access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

කඩිසර කම්හල්: ඩිජිටල්කරණය නිෂ්පාදනය විපර්යාසයට ලක් කරන අයුරු - 2 කොටස

 

“අපි කරමින් ඉන්නේ, අවමතා පදනමක් මත, ඩිජිටල් මෙවලම් සහ උසස් නිෂ්පාදන විසඳුම් යොදාගැනීමයි,” GE හෙල්ත්කෙයාර් හි ගෝලීය අවමතා නිෂ්පාදනය පිළිබඳ සාමාන්‍යාධිකාරී ෆ්‍රෙඩ්රික් මෝර්මාන් (Frederick Mauermann) කියනවා

දායකත්වය: රැන්ඩි ස්ටර්න්ස්
මෙම ලිපිය “Leaner than Lean: How Digitalization Transforms Manufacturing” යන හිසින් යුතුව GE රිපෝට්ස් (GE Reports) හි මුල් වරට පළ විය. පාඨකයින්ගේ පහසුව තකා එය මෙහි දී කොටස් 2 කට වෙන් කොට පළ කෙරේ. මෙය 2 කොටසයි. ඔබ තවමත් 1 කොටස කියවා නැත්නම්, එය මෙතනයි.

අපි කරමින් ඉන්නේ, අවමතා පදනමක් මත, ඩිජිටල් මෙවලම් සහ උසස් නිෂ්පාදන විසඳුම් යොදාගැනීමයි,” GE හෙල්ත්කෙයාර් හි ගෝලීය අවමතා නිෂ්පාදනය පිළිබඳ සාමාන්‍යාධිකාරී ෆ්‍රෙඩ්රික් මෝර්මාන් (Frederick Mauermann) කියනවා. “අපි හොයාගත් ලොකුම ප්‍රතිලාභය ලබා දෙන වට්ටෝරුව ඒකයි.” ඡායාරූප අනුග්‍රහය: GE Japan/GE Reports. (P1)

GE සතුව මේ විදිහේ කම්හල් හතක් තියෙනවා - ඒ හැම එකක්ම රසායනාගාරයක්, පුහුණු මධ්‍යස්ථානයක් හා ලාභ ලබන නිෂ්පාදන අඩවියක් එකට ගොනු කරල හැදුනු තැන්. GE විශිෂ්ට කම්හල්, 2015 දී මුළින් ම ආරම්භ කළ අතර, මේ වසර (2017) අවසානය වන විට කම්හල් 18ක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා.

මෙහෙයුම් හිර කපොලු (bottlenecks) හා වෙනත් බාධක, කර්මාන්තය හා නිෂ්පාදිතය අනුව වෙනස් වන නිසා ඩිජිටල්කරණයේ ඉලක්ක හා අපේක්ෂිත ප්‍රතිඵලත් වෙනස් වෙනවා. ඒත් මේ සියල්ලට මඟ පෙන්වන මූලධර්මය එකයි: කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නංවන වර්ධක දියුණු කිරීම් නොකඩවා ගවේෂණය කිරීමයි.

හිනෝ (Hino) විශේෂයෙන් කැපී පෙනෙන්නේ කයිසෙන් (Kaizen) මූලධර්මය කෙරෙහි ගැඹුරු හා නොකඩවා පවත්වාගෙන යන කැපවීම නිසයි. කයිසෙන් ක්‍රියාදාමයන්ට සහභාගි වීම මගින්, සියලු මට්ටම්වල සේවකයින් තමන්ගේම තීක්ෂණදෘෂ්ටීන් ඉදිරිපත් කිරීමට හා මෙහෙයුම් සඳහා විභව වෙනස්කම් අත්හදා බැලීම සඳහා බලගැන්වෙනවා. කම්හල බැඳීසිටින්නේ ප්‍රමිතිගත වැඩ පිළිබඳ සංකල්පයටයි. එහිදී අකාර්යක්ෂමතා නැති කිරීම සඳහා තිබෙන අවස්ථා ඉස්මතු කිරීමේ අරමුණින් කාර්යයන් පැහැදිලිව නිර්වචනය කොට වාර ගණනාවක් නැවත සිදු කරනවා.

