access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ත්‍රිමාන මුද්‍රණ විප්ලවය

 

ත්‍රිමාන මුද්‍රණය කළ වස්තු ඒවායේ ක්‍රියාකාරීත්වය හා අමුද්‍රව්‍ය යන පැති දෙකෙන්ම සංකීර්ණ විය හැකියි. රූපය Access Industrial Solutions අනුග්‍රහයෙන් (P1)

ත්‍රිමාන (3D) මුද්‍රණය කියන්නේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවීකරණය කරන නවතම තාක්ෂණයන්ගෙන් එකක්. ආකලන නිෂ්පාදන (Additive Manufacturing - AM) තාක්ෂණයක් හැටියට, එය ඩිජිටල් ආදර්ශයක් (model) පාදක කරගෙන, අපේක්ෂා කරන හැඩය ලබාගැනීම සඳහා ද්‍රවයක් හෝ කුඩු වර්ගයක්, තට්ටුවෙන් තට්ටුව එකට බැඳීම මගින් අවශ්‍ය හැඩය නිර්මාණය කරනවා. (1)

ක්‍රියාවලිය ඇරඹෙන්නේ AutoCAD වැනි සැලසුම් මෘදුකාංගයක් යොදාගෙන ත්‍රිමාන ආදර්ශයක් නිර්මාණය කිරීමෙනුයි. ඉන් පසු මේ ආදර්ශය ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයකට තේරුම්ගත හැකි භාෂාවකින් සටහන් කෙරුණු මිනුම් ඇතුළත් Gcode මූල ගොනුවක් (source file) බවට පරිවර්තනය කෙරෙනවා.

වෙළඳපොලේ විවිධාකාරයේ ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර මෙන්ම ඒවායින් මුද්‍රණය කළ හැකි තර්මොප්ලාස්ටික්, සෙරමික්, ලෝහ හා වීදුරු ඇතුළු පුළුල් පරාසයක අමුද්‍රව්‍යද තියෙනවා. වස්තුව මුද්‍රණය කෙරෙන්නේ තට්ටුවෙන් තට්ටුව නිසා අමුද්‍රව්‍ය අපතේ යාමක් නැති තරම්. ඒ වගේම මීට පෙර සිදු කළ නොහැකි වුණු නිර්මාණ සැලසුම්, යථාර්ථයක් බවට පත් කරගැනීමේ හැකියාව දැන් තියෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර යොදාගැනීම විප්ලවකාරී භාවිතයන් දෙකක මඟ පාදා තිබෙනවා: යුහු මූලාදර්ශනය (Rapid Prototyping - RP) සහ ඍජු ඩිජිටල් නිෂ්පාදනය (Direct to Digital Manufacturing- DDM).

 
 
3D printed Hand

ත්‍රිමානව මුද්‍රණය කළ, බද්ධ කරන (prosthetic) අතක් (P2)

යුහු මූලාදර්ශනය

යුහු මූලාදර්ශනය (RP) (2) කියන්නේ ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර උපයෝගී කරගනිමින්, මීට පෙර ගත වූ කාලයට වඩා බෙහෙවින් අඩු කාලයක් තුළ මූලාදර්ශ සැලසුම් කර අත්හදාබැලීමේ කාර්යටයි.

සැලසුම් ශිල්පීන්ට සති ගණනක් වෙනුවට, දැන් දින 1-3 අතර කාලයක් තුළ සැලැස්මක සිට භෞතික මූලාදර්ශයක් (physical prototype) දක්වා යන්න පුළුවන්. මේ නිසා ඔවුන්ගේ සැලසුම් සම්බන්ධයෙන් වඩා නිර්මාණාත්මක වෙන්නත්, වඩා අඩු වියදමකින් උපකල්පන තහවුරු කරගන්නත් ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම, සැලසුම්කරුවන්ට විවිධ වර්ගවල අමුද්‍රව්‍ය යොදාගෙන මුද්‍රණය කරන්න පුළුවන් නිසා ඔවුන්ට අවසාන නිෂ්පාදිතය පෙනෙන හා දැනෙන ආකාරය ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබාගනිමින් එය සැබෑ ලෝකයේ යොදාගැනෙන ආකාරය අනුව ප්‍රතිචාර දක්වන්න හැකියාව තියෙනවා. මෙය නිෂ්පාදනයේ සුඛෝපයෝගය (ergonomics) හා සමස්ත සැලසුම වැඩිදියුණු කරන බවට සැකයක් නෑ.

