access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

NFC තාක්ෂණයේ මූලිකාංග

 

දැන් NFC කාඩ් හෝ NFC සහිත දුරකථන මඟින් ගෙවීම් කරන්න පුළුවන් (P1)

හැඳින්වීම

ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදනය (Near Field Communication - NFC) වඩාත් “ස්මාට්”, වඩාත් පහසු ලෝකයකට මඟ පාදනවා. මේ තාක්ෂණය දශක 2 කටත් වැඩි කාලයක් තිස්සේ පැවතුණත්, එය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ වඩාත් මෑතකදී, ස්මාට් ප්‍රවාහන කාඩ් (smart travel cards), NFC ක්‍රෙඩිට් කාඩ්, ශිෂ්‍ය කාඩ් (student cards) සහ ආයතනික ඉන්ධන කාඩ් වැනි කාඩ්පත් නිකුත් කිරීමත් එක්ක. මේ විසඳුම් සියල්ල, රට තුළ NFC තාක්ෂණය වඩා පුළුල්ව යොදාගැනීම ගැන බලාපොරොත්තු දල්වන පියවර වෙනවා. ඒත් මුලින්ම, මේ තාක්ෂණයේ ඉතිහාසයයි එය ක්‍රියාත්මක වන ආකාරයයි ගැන ටිකක් දැනගනිමු.

 
 
NFC Payment Machine

NFC ගෙවීම් තාක්ෂණය (P2) රූපය ING Nederland වෙතින්

NFC ඉතිහාසයෙන් බිඳක්

NFCසන්නිවේදනය වෙත අවධානය යොමු වුණේ 2004 තරම් ඈත කාලයේදී සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන  Nokia, Sony,  සහ Philips යන සමාගම් එක්වී, මෙම තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ප්‍රතිලාභ හඳුන්වාදීමටම වෙන්වුණු, NFC ෆෝරමය (NFC Forum) ආරම්භ කළ අවස්ථාවේදීයි. (1)

මෙම තාක්ෂණය වාණිජ වශයෙන් ස්මාට්ෆෝන් තුළ මුලින්ම භාවිත කෙරුණේ Samsung සමාගම විසින් 2010 දී, Samsung Nexus S යන පළමු ඇන්ඩ්‍රොයිඩ් (Android) NFC දුරකථනය වෙළඳපොලට නිකුත් කිරීමත් සමඟයි. (2)

2013 වෙද්දී, ජංගම දුරකථන මඟින් ගෙවීම් සිදුකිරීමේ ජනප්‍රිය බව සහ හැකියාව නිසා, ගෙවීම් ක්‍රියාවලිය පහසු සහ ආරක්ෂිත කිරීම සඳහා, බහුජාතික මූල්‍ය දැවැන්තයෙක් වන Visa සමාගම, Samsung සමාගම සමඟ එකඟතාවකට එළඹුණා. (3)

2014 වන විට Apple සමාගම, සිය Apple Pay වේදිකාව මඟින්, NFC බලගැන්වුණු දුරකථන ආශ්‍රිත ගෙවීම් ක්ෂේත්‍රයට ඇතුළු වුණා. Apple Watch ඇතුළු, iPhone 6 සිට මෙපිටට පැමිණි සිය උපකරණවලට NFC අන්තර්ගත කිරීම මඟින්, Apple සමාගම මෙම තාක්ෂණය කෙරෙහි සිය කැපවීම පෙන්නුම් කළා.(4)අවුරුද්දකට පස්සේ, Apple සහ Samsung සමාගම්වල NFC ගෙවීම් ක්‍රමයට ප්‍රතිවාදියෙක් ලෙස Google සමාගම  Android Pay  හඳුන්වාදෙමින්, ඇමෙරිකා එක්සත් ජනපදය පුරා සිය සේවාව දියත් කළා. (5)

සන්නිවේදන ක්ෂේත්‍රයේ සියලු දැවැන්තයින් සිය නිෂ්පාදන තුළට මෙම තාක්ෂණය ඇතුළත් කරගැනීමත් සමග, NFC තාක්ෂණය ස්ථිරව තහවුරු වුණා.

