ජීවය කියන තේරුම තියෙන bios කියන ග්‍රීක වචනයේ මූලයෙන් බිඳී ආ biomimicry (ජෛව අනුකරණය), මුලින්ම භාවිතයට ආවේ 1962 දී. එ් වගේම තමයි අනුකරණය හෝ ප්‍රතිනිර්මාණය යන අදහස ඇති mimikos කියන වචනය. ජෛව අනුකරණය, ස්වභාවධර්මයෙන් ලබන නිර්මාණාවේශය නිෂ්පාදන, සැකසුම් හා පරිසර පද්ධති සැලසුම්කරණයේ පෙරමුණට ගෙනවුත් තිබෙනවාා.
ඉංජිනේරුමය හා ව්‍යාපාරික ගැටලු ප්‍රායෝගිකව විසඳීමේ මාර්ගයක් ලෙස, ස්වභාවික විද්‍යා ක්ෂේත්රයේ නවතම සොයාගැනීම් අනුව, විවිධ කටයුතු සඳහා ජෛව අනුකරණය යොදා ගැනීමට මඟ පෑදෙනවා. මෙය සිදු කෙරෙන ක්‍රමවේද මේ විධියට වෙන් කර දක්වන්න පුළුවන්:
1) අමුද්‍රව්‍ය තෝරාගැනීම
2) භාණ්ඩවල යාන්ත්‍රණය (Object mechanics)
3) ව්‍යුහමය සහ සමූහ ගතිකය (Structural and group dynamics)
සැලසුම් විද්‍යාඥයෝ (design scientists) ස්වභාවධර්මය නිරීක්ෂණය කරමින් සිය නිෂ්පාදන වඩාත් මටසිලිටි කරමින් ඉන්නවා විතරක් නෙවෙයි, වැඩබිමේ හැසිරීම් සහ ක්‍රියාකාරිත්වය වඩාත් පැහැදිලිව ස්ථානගත කරමින් ඉන්නවා. මෙම නිරීක්ෂණ නිසා කාර්යක්ෂමව සහ සකසුරුවම්කමින් යුතුව බොහෝ දුෂ්කරතා වළක්වාගන්න ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. අපි මෙහිදී ස්වභාවධර්මය වෙතින් නිර්මාණාවේශය ලැබූ සැලසුම් සහිත, නිශ්චිත නිපැයුම් කීපයක් දෙස බලමු.
තුත්තිරි වැනි ගස් වල ඇති බර් (burr) කොකු වල අනුරුවක් වන වෙල්ක්‍රෝ (P2)
ඇලෙනසුලු (burr - බර්) රෙදිපිළි
ස්වභාවධර්මය අනුව යමින් කර ඇති නිර්මාණ අතරින් ප්‍රසිද්ධම එකක් තමයි වෙල්ක්‍රෝ. එය නිර්මාණය කිරීමට පෙර, වාර ගණනාවක් තාවකාලිකව යම් දේවල් දෙකක් එකට අලවා තැබීම, විසඳා නැති නිර්මාණ අභියෝගයක් වුණා. ජෝජ් ද මෙස්ට්රල් (George de Mestral) කියන ස්විස් ජාතික නිර්මාණ ඉංජිනේරුවා, සතුන්ගේ ලොම්වලට ඇලී පරාගණය සඳහා එහා මෙහා ගමන් කරන තුත්තිරි වැනි ගස්වල ඇති බර් කොකුවලින් නිර්මාණාවේශය ලබා, වෙල්ක්‍රෝ නිර්මාණය කළා. සපත්තුවල සිට විවිධ රෙදි වර්ග සහ කැන්වස් දක්වා විවිධ දේවල්, තාවකාලිකව එහෙත් ආරක්ෂිතව අලවාගැනීම සඳහා, මේ වන විට වෙල්ක්‍රෝ යොදා ගැනෙනවා. (3)
බුලට් ට්‍රේන්වල (අධිවේගී දුම්රියේ) ඉදිරිපස 'නාසය' නිර්මාණය කොට ඇත්තේ පිළිහුඩුවාගේ හොටේ හැඩයටයි (P3)
පිළිහුඩු කෝච්චි
