access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

යකාවැව ජයවැව!

 

ජලාශය එළිපෙහෙළි කිරීම (P1)

 
හැඳින්වීම

කැබිතිගොල්ලෑවේ යකාවැව, ශ්‍රී ලංකාවේ උතුරු මැද පලාතේ වවුනියා නගරයට සැතපුම් 23ක් ගිනිකොන දෙසින් පිහිටි පිටිසර මක්. වෙනස් වන කාලගුණික රටාවන් නිසා, 2014 දී මෙම ප්‍රදේශයේ ජනතාවට නියඟයෙන් දැඩි බලපෑමක් ඇති වුණා. ගමේ නියෝජිතයින් වගේම අදාළ නිලධාරීනුත් මුණගැහිලා සාකච්ඡා කරලා, ගමේ පවතින පහත ප්‍රශ්න හඳුනාගැනුණා:

1. මහ කන්නයේ වී ගොවිතැන සඳහා රැස් කර පවතින ජලය ප්‍රමාණවත් නොවන බව

2. යල කන්නයේ වර්ෂාව අඩු වීම නිසා වසර පුරාම ගොවිතැන් කිරීමට නොහැකි බව

3. පිරිසිදු, විශ්වාසය තැබිය හැකි සහ පහසු ප්‍රවේශය තියෙන ජල මූලාශ්‍ර හිඟ වීම නිසා, නිදන්ගත වකුගඩු රෝගය පැතිර තිබීම

4. ගමේ පාසල්වලට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම සහ ළමුන් පාසල් නොපැමිණීමේ ප්‍රවනතාව

ඉහත ගැටලුවලට පිළිතුරු ලෙස පහත විසඳුම් ක්‍රියාත්මක කෙරුණා.

 
 
Kudu Nelugoda Tank before and after

වැව ප්‍රතිසංස්කරණයට පෙර හා පසු (P2)

කෘෂි ආර්ථිකය පුනස්ථාපනය කිරීම

කුඩු නෙලුගොඩ වැව දශක ගණනාවක් තිස්සේ නොතකා හැර තිබීම නිසා, වල්වැදී ගිය තත්වයක තිබුණා. ඒ වගේම ප්‍රදේශයට ලැබෙන වැස්ස ප්‍රමාණය එන්න එන්නම අවිනිශ්චිත වීමත් එක්ක, ඉන් පෙර කවරදාකටත් වඩා ගමේ ගොවියන්ට එය අවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.

සිදු කෙරුණු සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු අතරට වැව් බැම්ම උස අඩි 2 කින් වැඩි කර ඉදිකිරීම, පිටාර මාර්ගය, සොරොව්ව, පෝෂක ඇළ හා බෙදාහැරීමේ ඇළමාර්ග ප්‍රතිසංස්කරණය ද අයත් වුණා. ඉන්පසුව, වැව නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එය 'ගොවි සංවිධානය' නම් ගොවියන්ගේ එකතුවකට භාර කෙරුණා.

වැව යළි සංවර්ධනය කිරීම, ගොවීන්ට මහ කන්නය තුළත් කුඹුර අස්වැද්දීම සඳහා ප්‍රමාණවත් ජල මූලාශ්‍රයක් තිබෙන බවට සහතික කළා. මෙය ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. කොහොම වුණත්, ඔවුන්ගේ ස්වාධීනත්වය පවත්වාගැනීම සඳහා ගොවීන්ට යල කන්නයත් ඇතුළුව වසර පුරා ගොවිතැන් කිරීම අවශ්‍යයි.

 
 
agro well under construction

ඉදි කෙරෙමින් පවතින කෘෂි ළිඳක් (P3)

ගොවිතැන් සඳහා වසර පුරාම ජලය සැපයීම

යකාවැව ප්‍රදේශයට අඩුම වර්ෂාපතනයක් ලැබෙන්නේ යල කන්නයේදී. මේ කාලය තුළ අවට තිබෙන ජලාශ්‍ර හිඳී යන නිසා ගොවීන්ට තම කුඹුරු අතහැර වෙනත් ආදායම් මාර්ග සොයාගන්න වෙනවා.

මේ ගැටලුවට පිළියමක් වශයෙන්, යල කන්නය තුළ දී ගොවීන්ට විකල්ප භෝග වගා කිරීම සඳහා ප්‍රමාණවත් ජලය සැපයීමේ අරමුණින් කෘෂි ළිඳක් ඉදි කෙරුණා. මේ ළිඳ ඉදි කෙරුණේ ඩීසල් පොම්පයක් යොදාගෙන. එයින් ගොවීන් 15 දෙනෙකුට අක්කර 5ක භූමියක් අස්වද්දන්න හැකියාව ලැබුණා.

 
 
village water tower

ගම් වැසියන්ට ලබා දෙන ලද පිරිසිදු ජල සැපයුම (P4)

පිරිසිදු ජලයට ප්‍රවේශය සහතික කිරීම

අනුරාධපුර මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව කැබිතිගොල්ලෑවේ යකාවැව, නිදන්ගත වකුගඩු රෝගය අධිකව පැතිරී ඇති ප්‍රදේශවලින් එකක් හැටියට වාර්තා වී තිබුණා.