 
 
NFC Tech

NFC යෙදවුම්වල වර්ධනය(P3)

ඇත්තටම ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදනය (NFC) කියන්නේ මොකද්ද?

සරලව කියතොත්, NFC කියන්නේ, උච්ච සංඛ්‍යාත ගුවන්විදුලි සන්නිවේදන ප්‍රමිතියක්. එය, අප වඩා හොඳින් දන්නා, ගුවන්විදුලි තරංග සංඛ්‍යාතය හඳුනාගැනීමේ (Radio Frequency Identification - RFID) ප්‍රමිතියේ පරිණාමයක්. NFC සන්නිවේදන ප්‍රමිතිය ක්‍රියාත්මක කරන්න යුගල කේත (pairing codes) හෝ ඊට සමාන වෙනත් නිවැරදි බව තහවුරු කිරීමේ සත්‍යේක්ෂණ ක්‍රමවේදයක් (verification method) අවශ්‍ය නැහැ. කෙසේ වෙතත්, එය වැඩ කරන්නේ ඉතාම කෙටි දුරක් (සෙ.මී. 5 ට අඩුවෙන්)(6)ඇතුළත විතරක් නිසා, එය ඉතාම ආරක්ෂිත වන අතර ගෙවීම් සිදුකරන අලුත් ක්‍රමයක් බවට පත්ව තිබෙනවා. NFC ප්‍රමිතියට සන්නිවේදනය කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කරන මූලික විධි 2 ක් තියෙනවා. උදාසීන  (Passive)  සහ සක්‍රිය  (Active)  සන්නිවේදන විධි ලෙසයි.

උදාසීන සන්නිවේදන විධිය

උදාසීන සන්නිවේදන විධිය සඳහා අවශ්‍ය වන්නේ, ගුවන්විදුලි සංඛ්‍යාත (Radio Frequency - RF) ක්ෂේත්‍රයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන “ආරම්භකයා” (“initiator”) ලෙස හැඳින්වෙන, එක සන්නිවේදන උපකරණයක් විතරයි. අනෙක් උපකරණය, හෙවත් “ඉලක්කය” (“target”), එසේ ජනනය කළ RF ක්ෂේත්‍රය මඟින්, අවශ්‍ය කෙරෙන දත්ත “ආරම්භකයා” වෙතට යවනවා. එය මේ කටයුත්ත කරන්නේ, “ඉලක්ක” උපාංගය වෙත දත්ත කියවීමට සහ ලිවීම සඳහා යොදාගත හැකි භාර අනුකූලනය (load modulation) ලෙස හැඳින්වෙන තාක්ෂණයක් ඔස්සේයි. (7) “ඉලක්ක” උපාංගයට තමාගේම වූ බල මූලාශ්‍රයක් අවශ්‍ය නොවන නිසා, මෙය පොදුවේ වැඩිපුර භාවිතාවන සන්නිවේදන විධිය වී තිබෙනවා. එහෙයින් එය, NFC ස්මාර්ට් කාඩ්වල සම්මත සන්නිවේදන විධියයි.

සක්‍රිය සන්නිවේදන විධිය

සක්‍රිය විධියේදී උපාංග දෙකම ගුවන්විදුලි සංඛ්‍යාත (RF) ක්ෂේත්‍ර ජනනය කරනවා. එමඟින් වඩාත් සංකීර්ණ කතාබහක් ඇති කර ගනිමින්, එකිනෙකා මතට වඩාත් පොහොසත් තොරතුරු කියවීමටත් ලිවීමටත් හැකියාව ලබා ගන්නවා.(7) ජංගම දුරකථන තුළට NFC කාවැද්දීමට පෙර, මෙම අතිශයින් පොහොසත් සන්නිවේදන විධිය පුළුල්ව ජන සමාජය තුළ භාවිතයට ගැනීම යථාර්ථයක් වුණේ නැහැ. මෙය සිදුවී දැන් දශකයකට මඳ කලක් ගතවී ඇති නිසා, අපේ කාලයේ තාක්ෂණ දැවැන්තයින් එම තාක්ෂණයේ විභවයන්ගේ මතුපිට පහුරු ගාමින් වුණත්, එය ප්‍රබල අන්දමින් උරගා බලමින් සිටිනවා. මෙම තාක්ෂණයේ කෙටි ඒත් වර්ණවත් ජීවිත කාලය දිහා බැලුවොත් මෙය දැක ගන්න පුළුවන්.

