ඉදිකිරීම් සඳහා වානේ H-බාල්ක (Steel H-beams) භාවිතය
මෑත වකවානුව තුළ රට පුරා ඉදිකිරීම් ව්‍යාපෘතිවල සැලකිය යුතු වැඩිවීමක් දකින්න ලැබෙනවා. මේ සමග කරට කර ගමන් කිරීමේ වෑයම තුළ සංවර්ධකයෝ හැම විටක ම - විශේෂයෙන් ඉදිකිරීම් සඳහා ගතවන කාලය අඩු කිරීමටත් භාවිතයට ගත හැකි බිම් අවකාශය (වර්ග අඩි ප්‍රමාණය) වැඩි කිරීමටත් - වඩා හොඳ ඉදිකිරීම් ක්‍රමවේද සොයමින් ඉන්නවා. මේ අරමුණු දෙකටම බලපාන වැදගත් සාධකයක් තමයි කුළුණු ඉදිකිරීමේ කටයුතු.
කුළුණු, ගොඩනැගිල්ලකට අවශ්‍ය කෙරෙන ආධාරය ලබා දෙමින්, ඉදිකිරීම්වල තීරණාත්මක භූමිකාවක් ඉටු කරනවා. ඒවා සාමාන්‍යයෙන් සාදා තිබෙන්නේ, වානේ කම්බි ගණනාවක් හා ඒවා වටා අච්චුවකට වත් කරනු ලබන වැරගැන්වූ කොන්ක්‍රීට්වලින් (reinforced concrete). මේ සඳහා ඇති ජනප්‍රිය විකල්පයක් තමයි වානේ H-බාල්ක. ඉහළ බර දරාගැනීමේ ධාරිතාවක් තිබීම නිසා, මේ බාල්ක සමස්තයක් ලෙස වඩා හොඳ ඉදිකිරීමකට ඉඩ සලසනවා. ඒ වගේ ම, මේවා පෙර-සැකසූ (prefabricated) බාල්ක නිසා ඒවායින් ඉදිකිරීම් ක්‍රියාවලියට ප්රතිලාභ ගණනාවක් ලැබෙනවා.
H-බාල්ක යොදාගැනීම මගින් ඉදිකිරීම් කරන්නන්ට ආධාරක කුළුණු අතර වැඩි ඉඩක් තියාගන්න පුළුවන් (P2)
භාවිතයට ගත හැකි භූමි ප්‍රමාණය වැඩි වීම
වානේ H-බාල්කවලට ඉහළ, බර දරා සිටීමේ ධාරිතාවක් තියෙනවා. ඒ නිසා කිසියම් ප්‍රදේශයක් සඳහා අවශ්‍ය වෙන්නේ වැරගැන්නූ කොන්ක්‍රීට් කුළුණුවලට වඩා අඩු, වානේ H-බාල්ක සංඛ්‍යාවක්. ඒ වගේම ඒවාට අවශ්‍ය ඉඩ ප්‍රමාණයත් වැරගැන්නූ කොන්ක්‍රීට් කුළුණුවලට වඩා අඩුයි. මේකෙන් අදහස් වෙන්නේ ඔබේ ගොඩනැගිල්ලේ ඇතුළත භූමි අවකාශය අවහිර කරන කුළුණු අඩු ගණනක් තිබෙනු ඇති බවයි. මීට අතිරේකව, මේ සෑම කුළුණකටම අවශ්‍ය වෙන්නේ අඩු ඉඩකඩක්. මේ නිසා ගොඩනැගිල්ලේ අනාගත පදිංචිකරුවන්ට පාචිච්චි කළ හැකි බිම් වර්ගඵලය උපරිම ලෙස ලැබෙනවා.