“ඔබ ඒ කම්හලට අඩිය තිබ්බොත්, ඔබේ අවධානය දිනාගන්නා ප්‍රධානතම දේ වෙන්නේ සුළු කරුණුවලට දක්වා තිබෙන අවධානය සහ වැඩවල ප්‍රමිතිය මොන තරම් හොඳින් නිර්වචනය කෙරී තියෙනවාද යන්නයි” මෝර්මාන් කියනවා. “එහි සිටින කණ්ඩායම නිෂ්පාදනය සුසර කිරීම සඳහා නොකඩවා වැඩ කරනවා. උපකරණයක් හෝ කොටසක් ලබාගැනීම සඳහා පේළියෙන් ඉවතට ඇවිදගෙන යන්න තියෙන සියලු අවශ්‍යතා අහෝසි කිරීම මෙයින් අදහස් වෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය වූ විට, අවශ්‍ය දේ තමා වෙත ගෙන ඒමට විධික්‍රම ඔවුන් විසින් නිර්මාණය කරගෙන තියෙනවා.”

වැඩපොළ තුළ සෑම පියවරකට ම අවශ්‍ය කෙරෙන අංගෝපාංග, ඒවා භාවිත කෙරෙන අනුපිළිවෙලට පෙළගස්වා, මෙවලම් කරත්තවලට පුරවා තියෙනවා. මෙය අනවශ්‍ය කාලය හා යාම්ඊම් අඩු කර, එකලස් කිරීමේදී කිසිදු කොටසක් අමතක නොවන බවට සහතික කිරීම මගින් ගුණාත්මක බව පවත්වාගෙන යාමට උපකාර වෙනවා. කරත්ත භාවිත කෙරෙන්නේ කෙසේද යන්න සංවේදක මගින් වාර්තා කෙරෙන අතර, ප්‍රතිඵල වර්ණ කේත මගින් දැක්වෙනවා: නියමිත කාලයට සම්පූර්ණ කළ විට කොළ පාට; මිනිත්තු කිහිපයක් ප්‍රමාද වුවහොත් කහ පාට; සහ මිනිත්තු 10ක් හෝ ඊට වඩා ප්‍රමාදයක් දැක්වීමට රතු. 

 

Man pointing at an image on a screen

කරත්ත භාවිත කෙරෙන්නේ කෙසේද යන්න සංවේදක මගින් වාර්තා කෙරෙන අතර ප්‍රතිඵල වර්ණ කේත මගින් දැක්වෙනවා. ඡායාරූප අනුග්‍රහය: GE Japan/GE Reports (P2)

නිෂ්පාදනයේදී සංකූලතා ඇති වුණොත්, හිනෝ හි “eAndon” (නැතහොත් “eSignal”) පද්ධතිය වේලාව, ස්ථානය හා ගැටලුවේ අන්තර්ගතය නිශ්චිතව දක්වමින් පණිවිඩයක් සම්ප්‍රේෂණය කරනවා. කම්කරුවකුට QR කේතයක් හෝ අසල ඇති පරිගණක ටර්මිනලයක පහළට අදින මෙනුවක් යොදාගනිමින් අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කළ හැකි අතර, පැළඳ සිටින උපකරණයක් ඔස්සේ කළමනාකරුවන්ට එය ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්.

සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම තථ්‍ය-කාල (real-time) නිරීක්ෂණයට ලක් කිරීම සඳහා පද්ධතිය ඉඩ සලසනවා – මෙය සුනිශ්චිත අල්ට්‍රාසවුන්ඩ් අන්වේෂක (ultrasound probes) හා CT ස්කෑනර සංවේදක සඳහා වන නිෂ්පාදන පේළි සම්බන්ධයෙන් විශේෂයෙන් තීරණාත්මකයි. මේ කාර්යයට සැලකිය යුතු නිපුණත්වයක් හා තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. මෙහිදී බොහෝ කුඩා කොටස් සමග වැඩ කිරීම අවශ්‍ය වන අතර, කිසිදුවරදකට ඉඩක් නැහැ. අල්ට්‍රාසවුන්ඩ් අන්වේෂක වැනි ඇතැම් දෝෂ සහිත නිෂ්පාදන ගොඩගන්න බෑ, ඉවත දමන්නම වෙනවා.