 
 
3D printer

ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් ක්‍රියාත්මක වන අයුරු (P3) මූලාශ්‍රය: සුභාෂිෂ් පනිග්‍රාහි

ඍජු ඩිජිටල් නිෂ්පාදනය

ඍජු ඩිජිටල් නිෂ්පාදනය (DDM) (3) යනු සාම්ප්‍රදායික එකලස් කිරීමේ පේළිවලින් (assembly lines) තොරව ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර යොදාගෙන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කාර්යයයි. මෙය දැනට කුඩා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අවශ්‍ය කෙරෙන විශේෂිත කර්මාන්ත තුළ භාවිත වන අතර එමගින් බෙදාහරින ලද හා කේන්ද්‍රීය නොවන නිෂ්පාදන, එනම් ගෘහ කර්මාන්ත (cottage industries) නැවත වෙළඳපොළට ගෙනැවිත් තිබෙනවා. මේ තාක්ෂණය විශාල සමාගම් විසින් අමතර කොටස් හා ආයතනය ඇතුළත භාවිතයට අවශ්‍ය වෙනත් කොටස් නිපදවීම සඳහා යොදාගැනෙනවා. මෙමගින් සිය භාණ්ඩ ලේඛනය අඩු කිරීමට හා කොටස් පිටතින් ලැබෙන තුරු නිෂ්පාදනය ප්‍රමාද වීම වළක්වාගැනීමට ඔවුන්ට හැකි වෙනවා. තාක්ෂණය වඩා පරිණත වෙද්දී තවතවත් සමාගම් සිය ව්‍යාපාරවල නොයෙක් අවශ්‍යතා සඳහා එය යොදාගනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්.

 
 
Makerbot 3D printer

ජනප්‍රිය ප්‍රවේශ මාදිලියක්: ෆියුස්ඩ් ෆිලමන්ඩ් ෆැබ්‍රිකේෂන් (Fused filament fabrication - FFF) මුද්‍රණ යන්ත්‍රය(P4)

වෙනස් වෙමින් පවතින නිෂ්පාදන කර්මාන්තයක්

යුහු මූලාදර්ශනය (RP) සහ ඍජු ඩිජිටල් නිෂ්පාදනය (DDM) එක්ව, සමාගම් ආයුධ (tooling) හා අච්චු (moulds) වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් වළකනවා. එමඟින්, සැලසුම්කරණය හා නිෂ්පාදනය අතර දිග්ගැස්සෙන කාලය සැලකියයුතු අන්දමින් අඩු කරනවා. මේ අනුව, අලුත් නිෂ්පාදන අදහස් අන් කවරදාකටත් වඩා ඉක්මනින් වාණිජකරණය කිරීමසමාගම්වලට ඉඩ ලැබෙනවා.

ඔබ මුද්‍රණය කිරීමට අදහස් කරන්නේ කුමක්ද යන්න අනුව, පුද්ගලික හා කාර්මික භාවිතය සඳහා යොදාගත හැකි ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර වර්ග ගණනාවක් තියෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රය තුළ වඩාත් ජනප්‍රිය ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයන් වන්නේ සිලෙක්ටිව් ලේසර් සින්ටරිං (Selective Laser Sintering - SLS) සහ ෆියුස්ඩ් ඩිපොසිට් මොඩලිං (Fused Deposit Modelling - FDM) යන දෙවර්ගයයිඒවායේ ක්‍රියාකාරීත්වය මෙතන ඇති ලිපියෙන් බලාගන්න පුළුවන්.

   
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.