කොන්ක්‍රීට් ඇතුළට වත් කළ හැකි අච්චුවක් ලබා දෙන, වානේ කම්බි හෝ H-බාල්ක වටා ඇති හැඩයම් පෙට්ටි (P3)
ඉදිකිරීම් කාලය අඩු වීම
වැරගැන්නූ කොන්ක්‍රීට් කුළුණු වලට වඩා, H-බාල්ක යොදාගෙන කෙරෙන ඉදිකිරීම් බෙහෙවින් වේගවත්. පෙර-සවි කොට වැඩබිමට ගෙන ඒම නිසා වර්ග අඩි 5000ක බිමක මේ කුළුණු සිටුවා පිරිද්දීමට ගත වන්නේ දින 5ක් තරම් කෙටි කාලයක්. එම වර්ග අඩි ප්‍රමාණයේම බිමක් හැඩයම් පෙට්ටි අවශ්‍ය වෙන වැරගැන්නූ කොන්ක්‍රීට් කුළුණු යොදා ඉදි කිරීමේදී, කොන්ක්‍රීට් මිශ්‍රණය නිසි ආකාරයෙන් සවි වෙන්න අවශ්‍ය නිසා දින 27ක් දක්වා ගත වෙන්න පුළුවන්.
බර වාහන නගරයට ඇතුළු විය හැකි වේලාවන් සම්බන්ධයෙන් පනවා තියෙන සීමා නිසා, සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍ර අවශ්‍ය ස්ථානයට ගෙන්වාගැනීමේ කාලසටහන් අභියෝගයට ලක්වෙන්න පුළුවන් (P4)
කාර්ය සම්පාදන අභියෝග අඩු වීම
වානේ H-බාල්කවලට ඉහළ බර දැරීමේ ධාරිතාවක් ඇති අතර ඒවා වැරගැන්නූ කොන්ක්‍රීට් කුළුණුවලට වඩා සැහැල්ලුයි. මේ නිසා වැඩබිමට ගෙන ආ යුතු අමුද්‍රව්‍යවල බර අඩු වෙනවා. මීට අමතරව, කොළඹ ඇතුළු බොහෝ නගරවලට, බර වාහන ඇතුළු විය හැකි වේලාවන් සීමා කර ඇති නිසා, පෙරමුසු සිමෙන්ති (premixed cement) අදාල වැඩබිම කරා රාත්රියේදී ප්‍රවාහනය කොට තැබීමට සිදුවෙනවා. කොන්ක්‍රීට් හැඩයම් අවශ්‍ය නොවන නිසා, H-බාල්ක භාවිතයේදී මේ කරදරය වළක්වාගන්න පුළුවන්.
ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා විශාල ශ්‍රම බලකායක් අවශ්‍ය වෙනවා (P5)
අඩු ශ්‍රම පිරිවැය
වානේ H-බාල්ක සඳහා හැඩයම් පෙට්ටි අවශ්‍ය නොවන නිසා, ඒවා භාවිතයේදී වැය වෙන්නේ අඩු ශ්‍රම පිරිවැයක්. කලින් සඳහන් කෙරුණු පරිදි, වැරගැන්නූ කොන්ක්‍රීට් කුළුණු සෑදීමට, පෙර-මුසු කොන්ක්‍රීට් රාත්‍රී කාලයේදී වැඩබිමට ගෙන ඒම අවශ්‍ය වෙනවා. මෙයින් අදහස් වෙන්නේ අතිකාල (OT) ශ්‍රම පිරිවැය වැඩි කරමින් හැඩයම් පෙට්ටි රාත්රියේදී නිම කළ යුතු බවයි. ඒ වගේම H-බාල්ක සතු ඉහළ බර දැරීමේ හැකියාව නිසාත් ඒවා පෙර-සැකසුමින් යුතුව පැමිණෙන නිසාත් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වෙන ශ්‍රම ප්‍රමාණය අඩු වෙනවා. කෙසේ වුවත්, H-බාල්ක ඉදිකිරීම සඳහා අවශ්‍ය කෙරෙන නිපුණතා හා යන්ත්රසූත්ර, වැරගැන්වූ කොන්ක්‍රීට් කුළුණු ඉදිකිරීමේදී අවශ්‍ය වන ඒවාට වඩා වෙනස් නිසා, නිවැරදි අත්දැකීම් හා හැකියාවන්ගෙන් යුතු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමට වගබලාගන්න.