එවැනි වියදම් අධික දෝෂ වළක්වාගැනීම සඳහා, අල්ට්‍රාසවුන්ඩ් අන්වේෂක නිෂ්පාදන පේළිවල, ප්‍රෙඩික්ස් (Predix)කාර්මික අන්තර්ජාලය (Industrial Internet) සඳහා GE හි මෘදුකාංග වේදිකාව – මත ධාවනය කෙරෙන උසස් Enterprise Pulse Insight (EPI) මෘදුකාංග භාවිතා කෙරෙනවා. එ් ඉන්වෙන්ටරිය, නිපැයුම හා කෙරෙමින් පවත්නා වැඩ (work in progress - WIP) ගැන අවශ්‍ය තොරතුරු සේවකයින්ට දැනුම් දීම සඳහායි.

 

Women at a factory working with smart glasses

ඉහළ: හිනෝ කම්හලේ සේවකයෝ ඵලදායකත්වය වැඩි කිරීම සඳහා ස්මාර්ට් කණ්ණාඩි මත රඳා පවතිනවා. ඡායාරූප අනුග්‍රහය: GE Japan/GE Reports(P3)

උපකරණවල පිහිටීම ප්‍රශස්ත කිරීම සඳහා රැහැන් රහිත සංඥා එළි මඟින් ක්‍රියාකරුවන්ගේ චලන සටහන් කරගැනෙනවා. ලැප්ටොප් හෝ විමර්ශනය සඳහා අවශ්‍ය දෑ එහාමෙහා ගෙන යාමෙන් ගැලවී සිටීමට හැකිදැයි බැලීම සඳහා, සේවකයින් පැළඳිය හැකි ස්මාර්ට් කණ්ණාඩිත් අත්හදා බලමින් ඉන්නවා. මේ කණ්ණාඩි සේවකයින්ට දුර සිට උපදෙස් දීම හා පුහුණු කිරීම සඳහාත් යොදාගැනීමේ හැකියාව තියෙනවා.

කුඩා දේවලට දක්වන අවධානය හා කාර්යයන් නිශ්චිතව නිර්වචනය කිරීම, විශිෂ්ට කම්හල් ව්‍යායාමයේ වේගවත් සහ නැවත නැවතත් කෙරෙන වැඩිදියුණු කිරීම් සමඟ මනාව ගැළපෙනවා. “අපි ඉලක්ක කරන්නේ ඩිජිටල්කරණය සඳහා නිශ්චිත ලෙස නිර්වචනය කෙරුණු කාර්යයන් – ඉතාම සරල විසඳුම් යොදාගෙන මෙතනින් තත්පර 30ක් අඩු කරනවා, නැත්නම් අතනින් පියවර පහක් ඉවත් කරනවා,” මෝර්මාන් කියනවා. “ඒ නිසාම, අපිට ඉතා හොඳ පිරිවැය සඵලතාවක් අත්පත් කරගන්න පුළුවන්.”

සෑම ඩිජිටල් විසඳුමක්ම, මීළඟ කයිසෙන් ක්‍රියාකාරකමේදී ඉලක්ක කරගත යුත්තේ කුමක්ද යන්න නිශ්චය කරගැනීම සඳහා උදව් විය හැකි අතිරේක දත්ත සම්පාදනය කරනවා. මෙය අවමතාවේ වේගය වැඩි කරමින් - ඇත්ත වශයෙන් අවමතාව, කාලයත් සමග වඩාත් අවම කරමින් - එක වර චක්‍රීය හා වර්ධනීය වෙනවා.

   
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.