 
 
NFC watch

NFC චිප්, පාරිභෝගිකයින් පළඳින උපකරණ තුළට වැඩිවැඩියෙන් එන්න පටන් අරන් (P4)

NFC වල අනාගතය කොහොම වෙයිද?

ජංගම දුරකථන සමග ඒකාබද්ධ වුණු NFC යෙදවුම් මහජනයාගේ එදිනෙදා ජීවිතය විප්ලවීය වෙනසකට ලක් කරනු ඇති අතර, එම තාක්ෂණයේ ශක්‍යතාව එතනින් නවතින්නේ නැහැ. ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිට කාර්ය සාධන අංශ (logistics) දක්වා ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක්, මේ වන විටත් මෙම තාක්ෂණයේ ප්‍රතිලාභ අත්විඳිනවා. ශ්‍රී ලංකාව තුළ පවා බොහෝ ව්‍යාපාර, කඩදාසි නාස්තිය අඩු කර, සිය සේවාවන් වඩා පහසු කරන්න NFC යොදාගනිමින් ඉන්නවා.

බොහෝ විශේෂඥයෝ සන්නිවේදන ක්ෂේත්‍රයේ මීළඟ මහා පෙරළිය ලෙස NFC හැඳින්නුවා. කෙසේ වෙතත්, විවිධ ක්ෂේත්‍ර ගණනාවක් තුළ ශීඝ්‍ර වර්ධනයත් එක්ක, එය දැනටමත් සිදුවෙමින් පවතින මහා පෙරළිය වෙලා! එදිනෙදා සිදු කරන සියලු ගනුදෙනුවල සිට සන්නිවේදනය දක්වා, ව්‍යාපාරවල වගේම, ජනතාවගේ පුද්ගලික ජීවිතයේත් සියලු දේ උඩුයටිකුරු කරමින්, මීළඟ අවුරුද පහ, මෙම තාක්ෂණයේ විප්ලවීය කාලයක් වීම අනිවාර්යයි. අලුත්ම තොරතුරු වහා දැනගන්න,  Inside Access  සමග සම්බන්ධ වෙන්න. ඒ අතර Facebook සහ Linkedin ඔස්සේ අපව follow කරන්න.

   

References

උද්ධෘත

1. Communication, N. F., 2017. History of Near Field Communication.

Available at: http://nearfieldcommunication.org/history-nfc.html

2. Hildenbrand, J., 2010. Gingerbread feature: Near Field Communication.

Available at: https://www.androidcentral.com/gingerbread-feature-near-field-communication

3. Engadget. (2013). Visa and Samsung ink worldwide NFC deal, practically guarantees payWave on your Galaxy S IV. [online] Available at: https://www.engadget.com/2013/02/25/visa-samsung-worldwide-nfc-partnership-payments/

4. Apple Newsroom. (2014). Apple Pay Set to Transform Mobile Payments Starting October 20. [online] Available at: https://www.apple.com/newsroom/2014/10/16Apple-Pay-Set-to-Transform-Mobile-Payments-Starting-October-20/ [Accessed 19 Jan. 2018].

5. TechCrunch. Perez, S. (2015). Android Pay, Google’s Apple Pay Rival, Arrives Today.

Available at: https://techcrunch.com/2015/09/10/android-pay-googles-apple-pay-rival-goes-live/

6. Nearfieldcommunication.org. (2018). Near Field Communication Technology Standards – NearFieldCommunication.org. [online] Available at:

http://nearfieldcommunication.org/technology.html

7. Radio-electronics.com. (2018). NFC Technology :: Radio-Electronics.Com. [online]

Available at: http://www.radio-electronics.com/info/wireless/nfc/nfc-near-field-communications-technology.php

රූප:

P1: https://pixabay.com/en/payment-systems-1169825/

P2: https://upload.wikimedia.org/wikipedia/commons/0/04/Betaalpas_en_logo_contactloos_betalen_-_8966256167.jpg

P3: Unknown

P4: https://www.flickr.com/photos/gsi-r/32975968381

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.