒකාබද්ධ වීම GE හඳුන්වන්නේ විශිෂ්ට කම්හල වශයෙනුයි.

ඒත් විශිෂ්ටතාව රැඳී තියෙන්නේ සංවේදක හා රේඩියෝ-සංඛ්‍යාත හඳුනාගැනීමට
(radio-frequency identification – RFID) වඩා ඒවායේ භාවිතයට මඟ පෙන්වන ප්‍රවේශය තුළයි: නිෂ්පාදනයේ දී අපතේ යාම් නවතා දැමීම සඳහා සැලසුම් කෙරුණු අවමතා මූලධර්ම (Lean principles) සහ නිෂ්පාදන කාර්යය අඛණ්ඩව සුසර කිරීමේ හැකියාව ලබා දෙන උසස් ඩිජිටල්කරණයේ ශූර සංකලනයක් නිසයි.

මේ අතින් ගත් විට, හිනෝ කම්හල පවතින්නේ කාර්මික අන්තර්ජාලය, 2 වැනි ලෝක යුද්ධයෙන් පසු ටොයෝටා විසින් පුරෝගාමීත්වය දෙනු ලැබූ අඛණ්ඩ වැඩිදියුණු කිරීම පිළිබඳ ජපන් සංකල්පය වන කයිසෙන් (Kaizen) මුණගැසෙන තැනයි. එය නිෂ්පාදනයේ දී නාස්තිය තුරන් කිරීමේ අවමතා ක්‍රමවේද සඳහා යටිතලය සපයනවා. “අපි කරමින් ඉන්නේ, අවමතා පදනමක් මත, ඩිජිටල් මෙවලම් සහ උසස් නිෂ්පාදන විසඳුම් යොදාගැනීමයි,” GE හෙල්ත්කෙයාර් හි ගෝලීය අවමතා නිෂ්පාදනය පිළිබඳ සාමාන්‍යාධිකාරී ෆ්‍රෙඩ්රික් මෝර්මාන් (Frederick Mauermann) කියනවා. “අපි හොයාගත් ලොකුම ප්‍රතිලාභය ලබා දෙන වට්ටෝරුව ඒකයි.”

මේ ප්‍රවේශය ප්‍රතිඵලදායකයි. හිනෝ කම්හලේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අත්සුෂි මොරිමොටෝ (Atsushi Morimoto) කියන්නේ ඩිජිටල්කරණය සහ අවමතා නිෂ්පාදනය “සමාගමේ ආයෝජනයෙහි ඵලදායකත්වය උපරිමයට නංවන” බලවත් සමයෝගිතාවන් (synergies) නිර්මාණය කරන බවයි. හිනෝ කම්හලේ සමහර නිෂ්පාදනවල නිපැයුම් කාලය සියයට 65 දක්වා පහළ ගිහින්. එක පේළියක් නිපදවන්නේ CT ස්කෑනර රාමු. ඒ කියන්නෙ රෝගියෙක් වටේට තියෙන, ස්කෑනරයේ එක්ස්-කිරණ නළ ඇතුළත් කරගන්නා විශාල ඩෝනට් හැඩයේ ආවරණ සහ වෙනත් අනාවරක නිපදවනවා. 1982 දී ජපානයේ GE හෙල්ත්කෙයාර් සිය මෙහෙයුම් ආරම්භ කරද්දී මේ රාමුවක් නිෂ්පාදනය කිරීම සඳහා ගත වුණු නිපැයුම් කාලය ආසන්න වශයෙන් සතියක්. අද, ඒ නිෂ්පාදන කවුළුව මැනෙන්නේ මිනිත්තු ගණනින්.

   
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.