සාමාන්‍යයෙන් 'බුලට් ට්‍රේන්' ලෙස හැඳින්වෙන ශින්කන්සෙන් (shinkansen) අධිවේගී දුම්රිය, ජෛව අනුකරණය ක්‍රියාවට නැංවූ තවත් අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. බුලට් ට්‍රේන්වල නාසයේ හැඩය නිර්මාණය කර තියෙන්නේ පිළිහුඩුවෙකුගේ හොටේ හැඩයටයි. ජපාන දුම්රිය සමාගමේ (Japan Railway Company) එජි නකට්සු (Eiji Nakatsu) කියන ඉංජිනේරුවා, මේ අධිවේගී දුම්රිය නිර්මාණය කරන්න, පක්ෂි නිරීක්ෂක කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කළා. අඩු ප්‍රතිරෝධයක් සහිත මාධ්‍යයක (වාතයේ) සිට, වැඩි ප්‍රතිරෝධයක් සහිත මාධ්‍යයකට (ජලයට), ඉතා අඩු හෝ කිසිම ජල විසිරීමක් නැතිව පියාඹන්න පිළිහුඩුවාට ඇති හැකියාව නිරීක්ෂණය කරල, උගේ හොටේ හැඩය, බුලට් ට්‍රේන් එකේ 'නාසය' හදන්න නිර්මාණ ආවේශය ලෙස එජි විසින් යොදා ගැනුණා. මේ හැඩය, බුලට් ට්‍රේන් එක උමඟකට ඇතුළු වෙද්දී ඇති වන පීඩනයේ අධික වෙනස්කම්වලට ඔරොත්තු දෙන්න උපකාරකයක් වුණා. (4)
කුඩා දත් සහිත රෙදිපිළි (P4)
මෝර දත් සහිත පිහිනුම් ඇඳුම්
MAS සහ Speedo යන සමාගම් වල සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් වන ලීනියා ඇක්වා (Linea Aqua) සමාගම, ‘fastskin’ ('වේගීසම') නමින් හැඳින්වෙන අතිසාර්ථක පිහිනුම් ඇඳුමක් නිර්මාණය කළා.(5) එය 2008 දී මයිකල් පෙල්ප්ස් (Michael Phelps) විසින් අත්පත් කරගත් වාර්තාගත ජයග්‍රහණ ගණනාවකට උදව් වුණා. එම නිර්මාණයේදී, මෝරෙකුගේ සම අනුකරණය කරමින් එහි මතුපිට පුරාවට ඇති, එක පිට එක වැටෙන ‘චර්මීය දන්තික' ('dermal denticles’) (කුඩා දත්) නිර්මාණය කෙරෙනවා. මෙම චර්මීය දන්තික මෝරාගේ සම මතුපිට පෘෂ්ඨය හරහා ජල සුලි ඇති වීම වළක්වනවා. මෙමඟින් මෝරාගේ සිරුර හෝ පිහිනුම් ඇඳුම මතින්, ජලය වඩාත් වේගයෙන් තල්ලු වීමට ඉඩ සැලසෙනවා. (6)
කෙසේ වුවද, නව පර්යේෂණ මඟින් පෙන්නුම් කෙරෙන්නේ, මිනිස් සමේ ඇති සීමිත නම්‍යතාව නිසා, මෙම නිර්මාණය අපේ සිරුරට ලැබෙන්නේ අඩු උදව්වක් බවයි. මෙම චර්මීය දන්තික මෝරෙකුගේ සමේ පටල සමඟ චලනය වෙමින් අඩු පීඩන කලාප ඇති කොට, මෝරාව වඩාත් වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා. (7)
විද්‍යුත් දර්ශන තිරවල බලශක්තිය ඉතුරු කරගැනීමේ විධික්රමයක් නිපදවීමට මොනර පිහාටු වල වර්තන (refraction) ක්‍රමවේදය අනුකරණය කරල තියෙනවා (8) (P5)
නිගමනය
අමුද්‍රව්‍ය තෝරාගැනීම සහ භාණ්ඩ නිර්මාණයට අමතරව, විවිධ ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වය කෙරෙහිත් ජෛව අනුකරණයේ බලපෑම ලැබී තිබෙනවා. ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පමණක් නොව, වඩාත් පරිසර හිතකාමී අවකාශ නිර්මාණය කිරීමටත් ජෛව අනුකරණය යොදා ගන්න හැකියාව තියෙනවා.