H-බාල්ක යොදා ගත්තොත් සැලසුම් වෙනස් කිරීම වඩාත් පහසුයි (P6)
සැලසුම පහසුවෙන් වෙනස් කිරීමේ හැකියාව
වානේ H-බාල්ක යොදාගත් විට, කුළුණු තිබෙන ස්ථාන වෙනස් කිරීම වැනි ඉදිකිරීම් සැලැස්මෙහි කෙරෙන වෙනස්කම්, ඉතා පහසුවෙන්, කිසිදු අමුද්‍රව්‍ය අපතේ යාමකින් තොරවම වාගේ සිදු කළ හැකියි. වැරගැන්නූ කොන්ක්‍රීට් කුළුණු යොදාගැනීමේදී මෙන් කඩා දැමීමකින් තොරව, H-බාල්ක විද්‍යුත් බලයෙන් කපා, වෙනත් ස්ථානයක නැවත පිරිද්දීමට පුළුවන්. මෙමඟින් අමුද්‍රව්‍ය ඉතිරි කරන අතර, වෙනස් කිරීමේ කාලය දින 2 සිට3 දක්වා වෙනුවට, දින 1ක් පමණක් දක්වා අඩු කරනවා!
ශ්‍රී ලංකාව තුළ වානේ H-බාල්ක, කොන්ක්‍රීට් අච්චු සමග එකට යොදාගැනීම සුලභයි (P7)
ශ්‍රී ලංකාව තුළ දැනට වානේ H-බාල්ක යොදාගැනෙන ආකාරය
ශ්‍රී ලංකාව තුළ විශාල ඉදිකිරීම් ව්‍යාපෘතිවල වානේ H-බාල්ක භාවිත කෙරුණත්, ඒවා සාමාන්‍යයෙන් යොදාගැනෙන්නේ කොන්ක්‍රීට් සමගයි. මේ ක්‍රමවේදය මගින් වානේ H-බාල්කවල බර දැරීමේ ධාරිතාව ඉහළ නංවාගැනීමේ ප්‍රතිලාභය ලැබුණත්, එයින් කාලය ඉතුරු කරගැනීමේ වාසිය ලැබෙන්නේ නෑ.
ඉදිකිරීම්වලදී වානේ බාල්ක සමග කොන්ක්‍රීට් යොදාගැනීමට හේතු දෙකක් තියෙනවා. පළමුවැන්න කුළුණේ තාප ඉසිලුම (thermal bearing) වැඩි කිරීම සඳහා වන අතර, දෙවැන්න වෙළඳපොලේ සැලසුම් අවශ්‍යතා සපුරාලීම සඳහායි. කෙසේ වෙතත්, මේ දෙකම ඉතා පහසුවෙන් විසඳාගන්න පුළුවන්.
දීප්තිමත් හෙටක් සඳහා වඩාත් හොඳ භාවිතයන් (P8)
ඉදිරි පියවර
වානේ H-බාල්ක සමග කොන්ක්‍රීට් යොදාගැනීම වළක්වාගන්න පුළුවන්. H-බාල්ක කුළුණුවල තාප ඉසිලුම් ධාරිතාව (thermal bearing capacity) ඉහළ නැංවීම සඳහා වෙළඳපොලේ ඇති විකල්ප අතර, තාපය වැඩි වූ විට ප්‍රසාරණය වන ශෝථක සායම් (intumescent paints), සිමෙන්තිමය ස්ප්‍රේ වර්ග (cementitious sprays) හා ගිනිවරණ ආවරණ (fireproof cladding) තියෙනවා.(1)ඉදිකිරීම ඉහළම ගිනි ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා මේ විසඳුම් වෙන වෙනම හෝ සංයෝග කරමින් භාවිත කරන්න පුළුවන්.
විකල්ප නිෂ්පාදන භාවිතයට අමතරව වානේ H-බාල්කවලින් ලැබෙන ප්රතිලාභ ගැන සේවාදායකයින්, සැලසුම්කරුවන් හා ගෘහනිර්මාණශිල්පීන් දැනුවත් කිරීමත් වැදගත්. වැඩි දැනුවත් බව, වෙළඳපොල තරගයට හිතකර වන අතර, අමුද්‍රව්‍ය අපතේ යාම අඩු කරමින් සංවර්ධකයන්ට සිය ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් සැලකිය යුතු කාලයක් හා මුදල් ඉතිරිකරගන්න උදව් විය හැකියි.