නොගැඹුරු ළිංවලින් ජලය සපයාගන්නා ගැමියන් අතර වකුගඩු රෝගය වැළඳී ඇති ප්‍රතිශතය 7.7%ක් බව හඳුනාගැනුණා. ඒ අතර ස්වාභාවික ජල මාර්ගවලින් පානීය ජලය ලබාගත් අයගෙන් රෝගය තිබුණේ 1.5% කට පමණයි.

ඒ නිසා ගැමියන්ට වකුගඩු රෝගය වැළඳීම අඩු කිරීම සඳහා ඔවුන්ට ගැඹුරු ළිං සඳහා ප්‍රවේශය තිබිය යුතු බව නිගමනය කෙරුණා. ගැඹුරු ළිඳක් කණිනු ලැබූ අතර, රිවර්ස් ඔස්මෝසිස් (Reverse Osmosis - RO) පිරිපහදු ක්‍රමය සහිත ජල කුළුනක් කරා මීටර 500ක් දුරට පොම්ප කෙරුණා. මේ පද්ධතිය සැලසුම් කර තිබුණේ ආසන්න වශයෙන් ගමේ පවුල් 125කට පිරිසිදු, පහසුවෙන් ලබාගත හැකි පානීය ජලය ලීටර 5,000ක් සැපයීම සඳහායි. ප්‍රදේශයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සිදු කරන ලදජලභූවිද්‍යාත්මක හා භූ භෞතික සමීක්ෂණයක වාර්තාව අනුව ගැඹුරු ජල උල්පතක් සොයා කැණීම සිදු කළ යුතු ස්ථානය හඳුනාගැනුණා.

පිරිසිදු පානීය ජලයට තියෙන පහසු ප්‍රවේශය නිසා, ගමේ ගැහැණු ළමුන්ට සිය පවුල්වලට ජලය ගෙන ඒමට දිගු දුරක් ගමන් කිරීමට සිදු නොවීමෙන්, ඔවුන් පාසල් නොපැමිණීමේ ප්‍රවනතාවත් අඩු වුණා.

 
 
village drip irrigation system

අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ස්ථාපිත කළ වෑස්සුම් ජල සම්පාදන (drip irrigation) පද්ධතිය (P5)

තිරසර වගා විධික්‍රම ගැන දැනුවත් කිරීම

ගමේ පාසල් වලට පොත්පත් අැතුළු අධ්‍යාපනය සඳහා අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය සැපයීමට අමතරව, හමිල්ලවැටිය පාසල සඳහා වෑස්සුම් ජල සම්පාදන (drip irrigation) පද්ධතියක් ස්ථාපිත කෙරුණා. මෙමඟින්, ඊළඟ පරම්පරාවට නවතම, වැඩියෙන් ජල පිරිමසින වගා ක්‍රමවේද හඳුන්වා දෙමින් ඔවුන් දැනුවත් කෙරෙනවා. ඒ අනුව, ප්‍රදේශයේ කාලගුණික චක්‍රයේ වෙනස්කම්වලට ඔරොත්තු දෙමින් සිය කටයුතු කරගෙන යන්න ඔවුන්ට හැකි වෙනවා. එහි නමින්ම කියවෙන පරිදි, වෑස්සුම් ජල සම්පාදන පද්ධති වැඩ කරන්නේ, වගාවට අවශ්‍ය කාලයට පමණක් ජලය බිංදු වශයෙන් එයට ලබාදීමෙන්. එමඟින් ජල පාචිච්චිය සෑහෙන මට්ටමකින් අඩු වෙනවා.

 
 
yakawewa volunteer team

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ කණ්ඩායම (P6)

 

ව්‍යාපෘති අවසානය

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී, යකාවැව, කැබැතිගොල්ලාව ප්‍රදේශයේ ජනතාවට වඩා හොඳ ජීවන තත්වයක් ළඟා කර දීම සහතික කිරීම සඳහා, ව්‍යාපෘති කණ්ඩායමට මුහුණ දෙන්න සිදු වුණු අභියෝග රාශියක් තියෙනවා. මේ වගේ ව්‍යාපෘතියක් දියත් කිරීමේදී එවැනි අභියෝග එල්ල වීම සාමාන්‍ය දෙයක්. අනාගතයේදී එවැනි ගම්මානවලට උදව් කරන්න අදහස් කරන හැම සමාගමකටම ඒ අභියෝග පිළිබඳ අත්දැකීම්වලින් ලබා ගත හැකි දැනුම නිසා, ඒවා වැදගත්. ඒ අභියෝග සහ ඒවා ජය ගත් ආකාරය ගැන මෙතනින් බලන්න.

   

References

පින්තූර:

P1. Access Engineering

P2. Access Engineering

P3. Access Engineering

P4. Access Engineering

P5. Access Engineering

P6. Access Engineering

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.